2024 මාර්තු 30 වන සෙනසුරාදා

පුංචි ඡන්දත් කල් දාලා තියෙද්දි මහ මැතිවරණය කලින් ඉල්ලන එක ප්‍රශ්නයක්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

දුමින්ද දිසානායක - පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

  • ඡන්දෙ දුන් අය පවා පොහොට්ටුව දැන් ප්‍රතික්ෂේප කරනවා
  • මෛත්‍රීපාල මහත්තයා දන්න දේ හෙළි කරන එක එතුමාගේ යුතුකමක්
  • එක එක්කෙනාට බලය දීල බලන වෙලාවක් නෙවෙයි මේක

Q අපි දන්නවා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරලා තියෙන්නේ ඔබේ පක්ෂයේ නායකයා. මේක ලේසි නෑ. දැන් මේකෙන් වුණේ දේශපාලනමය වශයෙන් ලොකු අවුලක් නේද?

එම ප්‍රකාශය කුමක් නිසා මොන අරමුණකින්ද කළේ යන්න දන්නේ නෑ. ඒත් අපි සෙනසුරාදා දිනයේ මධ්‍යම කාරක සභා රුස්වීමේදී මේ සම්බන්ධයෙන් විමසීමක් කරනවා. ඒත් එතුමා ඇත්ත දන්නවා නම් ඇත්ත හෙළිකිරීම එතුමගේ යුතුකමක්.

Q ඔබ ජාතික සංවිධායක හැටියට මේක අවාසියක් නෙවෙයිද?

එතුමා දෙවැනි වතාවට කිව්ව විදිහට සති තුනකට කලින් ආවා නම් එතුමට වහාම එවෙලේම ඒක දැනුම් දෙන්න තිබුණා, පොඩ්ඩක්වත් කල් නොදමා. මේකට සති තුනක් කල් ගත්ත එකෙන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර කල් ගත්තේ කියලා. ඒක එතුමගෙන් අපි අහන්න ඕනෑ.

Q ඔබලා මේ වෙද්දි ඔබලගේ ජනාධිපති අපේක්ෂකයා හැටියට පාඨලී චම්පික රණවක මහත්මයා දාන්න හදනවා. ඒක ඇත්ත නේද?

නෑ එහෙම තීන්දුවක් නෑ. දැනට අපි පක්ෂ ගණනාවක් එක්ක සාකච්ඡා කරගෙන යනවා. ඔය හැමෝම එක්ක කතා කළා. ඒත් අපි තීරණය කරලා නෑ කාටද උදව් කරන්නේ කියලා.

Q චම්පික රණවක එක්ක කතා කළාද?

ඔව් අපි කතා කළා. ඒ අපේක්ෂකත්වය ගැන නෙවෙයි. හදන පුළුල් සන්ධානය ගැන. ඒක හැමෝම එක්ක අපි කතා කරනවා.

Q ඔබලා දැන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන තැන ඉන්නවද?

ඒ ගැන අපි සාකච්ඡා කරලා නෑ තවම. අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ මේ සන්ධානය හදන එක. සන්ධානය පුළුල් කරන්න ඕනෑ.

Q බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් උත්සාහ කරනවා හදිසි මහ මැතිවරණයකට යන්න. ඔබලා ඊට එකඟද?

මම අහන්නේ පළාත් සභා පළාත් පාලන මැතිවරණ කල් ගිහින් තියෙන්නේ, මේ වසරට මැතිවරණයක් තියෙනවා. ඇයි මේ ලබන වසරේ තියන්න ඕනෑ මැතිවරණය ඉක්මනින් තියන්නේ. ඒක ප්‍රශ්නයක්. අපි දැන්වත් හරි දේ කරන්න ඕනෑ. දේශපාලනයට අනුව මේක කරන්නේ කියලා ජනතාව දන්නවා. ඒ නිසා අපි දැන් හරි දේ කරන්න ඕනෑ.

Q ඔබලා විවිධ පක්ෂ එක්ක කතා කළාට පොහොට්ටුව එක්ක කතාවක් නෑනේ. ඇයි ඒ?

පොහොට්ටුවේ කණ්ඩායමක් එක්ක අපි කතා කරනවා.

Q කණ්ඩායමක් කියන්නේ ස්වාධීන වුණු අයනේ. මම අහන්නේ පොහොට්ටුව පක්ෂය එක්ක?

පොහොට්ටුව එක්ක අපි සාකච්ඡා කරලා නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ. පොහොට්ටුවේ ස්වාධීන වුණු අයයි මහ ගෙදර ගැන කතා කරන අයයි එක්ක කතා කරලා අවශ්‍ය නම් පොහොට්ටුවේ උඩ අය එක්කත් කතා කරනවා.

Q ඇයි පොහොට්ටුව එක්ක එකට යන්න බය?

පොහොට්ටුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් යන්නේ. ඡන්දය දුන්න අය පවා. එහෙනම් පොහොට්ටුව සම්බන්ධයෙන් අපිට අවුලක් වෙන එක ලොකු දෙයක් නෙවෙයිනේ‍.

Q මාලිමාවට එක රුල්ලක් තියෙනවා. දැන් ඔබලා ඔවුන්ව පරද්දන්න එකතු වෙන්න හදනවා. ඔබලගේ පොදු හතුරා මාලිමාව කියලා ඒ අයම කියනවා. ඒක ඇත්තද?

අද ජනතාව ආර්ථිකය කඩා වැටීම නිසා පොදු ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා මාලිමාවේ අය කියනවා මමත් අහලා තියෙනවා ඒ අයට දුන්න නිසා අපිටත් දෙන්න කියලා. ඉතින් අවුරුදු 75ක්ම රට වැටුණා නම් එයාලටත් දීලා රට වට්ටගන්න ඕනෑද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම ජනතාවගෙන් ප්‍රශ්න කරනවා. මොකද මේක දීලා බලන්න ඕනෑ අවස්ථාවක් නෙවෙයි. දීලා කරන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි. ගෝඨාභය මහත්තයා වැඩපිළිවෙළක් එක්ක ඇවිල්ලත් වැරදුණා. ඒ නිසා දැන් අවශ්‍ය යම් වැඩ කටයුත්තක් එක්ක ඉදිරියට යාමයි. මාලිමාව කියන විදිහට බලන්න බෑ. මාලිමාවම කියනවා වසර දෙකෙන් තුනෙන් ගොඩගන්න බෑ කියලා. ඒ නිසා මේක සූදුවක් වගේ. ඒක කරන්න බෑ.

Q ඔබලා 74ක් කළ එකේ මාලිමාවට දෙන එකත් සාධාරණයි නේද මිනිස්සු?

මම කියන්නේ එහෙම උරගා බලන්න අවස්ථාවක් නෙවෙයි.

Q එහෙම කරන්නේ කොහොමද, ඔබලා වෙනස් වෙලා නෑනේ?

නෑ අපිත් උත්සාහ කරන්නේ පැහැදිලි වෙනසක් කරන්න. පරණ විදිහට කරන්න නෙවෙයි.

I ගයාන් ගාල්ලගේ