2024 මාර්තු 23 වන සෙනසුරාදා

ආණ්ඩුව දෙලොවක් අතර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 95

හැටේ දශකයේදී හෙළ සිනමාවේ අපූරු සටහනක් තැබූ චිත්‍රපටයක් අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධක්ෂණය කර තිබිණි. ''දෙලොවක් අතර'' නමින් තිරගත වූ එම චිත්‍රපටය හෙළ සිනමාවේ පමණක් නොව ජාත්‍යන්තර​යේද නමක් දිනා ගත්තේය. මෙරට ඉතා ජනප්‍රිය වූ චිත්‍රපටයක් වශයෙන් හැඳින්වෙන එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ටෝනි රණසිංහගේ රඟපෑම අදටත් සිහිපත් කරන රසිකයෝ මෙරට වෙසෙති.

මේ චිත්‍රපටය හදිසියේම සිහිපත් වූයේ අද ආණ්ඩුව මුහුණ දී සිටින බරපතළ අර්බුදය පිළිබඳව සලකා බැලීමේදීය. පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ආණ්ඩුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ආගමනයෙන් පසුව මෙතෙක් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සියල්ල හසුරුවමින් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  පාලනයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. එහි මාතෘකාව මහ මැතිවරණයයි.

මේ වසරේ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපතිට සමීප සියලු දේශපාලනඥයන්ගේ අදහස වී තිබේ. ඒ බව පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කෙරුණු අතර එයට මුලපිරීමක් වශයෙන් යූ.එන්.පීය කුලියාපිටියේදී අකිල විරාජ්ගේ සංවිධායකත්වයෙන් මහජන රුලියක් ද පැවැත්වීය. ජනපතිගේ ආණ්ඩුව ජනාධිපතිවරණයට එහෙම පිඹුරුපත් හදද්දී පොහොට්ටුව එහෙන් මෙහෙන් එයට වංගු ගැහැව්වේය. සාකච්ඡාවට කතා කළ අවස්ථාවේ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් ජනාධිපතිවරයා සමඟ මත ගැටුමකට පැටළුණේය. පසුව සාගර කිව්වේ තමන් ජනාධිපතිවරණයට එන්නේ තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයකු සමඟින් බවය. ඒ සඳහා නම් හතරක් ඇති බවද ඔහු කීවේය.

මේ අතරවාරයේ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දිගටම හිටියේ ඇමෙරිකාවේ ය. ඔහු ආපසු එන බවට සඳහන් වී තිබුණේ අප්‍රේල් මාසයේ දිනයක ය. ඒ වුණත් පො​හොට්ටු පක්ෂය ඇතුළේ ජනාධිපති රනිල්ට සහාය දක්වන පිරිසක් සහ රනිල් විරෝධී පිරිසක් බිහිවෙද්දී පක්ෂය දරුණු බෙදීමකට ලක්වෙමින් තිබූ බව රහසක් වශයෙන් තබා ගැනීමට නොහැකි විය. රනිල්ට සහාය දක්වන පිරිසකට නායකත්වය ලබා දී තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වීම නිසා ගැටලුව වඩාත් සංකීර්ණ විය. ප්‍රමාද වී ආපසු ලංකාවට එන්න සිටි බැසිල්ට හදිසියේම ලංකාවට එන්න බල කෙරුණේ මේ වටපිටාව හේතුවෙනි. මහින්ද රාජපක්ෂ ද පොහොට්ටුවේ ගැටලු විසඳීමට දැරූ හැකියාවන් සාර්ථක නොවීමත් එම ගමන ඉක්මන් කරන්නට ඇත.

ආණ්ඩුවට ''දෙලොවක් අතර'' චිත්‍රපටයට අනුගත වීමට සිදුවූයේ බැසිල් ලංකාවට පැමිණීමත් සමඟය. එතෙක් එහෙ මෙහෙ කසුකුසු ගාමින් බෙදී සිටි පොහොට්ටුවේ පිරිස එක වහළක් යටට ගැනීමට බැසිල්ට වැඩි දවසක් ගියේ නැත. හැබැයි බැසිල් ඒ පිරිස සමඟ එකතු වී සාකච්ඡාවට පැමිණීමට කලින්ම තමන්ගේ අදහස ජනමාධ්‍ය ඔස්සේ පතුරුවා හැරියේය. ''අපි හිතන්නේ මේ වෙලාවේ වඩාත් සුදුසු මහ මැතිවරණයක් කියලයි. ජනාධිපතිවරණය කොහොමත් ඉදිරියේදී තියන්න වෙනවා. එහෙම ජනාධිපතිවරණය මුලින් තිබ්බොත් එක ඡන්දයකින් හරි ඒක දිනන එක්කෙනා මහ මැතිවරණයකට යනවා. එතකොට වෙන්නේ අනෙක් පක්ෂ සෝදාගෙන ජනාධිපති ඉන්න පක්ෂයකට විශාල ආණ්ඩුවක් හැදීමයි. ඒක සැබෑ ජනමතය නොවෙයි. ඒක රුල්ලකට යෑමක්. එහෙම රුලි නිසා ඇතිවෙන්නේ සැබෑ ජනමතයක් නියෝජනය වන ආණ්ඩුවක් නොවෙයි. මේ නිසයි අපි කියන්නේ මුලින්ම මහ මැතිවරණයක් තැබීම සුදුසුයි කියා.''

බැසිල් රූපවාහිනි නාළිකාවලටත් පුවත්පත්වලටත් සාකච්ඡා දෙමින් කිව්වේ ඔය ටිකය. ඒ කතාව ඔහු කැඳවා තිබූ පොහොට්ටුවේ සාමාජිකයන්ගේ සාකච්ඡාවේ ප්‍රධාන තේමාව හැදුවේය. හැබැයි ඒ සාකච්ඡාව ඉවර වී එළියට ආපු මහින්ද මාධ්‍යයට කිව්වේ ‘‘අපි මැයි දිනය ඉතාම සාර්ථකව තියන්න සාකච්ඡා කළා. ඉදිරියේදී මොන ඡන්දය තිබ්බත් පොහොට්ටුව තමයි ජයග්‍රහණය කරන්නේ. අපි මැතිවරණයක් ගැන කතා කළේ නෑ.'' කියලාය. එහෙත් සාකච්ඡාවේදී ඉදිරියේදී මුලින්ම තැබිය යුත්තේ මහ මැතිවරණයක් බවත් ඒ මැතිවරණයෙන් පොහොට්ටුවට උපරිම ආසන ප්‍රමාණයක් ලබාගැනීම ගැනත් මහ මැතිවරණය ලබා ගැනීම සඳහා හැම උත්සාහයක්ම දැරිය යුතු බවත් බැසිල් නොකිව්වා නම් පුදුමය. එහෙම කතාවක් කිව්වේ නැත්නම් පසුගිය බ්‍රහස්පතින්දා (21) සවස් වරුවේ ජනාධිපති රනිල් සහ පොහොට්ටු නිර්මාතෘ බැසිල් අතර හමුවක් තිබෙන්නේ නැත.

බැසිල් පසුගිය කාලයේ ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීමෙන් පසු ඉල්ලීම් ගණනාවක් වරින් වර ඉදිරිපත් කළේය. ඇතැම් රාජ්‍ය ආයතන තනතුරු සඳහා සිදු කළ පත්වීම් සම්බන්ධයෙන් කෙරුණු ඉල්ලීම් ජනාධිපතිවරයා ඉටු කළේය. එහෙත් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට කැබිනට් අමාත්‍ය ධූර ලබා දෙන ලෙසට කළ ඉල්ලීමට ජනාධිපතිවරයා දැක්වූයේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. ඒ හේතුවෙන් ඒ තනතුරු නොලැබුණු ජ්‍යෙෂ්ඨයන් දැඩි කලකිරීමකට පත්ව සිටියත් ආණ්ඩුව අතහැර ගියේ නැත. ඔවුන් ආණ්ඩුව තුළ රඳවා ගැනීමට බැසිල්ගේ බලපෑමක් තිබෙන්නත් ඇත. ඒත් ඒ ප්‍රශ්නය උඩ බැසිල් ජනාධිපති රනිල් සමඟ අමනාප වූයෙත් නැත. දේශපාලනයේ තද ඉවසීමක් තිබෙන ඉතාම උපායශීලී දේශපාලන චරිතයක් වන බැසිල් ජනාධිපති සමඟ මුහුණට මුහුණ ගැටෙන අවස්ථාවක් ඉදිරියේ ඇතිවෙන බව උපකල්පන නොකළා නම් ඒ බැසිල් විය නොහැක.

දැන් ඒ අවස්ථාව උදා වී තිබේ. ගත වූ වසර කිහිපය තුළදී රටේ ඇති වූ තත්ත්වය අනුව ඉදිරි ජනාධිපතිවරණය හමුවේ පොහොට්ටුවේ අපේක්ෂකයාට හිමිවිය හැකි ස්ථානය ගැන සියලු දෙනාටත් වඩා බැසිල් දැන සිටී. ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයකට යා යුතු බව ඔහු ජනාධිපති හමුවී දැඩි ලෙස ප්‍රකාශ කරන්නට ඇති බව නිසැකය. එහිදී ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුර ගැන දැනගන්නට නැත. එහෙත් බැසිල්ගේ මතයට ජනාධිපතිවරයා එකඟත්වයක් පළ කර නැති බව පැහැදිලිය. එහෙම එකඟත්වයක් පළ කර තිබුණා නම් බැසිල් එළියට ඇවිත් කියන්නේ මුලින්ම එන්නේ මහ මැතිවරණයක් බවයි. ඒ වෙනුවට ඔහු කියන්නේ මුලින් මහ මැතිවරණයක් පවත්වන්නැයි තමන් ඉල්ලීමක් කළ බවයි.

දැන් ඡන්දය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉන්නේ දෙලොවක් අතරය. පොහොට්ටුවේ බහුතර බලයෙන් ජනාධිපති ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ මුලින් එන්නේ ජනාධිපතිවරණයක් කියාය. එහෙත් ඔහුට බලය ලබා දෙන පොහොට්ටුවේ ලොක්කන්ගේ ඉල්ලීම මහ මැතිවරණයක් මුලින් තැබිය යුතු බවය. මේ මත දෙක හේතුවෙන් ආණ්ඩුව ඉදිරියේදී දැඩි අර්බුදයකට යන ලකුණු පහළ වෙමින් තිබේ. එම අර්බුදයේ කෙළවර කෙසේ වේ දැයි දැන්ම කිව නොහැකිය. එහෙත් සමහර විට එය ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුවේ බහුතරය අහිමි වී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්වා දිග්ගැසෙන්නටත් හැකියාව තිබේ.

එහෙම වෙන්න නම් පොහොට්ටුවේ සියලු දෙනා බැසිල්ගේ මතය සමඟ එකට සිටගත යුතුය. නමුත් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ කතාවෙන් ක්‍රියාවෙන් පෙනෙන්නේ ඔහු සමඟ තවත් පිරිසක් ජනාධිපති රනිල්ට තීරණාත්මක මොහොතක සහාය දීමට ඉදිරිපත් වීමට ඉඩ තිබෙන බවය. ජනාධිපති ලබා දුන් කැබිනට් තනතුරු සහ රාජ්‍ය ඇමැතිකම් හේතුවෙන් පොහොට්ටුවේ පිරිසක් ඉන්නේ ජනාධිපතිවරයා සමඟිනි. මේ නිසා සමහරවිට බැසිල් ඉදිරියේදී ගහන්න හදන ගේම් එක ආපසු කැරකෙන්නත් බැරි නැත.

''දෙලොවක් අතර'' චිත්‍රපටය අවසන් වන්නේ තමන්ගේ අතින් සිදු වූ රිය අනතුර පොලිසියෙන් වසන් කරගෙන සිටීමේ මානසික ගැටලුවට මුහුණ දීමට නොහැකි වීමෙන් අවසානයේ ටෝනි රණසිංහ තම පෙම්වතිය ද සමඟ පොලිසියට ගොස් බාරවී දොලොවක් අතර ජීවිතයට සමුදීමෙනි. ජනාධිපතිවරණයද මහ මැතිවරණයද යන ගැටලුව නම් ආණ්ඩුවට එහෙම පහසුවෙන් විසඳාගත හැකි බවක් දැනට නම් පෙනෙන්නේ නැත. මේ නිසා ආණ්ඩුව තවමත් ඉන්නේ ''දෙලොවක් අතරය''.

I ශෂීන්ද්‍ර