2024 මාර්තු 30 වන සෙනසුරාදා

ජ්‍යෙෂ්ඨ පුරවැසියා අමතකද?

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

මහ බැංකුව යළිත් පොලී අනුපාත පහළ දමා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි පදනම් අංක 50 කින් මේ පහළ දැමීම සිදුව තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 8.50 සහ සියයට 9.50 දක්වා පහත වැටේ. මේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි මාස 12 ක කාලය තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් ඇතිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පළ කර තිබිණි.

මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් ඇතිවීම රටටම යහපතකි. මහ බැංකුව පවසන පරිදි පෙබරවාරි මාසය අවසන් වන විට මෙරට නිල සංචිත අනුපාතය ඩොලර් බිලියන 4.5 කි. මෙරටට විදේශ විනිමය ලැබීම් තවදුරටත් ඉහළ යමින් පවතී. ඒ සමඟ ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම ද ඉහළ යමින් පවතී. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පවසන පරිදි තව මාස කිහිපයක් ඇතුළත ඩොලරය රුපියල් 250 පමණ දක්වා පහත වැටීමට ඉඩ තිබේ. ඩොලරය හමුවේ එසේ රුපියල ශක්තිමත් වීම රටේ පැවති තත්ත්වය අනුව සුබ ලකුණකි.

ආර්ථිකයේ මේ පහළවෙන සුබ ලකුණු ජනතාවගේ ඇඟට දැනෙන බවට නම් ඇත්තේ සැකයකි. තවමත් ජනතාවගේ ආර්ථික ගැටලු එසේමය. ඇතැම් ආහාර වර්ග මිල තරමකට අඩු වුවත් එසේ අඩු වී ඇත්තේ ඉතා විශාල ලෙස ඉහළ ගිය මිලෙන් යම් ප්‍රතිශතයක් පමණි. බඩු මිල දැන් අඩුයි කියා ඕනෑ ඇමැතිවරයකුට මන්ත්‍රීවරයකුට ඕනෑ තරම් කෑගසා පැවසිය හැක. නමුත් මහ පොළොවේ යථාර්ථයට කිට්ටුවෙන් සිටින සියලු දෙනා ඒ කතාව ඒ හැටියට පිළිගන්නේ නැත. එයට හේතු බොහෝය.
මෙහිදී පෙන්වන ආර්ථිකයත් ඇඟට දැනෙන ආර්ථිකයත් වෙන්කරන සීමාවේ කැපී පෙනෙනම සමාජ කුලකය වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය. මහ බැංකුවත් ආණ්ඩුවත් කියන පරිදි රටේ ආර්ථිකය ඉදිරියේදී යහපත් වන බවට කරන ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නම් වහ කදුරුය. එවැනි පිරිසක් රටේ ජීවත් වනවාද යන්න පවා මේ සියලු බලධාරීන්ට අමතකව ගිය බවක් පෙනෙන්නට තිබේ.

අප එසේ කියන්නේ මේ බොහොමයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මේ වන විට දැඩි ආර්ථික ග්‍රහණයකට හසුවී සිටීම හේතුවෙනි. ආර්ථික කඩා වැටීමට පෙර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ස්ථාවර මුදල් තැන්පතු ප්‍රධානම ආදායම් මාර්ගයක් වී තිබිණි. විශ්‍රාම වැටුපක් හිමිවන්නේ රජයේ සේවකයන්ට පමණක් වන බැවින් පෞද්ගලික අංශයේ විශ්‍රාම ලබා ඊ.ටී.එෆ්. මුදල් ලබාගෙන ඒවා බැංකුවේ ස්ථාවර ගිණුම්වල තැන්පත් කර එයින් ලැබෙන මාසික පොලිය එම සේවකයන්ගේ ආදායම බවට පත්වෙයි. ඔවුන්ගේ බෙහෙත් මිලදී ගැනීම්, වෛද්‍ය ප්‍රතිකාර, විදුලිය, ජලය වැනි සේවා ගාස්තු ගෙවීම් සඳහා ඔවුන්ට උපකාරී වන්නේ එම මාසික පොලියයි.

එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ පොලී අනුපාත අඩු කිරීමට තමන්ට හැකිවූ බවට මහ බැංකුවත් ආණ්ඩුවත් උදම් අනද්දී ජ්‍යෙෂ්ඨ පුරවැසියා කබලෙන් ලිපට වැටීමය. ඔවුන්ට කාලයකට පෙර ස්ථාවර තැන්පත් ගිණුමේ රුපියල් ලක්ෂ 15 ක් සඳහා සියයට 15 ක ස්ථාවර පොලියක් ගෙවනු ලැබුවත් දැන් එසේ නැත. මහ බැංකුව පොලී අනුපාත පහත දැමීමේදී රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් යනුවෙන් පිරිසක් සිටින බව අමතක කර තිබේ. පසුගිය වසර කිහිපය තුළදී ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලැබූ පොලී අනුපාතය ඉහළ යාම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවමින් තිබූ 15% ක පොලිය ඉබේම අහෝසි විය. නමුත් දැන් තත්ත්වය වෙනස් වී තිබේ.

මීට කලින් තමන්ගේ තැන්පතුවලට ඉහළ පොලියක් ලැබුණා වගේම බෙහෙත් මිල ගණන්, රෝහල් ගාස්තු, විදුලි සහ ජලය සඳහා වන බිල්පත් සඳහා වර්තමානයේ මෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවූයේ නැත. ආහාර ද්‍රව්‍ය ඇතුළු සෙසු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන්ද දැනට වඩා අඩු විය. නමුත් වර්තමානයේදී අතට ලැබෙන පොලී මුදල් අඩුවන අතරේ බෙහෙත් ඇතුළු භාණ්ඩ මිල ඉහළ ගොසිනි. මේ තත්ත්වය දරුණු ලෙසටම බලපාන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බව නොරහසකි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මීට පෙර ලබාදුන් 15% ක ස්ථාවර ගිණුම් පොලිය යළි ලබාදීමට මහ බැංකුවත් ආණ්ඩුවත් පියවර ගත යුතුය. නැතහොත් ආර්ථිකය ශක්තිමත් බවටත් රුපියල් ශක්තිමත් වෙමින් පවතින බවටත් ආණ්ඩුව කරන ප්‍රකාශ ජනතාව විශ්වාස නොකරනු ඇත. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අමතක කර ආර්ථිකය හොඳ යැයි උදම් ඇනුවාට පළක් නැත.

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00