2024 මාර්තු 23 වන සෙනසුරාදා

රනිල් අපේක්ෂකයා නොවුණොත් රට අනතුරේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 55

ප්‍රසන්න රණතුංග - නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය

  • අපේ ආණ්ඩුවත් අපිට හරියට කරගන්න බැරුව ගියා
  • සියයට තුනේ ඉඳලා සියයට පනස් එකක් වෙච්ච පක්ෂයක් කොහෙවත් නෑ
  • ඊළඟ ජනපති තෝරන්නෙත් පොහොට්ටුවෙන්

Q ඔබ එදා පොහොට්ටු රැස්වීම නිමාවෙලා සතුටෙන් එළියට ගිහින් කිව්වෙ වෙලාවට පක්ෂය තීන්දුවක් ගනී කියලා. ඒ හිනාවෙන් පෙනුණේ නම් ඔබලා අපේක්ෂා කරන රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය පොහොට්ටුවෙන් ලැබෙයි කියලා වගේ?

ඒක සම්පූර්ණයෙන් වැරදියි. මම හැමතිස්සෙම හිනාවෙලා සතුටෙන් ඉන්න කෙනෙක්. මගේ හිනාවෙන් ගත්ත තීන්දුව කියන්න බෑ. අනික එදා සාකච්ඡා කළේ මැයි දිනය සම්බන්ධයෙන්. මට විශ්වාසයක් තියෙනවා පක්ෂ සාමාජිකයෝ හා බහුතර කැමැත්ත මත පක්ෂය තීන්දුවක් ගනී කියලා. රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා.

Q ඔබ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෙක්. පක්ෂයේ බහුතර අයගේ මතය මොන වගේ තැනකද තියෙන්නේ?

මට අනික් අය වෙනුවෙන් පෙනී ඉන්න අයිතියක් නෑ. හැබැයි අපිට මතක තියෙන්න ඕනෑ මීට අවුරුදු දෙකකට කලින් රටේ තිබුණු තත්ත්වය. අපි දන්නවා 69 ලක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කරලා 68 ලක්ෂයකින් ආණ්ඩුවක් හදාගෙනත් අපිට ඒක හරියට කරගන්න බැරිවුණා. අපි ඒක පිළිගන්න ඕනෑ. ඒ නිසයි එදා ජනාධිපති, අගමැතිගේ ඉඳලා අපි වෙනකල් තනතුරුවලින් ඉවත් වුණේ. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාරගන්නකොට මේ රට ගිනි ගොඩක තිබුණේ. තෙල් ටික තිබුණේ නෑ, ගෑස් ටික තිබුණේ නෑ. පෝලිම් තිබුණා. මේ ආර්ථික තත්ත්වයට එන්න ඉතිහාසයේ ඉඳලා හේතු තිබුණා. අපි රජයක් හැටියට වගකියන්න ඕනෑ නෑ. හැබැයි කොටස්කාරයෙක් හැටියට පිළිගන්නවා. හැබැයි අපි විපක්ෂය වගේ කකුලෙන් අදින න්‍යායක නෑ. ඔබට මතක ඇති ඩොලර් එක හාරසීයට කිට්ටු වුණා. ඒත් අද වෙද්දි තුන්සීයට අඩුයි. මේ නිසා බඩු මිල අඩු වෙනවා. වැට් එක පවා ඉදිරියේදි අඩු වෙනවා. තිබුණු තත්ත්වයත් එක්ක අද රට ස්ථාවරයකට ඇවිල්ලා තියෙන්නේ. ඔබ දන්නවා මම තරම් එතුමාව විවේචනය කළ කෙනෙක් නෑ. ඒත් මගේ අතින් වැරුද්දක් වෙලා තියෙනවා නම් අපි ඒක නිවැරදි කරගන්න කටයුතු කරනවා. අද බලන්න ලෝක බැංකුව ගොඩදාන්න හදන රටවල් අතර ලංකාවත් තෝරාගෙන තියෙනවා. ඒ වගේ වැඩ කරපු කෙනෙක් වෙනුවෙනුයි මම පෙනී ඉන්නේ.

Q ඔය කියන ජනපති අපේක්ෂකත්ව යෝජනාව ඉෂ්ට නොවුණොත් පොහොට්ටුවට මොකද වෙන්නේ? රටට මොකද වෙන්නේ?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණත් නැතත් අපි ශක්තිමත් පක්ෂයක්. ඒ වගේම අනාගතයේ ජනාධිපතිවරයෙක් පත්වෙනවා. ඒ පත්වෙන කෙනා පොහොට්ටුවේ සහාය මත තමයි පත් වෙන්නේ. ඒ වගේම රටක් හැටියත් අභියෝගවලට මුහුණ පාන්න වෙනවා. විශේෂයෙන් අයි.එම්.එෆ්. එක සහ ලෝක බැංකුව මේ වෙද්දි පිළිගන්නවා අපි ඉක්මනින් නැගී හිටිය රටක් හැටියට. ඒ නිසානේ ලෝක බැංකුව රටවල් 20කට මූලිකත්වය දීලා ඒ 20 අතරට අපිව තෝරාගෙන තියෙන්නේ. ඒ මේ පාලනය සම්බන්ධයෙන් තියෙන විශ්වාසය. ඒක අතහැරලා දාලා ගියොත් රටක් හැටියට අපි නැවත කඩා වැටෙනවා.

Q දැන් අපි දන්නවා බැසිල් රාජපක්ෂ මහත්තයා ඇතුළු අය තවම අපේක්ෂකයා කවුද කියලා නෑ. ඒ වගේම ඔබලා හිතන් ඉන්නේ ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඇත්තටම ඔබලගේ අදහස ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක එකඟතාවයකට ආවේ නැද්ද?

බැසිල් රාජපක්ෂ මහත්තයා එක්ක ප්‍රසන්න රණතුංග වාඩිවෙලා තීන්දු ගන්නවා. මම එහෙම තීන්දු ගන්න කෙනෙක් නෙවෙයි. මට පුළුවන් මගේ මතය කියන්න විතරයි. අනෙක් අය එක්කත් කතා කරන්න ඕනෑ. කොහොම වුණත් මේ වෙද්දි මහින්ද මහත්තයත් බැසිල් මහත්තයත් ඒ සම්බන්ධයෙන් කතා කරමින් යන්නේ.

Q ඔබ සහ බැසිල් රාජපක්ෂ අතර යම් ගැටුමක් හදන්න පිරිසක් උත්සාහ ගන්නවද?

මෙහෙමයි. සමහරුන්ට වුවමනාව ඇති. බැසිල් රාජපක්ෂ මහත්තයා දන්නවා මම කවුද කියලා. මම දන්නවා බැසිල් රාජපක්ෂ මහත්තයා කවුද කියලා. මම හැමදාම ස්ථාවරයක හිටියේ. මම නිවැරදි තීන්දු වෙනුවෙන් පෙනී සිටියා. කොහොම වුණත් පක්ෂයේ මහලේකම් ගිහින් වෙන පක්ෂයක ජනාධිපති අපේක්ෂකයා වුණා නම් ඕවා මොනවද? එතුමාත් මාත් අපි දෙන්නට කියන කේලම් අපි දෙන්නට දෙන්නා කතා කරනවා. මට වෙන දේවල් එතුමට මම කියනවා. එතුමට වෙන දේවල් මට කියනවා. අපි දෙන්නම හිතන විදිහ සමානයි.

Q දැන් ප්‍රශ්නය තියෙන්නේ මහ මැතිවරණයද, ජනාධිපතිවරණයද කියලා. ඇත්තටම මොකක්ද මැතිවරණය?

අපි මොන දේට කැමති වුණත් ජනාධිපතිවරයා තමයි තීන්දුව ගන්නේ. එතුමා ජනාධිපතිවරණයට යමු කිව්වත් මහ මැතිවරණයකට යමු කිව්වත් අපිට ඒකට සූදානම් වෙන්න වෙනවා.

Q ඔබේ පෞද්ගලික මතය අනුව මොකක්ද සුදුසුම මැතිවරණය මේ වෙලාවේ?

මගේ පෞද්ගලික අදහස ජනාධිපතිවරණයකට යන්න ඕනෑ කියලා.

Q කෝප් කමිටුවේ සභාපතිවරයට ලොකු විරෝධයක් ඇවිල්ලා දැන්. මොකද වෙන්නේ?

මෙහෙමයි. එතුමට විරුද්ධව අධිකරණයේ තීන්දු ලැබිලා නෑ. එතුමා වැරදිකාරයෙක් වෙලා නෑ. එතුමා පක්ෂයෙන් පත් කළ කෙනෙක්. කට්ටිය ඉවත් වෙනවා නම් විපක්ෂයේ සංවිධායක ඒ අය වෙනුවෙන් කට්ටිය පත් කරන්න ඕනෑ. එහෙම නැතත් ඝන පූර්ණය අවශ්‍ය 5 යි. ඒ පහ අපිට ඉන්නවා. අපි කෝප් කමිටුව පවත්වාගෙන යනවා.

Q ජාතික ජන බලවේගය පවසන්නේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, මේ හැමෝම එකම වේදිකාවකට එනවා මාලිමාව පරාජය කරන්න කියලා. ඒක ඇත්තද?

ජාතික ජන බලවේගය අපිට නම් අභියෝගයක් නෙවෙයි. මොකද 3% ක ඉඳලා 51% දක්වා වැඩි වෙන්නේ නෑ. ඔවුන්ගේ දේශපාලන න්‍යාය මොකක්ද කියන එක හැමෝම දන්නවා. මිනිස්සු දන්නවා කවුද කියලා ඒ අය. ඔය කට්ටිය අත් පිහදාගන්න හැදුවට ඒ අය මේ රටේ නායකයෝ හදන්න සම්බන්ධ වුණු අය. ඒ නිසා ඒ අය කියන දේවල් බුද්ධිමත් මිනිස්සු පිළිගන්නෙ නෑ.

I ගයාන් ගාල්ලගේ

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00