2024 මාර්තු 30 වන සෙනසුරාදා

එයාලා රට රටවලට යනවා : අපේ නායකයා ජනතාව අතරට යනවා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

- එස්.එම්. මරික්කාර් - පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය

  • රෝහිතගේ අතීතයත් එක්ක අපට කෝප් කමිටුවේ වැඩ කරන්න බෑ
  • පාර්ලිමේන්තුව රැස්වුණාම කෝටි ගාණක් වියදම් වෙනවා කීම පට්ටපල් බොරුවක්
  • මාලිමාව කියන්නේ ගෝඨාභය නොම්මර දෙක

Q ඔබලා කතානායකවරයට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. ඒත් පරාජය වුණා. දැන් තියෙන කතාව තමයි ඇයි මේ පරදින විශ්වාසභංගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුව තියලා සල්ලි නාස්ති කළේ කියලා. කතානායකතුමත් කිව්වා. මේක මම අහන්නේ ඔබලට මේ වෙනුවෙන් උත්තර ඇතිනේ?

මෙහෙමනේ. කතානායකතුමා අකැමැතියි එතුමගේ පැටිකිරිය එළියට ආවට. විශේෂයෙන් පවුලේ අයට සැලකීම ගැන. ඒ වගේම එතුමගේ අපක්ෂපාතී නොමැතිකම. මේ වගේ දේවල් එළියට ආවා. ඒ වගේම දෙවැනි කාරණය තමයි පාර්ලිමේන්තුව තිබුණත් නැතත් පාර්ලිමේන්තුව දුවනවා. චේම්බරයේ ලයිට් ටිකයි ඒසී දාන ටිකයි වැඩි වෙන්නේ. නැත්නම් කොහොමත් දුවනවා පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තු සේවකයෝ ගේන්න යන ප්‍රවාහනය ආදී සියල්ල සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුව රුස්වුණාම කෝටි ගාණක් වියදම් වෙනවා කියන එක පට්ටපල් බොරුවක්. මේ විශ්වාසභංගය පරාජය වුණාට අර දේශපාලන ඉරි තැලීම් ටික එහෙමම තියෙනවා සමාජයේ. ඔබට මතක ඇතිනේ සෞඛ්‍ය අමාත්‍යවරයගේ ප්‍රශ්නය. ඔය වගේම ආණ්ඩුවේ අය කඩේ ගියා. ඒත් සති දෙකක් යද්දි සෞඛ්‍ය ඇමැති සිර භාරයට පත් වෙනවා.

Q ඒ කියන්නෙ කතානායකවරයටත් යම් බලපෑමක් වෙනවද?

ඔව්. තව මාස හයක් යනකොට එතුමත් දේශපාලන වශ‍යෙන් සමතලා වෙලා යනවා. අනික මතක තියාගන්න දවස් තුනක් ගත්තේ අපි නෙවෙයි ආණ්ඩුව. ඒ අයගේ මන්ත්‍රීවරු 12ක් ‍රට හිටියා. මේක දිනන්න ඕනෑ නිසා ඒ 12 එනකල් මේක කල් ඇරියා. ආණ්ඩුවට ඕනෑ වුණේ මේක දිනනවට වඩා එයාලට 113 තියෙනවා කියලා පෙන්නන්න.

Q දැන් කෝප් කමිටුවේ සභාපතිට විරුද්ධව ඔබලා ඉවත් වුණා. නමුත් සභාපති රෝහිත අබේගුණවර්ධන කියන්නේ ඔහුට මොකක්ද තියෙන වරද, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට කෝප් කමිටුවේ සභාපති වෙන්න බැරිද කියලා?

ඔහුගේ අතීතය සහ පැටිකිරිය ගැන මට ඔබට කියන්න ඕනෑ නෑ. ඔහුට රටේ ජනතාවගේ කැමැත්ත මොන වගේද කියලා ඔබට කියන්න ඕනෑ නෑ. ඒක ඔහු දන්නේ නැත්නම් ජනාධිපතිතුමාගෙන් අහන්න කියලා කියනවා. ඒකනේ ජනාධිපතිතුමා ඔහුට ඇමැතිකමක් නොදෙන්නේ. බැසිල් රාජපක්ෂ නිතර අඬන්නෙත් ඒකනේ අපේ දිස්ත්‍රික් නායකයෙක්, ඒ නිසා ඇමැතිකමක් දෙන්න ඕනෑ කියලා. ඔහුගේ අතීතයත් එක්ක අපිට කෝප් කමිටුවේ වාඩිවෙලා එකට වැඩ කරන්න බෑ. මම දැක්කා ඔහු සභාපති වුණාම ගෙන්නලා තියෙන ආයතන. මේ රටේ ආර්ථිකයට බලපාන ආයතන තියෙනවා. එකක් නෑ ඒවා. ඔක්කොම වැඩකට නැති ආයතන ගෙන්නලා තියෙන්නේ. තෝරු මෝරු ඉන්නකොට හුරුල්ලෝ ගෙන්වන වැඩක්.

Q ඒත් ඝන පූර්ණය තියෙන නිසා ඒ අය මේක කරගෙන යනවා කියනවා. ඒ කියන්නේ ඔබලගේ විරෝධය වැඩක් නෑ නේද?

අපි ඉවත් වුණා. ඒ අය කරගෙන යනවා. ඒකෙන් කෝප් කමිටුව සම්බන්ධයෙන් මිනිස්සුන්ට විශ්වාසයක් නෑ.

Q දැන් පොහොට්ටුවේ අය ලෑස්ති වෙනවා මහ මැතිවරණයක් සඳහා යන්න. ඒ අය පාර්ලිමේන්තුවට යෝජනාවක් පවා ඉදිරිපත් කරන්න යනවා. ඔබලා ඊට එකඟද?

පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනෑ. ඒත් ඒක මේ ජනාධිපති කරන්නේ නෑ. නැත්නම් පාර්ලිමේන්තු බහුතරයකින් විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරගන්න ඕනෑ. හැබැයි බැසිල් රාජපක්ෂගේ න්‍යාය වලට. ඒත් ජනතාව ඉන්නේ ඉතාම පීඩාවෙන් වෛරයෙන්. ඒ නිසා ජනතාවගේ එම තරහ පිට කරගන්න අවස්ථාවක් ආවොත් ඒ අවස්ථාව ජනතාවට අරන් දෙන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. එහෙම දෙයක් පිළිවෙළට වෙනවා නම් සමගි ජනබලවේගයට ඒකත් මග ඇරලා යන්න බෑ.

Q මේ ගැන පොහොට්ටුව එක්ක අභ්‍යන්තර සාකච්ඡාවක් තිබුණද?

එහෙම අභ්‍යන්තර සාකච්ඡාවක් නෑ. අනික කොහොමත් පොහොට්ටුව එක්ක අපිට කතාවක් නෑ. බැසිල් රාජපක්ෂට ඕනෑ විදිහට වැඩ කරන්නේ නෑ.

Q රංගේ බණ්ඩාර මහ ලේකම් කියනවා ඔබලට සිරිකොතේ දොරටු විවෘතයි කියලා. යනවද?

මහ පොළොවේ අනාථ වෙලා ඉන්න කණ්ඩායමක්. අනේ අපට උදව් කරන්නකෝ වගේ කතාවක් වගේ මට දැනෙන්නේ.

Q කෝ ඔබලා හදනවා කිව්ව සන්ධානය?

ලබන සතියේ වැඩේ කරනවා. නිල වශයෙන් වෙනවා.

Q අපි දන්නවා ජාතික ජන බලවේගයයි ඔබල‍යි අතර තරගයක් තියෙනවා. අනුර කුමාර මහත්තයා රටවල්වල යනවා. ඔබලගේ සජිත් මහත්තයා බස් බෙදනවා ගමට ගිහින්. ඇත්තටම කාටද වැඩිම ඉල්ලුම?

ඔබ කිව්වා හරි. එයාලා රටවල්වල යනවා. අපේ නායකයා ජනතාව අතරට යන්නේ. අන්න එතැනයි ජයග්‍රහණය. ඒ අය දෙක වෙනවා. අපි එක වෙනවා. 6% කින් වැඩි වෙන්නේ. ඒක පොඩි චූන් එකක්. දැන් ඒ අය එන්න පුළුවන් උපරිම ඇවිල්ලා, දැන් තියෙන්නේ බැස්මක්. කෑම වුණත් කලින් ඉව්වම පිළුණු වෙනවා. ඒ වගේ තමයි මේකත්. කොහොම වුණත් අපි දැන් තමයි වැඩ පටන් ගත්තේ. මාලිමාව කියන්නෙ ගෝඨාභය නොම්බර දෙක. ඒ නිසා බලන්න අපි තමයි ලොකුම මැයි දිනය කරන්නේ.

I ගයාන් ගාල්ලගේ

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00