2024 මාර්තු 23 වන සෙනසුරාදා

මැතිවරණ දෙකම එකම දවසක!

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අතරේ රටේ ජාතික මැතිවරණ පිළිබඳ තීන්දුව දෝලනය වෙමින් පවතී. ඒ අතරේ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පසුගියදා ජාතික මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කළ විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන මුදල ඒකාබද්ධ අරමුදලින් ලබාදීමට කටයුතු කළ යුතු බවය. එයට හේතුව වශයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දී තිබුණේ 2024 වසර සඳහා වන අයවැයෙන් ජනාධිපතිවරණය සඳහා වෙන්කර තිබෙන මුදල මහ මැතිවරණයට භාවිත කළ නොහැකි බවය. මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පසුගිය වසරේදී ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් 2024 අයවැයෙන් වෙන්කර ඇති බවය.

මේ අතර ''දේශය'' කළ විමසුමකදී සමන් ශ්‍රී රත්නායක මහතා කියා තිබුණේ මේ වසර තුළදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කළහොත් ඒ සඳහා රුපියල් බිලියන 20ක් එනම් කෝටි දෙදහසක් වැය කළ යුතු බවය. එය අපේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව ඉතා විශාල මුදලකි. ජනාධිපතිවරණය නියමිත පරිදි මේ වසරේදී පැවැත්විය යුතු අතර මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට නියමිතය. එසේ එක ළඟ දෙවසරකදී ජාතික මැතිවරණ දෙකක් පැවැත්වුවත් මේ බිලියන විස්සේ වියදම එසේම දැරීමට සිදුවෙයි. මේ වියදම අඩු කිරීමට ඇත්තේ සුදුසුම සහ එකම පියවරකි. එනම් මේ මැතිවරණ දෙකම එකම දිනයකදී එකම ඡන්ද පත්‍රිකාවක් යොදාගනිමින් පැවැත්වීමයි. එවිට වියදම ආසන්නව අඩකින් අඩුවන අතර ජාතික මැතිවරණ දෙකක් එකම දින පැවැත්වීම හේතුවෙන් රටේ ජනතාවගේ ප්‍රයෝජනවත් කාලය ද බොහෝ දුරට ඉතිරි කරගත හැකිවනු ඇත.

ජාතික මැතිවරණ පැවැත්වීම රටේ ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවීමක් වන අතර කවර හෝ හේතුවක් යොදාගනිමින් එකී මැතිවරණ කල් දැමීම එම පරමාධිපත්‍යයට බාධා කිරීමකි. කිසිදු හේතුවක් නිසා හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතකින් හෝ මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට නොහැකි බව මැතිවරණ කොමිසම කරන ප්‍රකාශයේ පදනම ද එය වෙයි. එසේ වුවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් එය සිදු කළ හැකි අතර එවිට එක ළඟ මැතිවරණ දෙකම පැවැත්වීමේ අභියෝගය වඩාත් තීව්‍ර වනු ඇත්තේ ඒ සඳහා රුපියල් බිලියන 20ක් අවශ්‍ය වන බැවිනි.

ජාතික මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්වීම හරහා එම බාධකය පහසුවෙන් පැන ගැනීමට අවස්ථාව තිබෙන නමුත් ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලන ධෛර්යය රටේ දේශපාලන නායකයන්ට තිබෙනවාද යන්න ප්‍රශ්නකාරීය. විපක්ෂයේ සිටියදී රටේ ප්‍රජාතන්ත්‍රවාදය රුකගැනීමට මරාගෙන මැරෙන්න වුණත් සූදානම් දේශපාලන පක්ෂ බලයට පත්වීමෙන් පසුව මැතිවරණ ගැන කතා කරන විට නෑසූ කන් ඇතුව සිටීම අපේ දේශපාලනයේ ප්‍රකට ලක්ෂණයකි. බලය අතැතිව සිටියදී මැතිවරණ පවත්වන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය රුකදීමට වඩා තමන්ගේ බලය රුකගැනීමට උපරිම වාසි ගැනීමටය. පසුගිය වසරේ මාර්තුවේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය මේ වනතුරු නොපැවැත්වීමටත් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට සුදුසු යැයි මත පළ කිරීමටත් හේතුව එයයි.

ජාතික මැතිවරණ දෙකම එකම දිනයක එකම ඡන්ද පත්‍රිකාවක් භාවිත කරමින් පැවැත්විය හැකි නම් මේ බොහෝ දුෂ්කරතා මඟහරවාගත හැකිවනු ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ප්‍රධාන පක්ෂ එකඟ නම් ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර සම්මත කර ගැනීමට කිසිදු බාධාවක් නැත. එය රටේ පොදු මහජනතාවගේත් කාලය සහ මුදල් ද ඉතිරි කර දෙන අතරම රටේ භාණ්ඩාගාරයේ බර හෑල්ලු කිරීමක්ද වනු ඇත. ඉන්දුනීසියාව වැනි අති විශාල ඡන්දදායකයන් සිටින රටකටත් එම ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි නම් ශ්‍රී ලංකාවට එසේ කිරීමට බැරිකමක් නැත.