2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඖෂධ වෙළෙඳාම ගරානාවක් කරගත් රාජ්‍ය සංස්ථාව!

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

ඖෂධ මිල ගණන් මතක් වෙන විටත් බඩ පපුව දාලා යන ගතියක් නොදැනෙන රෝගියෙක් නැත. රෝගීන් පමණක් නොව ඔවුන්ගේ සමීප ඥාතීන්ටද එහෙම දැනෙන්නේ එම මිල ගණන්වල දැඩි බලපෑමක් ඔවුන්ටද තිබෙන බැවිනි. මේ හේතුවෙන් ඖෂධ මිලදී ගන්නා බහුතරය දේශීයව නිපදවන ඖෂධ සොයා යති. එහෙත් එසේ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරන ප්‍රධානම ආයතනය වන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ද තම ඖෂධ අලෙවියෙන් අති විශාල ලාභයක් උපයන බව කෝප් වාර්තාවක් මගින් කළ හෙළිදරව්ව රෝගීන්ගේත් ඔවුන්ගේ සමීපතමයන්ගේත් හදගැස්ම වැඩි කර තිබේ.

අපගේ ''දේශය'' ප්‍රධාන පුවතින් හෙළිකර ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවා අලෙවි කරන ඖෂධ වර්ගවලින් ඔවුන් 26% සිට 81% දක්වා ඉතා විශාල ලාබයක් ලබාගෙන ඇති බවය. එම මිල ගණන් නිෂ්පාදන වියදමට වඩා ඉතා ඉහළ අගයක් බවද වාර්තා වී ඇත. මෙතරම් ලාබ ගැනීම පිළිබඳ හේතු සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් කළ විමසීමේදී සංස්ථාවේ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඒ හා සමාන සෙසු තරගකාරී ඖෂධ මිල ගණන් ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් සංස්ථාවේ නිෂ්පාදිත ඖෂධ මිලදී ගැනීම පාරිභෝගිකයන්ට වාසි බවය.

සංස්ථාව ලබාදුන් එම පිළිතුරෙන් තම නිෂ්පාදනවල මිල සංස්ථාවට ඉතා ඉහළ ලාබයක් ලැබෙන පරිදි නියම කර ඇතැයි පිළිගෙන තිබේ. ඇත්ත තත්ත්වය පිළිගැනීම සතුටට කරුණක් වුවත් රාජ්‍ය සංස්ථාවක් රටේ ජනතාවගෙන් අයුතු ලාබ ලබාගන්නා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ කනගාටුවකි. රාජ්‍ය සංස්ථාවක් හෝ ආයතනයක් හෝ ලාබ ලබන තත්ත්වයකින් පවත්වාගෙන යාම සිදුවිය යුතු වුවත් ඒවා කළු කඩ තත්ත්වයට පත්විය යුතු නැත. රාජ්‍ය සංස්ථාවක් රටේ පොදු මහජනතාවට වගකීමකින්ද බැඳී සිටියි. එසේ තිබියදී මහජනතාව සූරා කන ව්‍යාපාරයක නිරත වීමට ඔවුන්ට සදාචාරාත්මක හැකියාවක් නැත.

මේ රටේ ඖෂධ ගෙන්වීම සහ අලෙවිය විශාල ජාවාරමක් බවට පත්ව තිබේ. මෙම ජාවාරම රටේ ඉතා බලවත් පිරිස් විසින් හසුරුවනු ලබන බව මේ දිනවල අධිකරණය ඉදිරියේ දිගහැරෙන බාල බෙහෙත් මගඩිය නඩු වාර්තාවලින් හෙළි වී තිබේ. සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරීන් පිරිසක් පමණක් නොව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාද එම නඩුවේ සැකකරුවන් බවට පත් වී මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටිති. එම නඩුවට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වන විට තවත් බලවත් පුද්ගලයන් කිහිප දෙනකුටම රිමාන්ඩ් භාරයට පත්වීමට සිදුවනු ඇතැයිද සඳහන් වේ.

මේ සිද්ධිය රටේ ඖෂධ මිලදී ගන්නා සියලු දෙනා තුළ විශාල තැතිගැන්මක් ඇතිකිරීමට සමත් විය. තමන් මිලට ගන්නා ඖෂධ නිසි ප්‍රමිතියට තිබේදැයි දැනගැනීමට මේ කිසිවකුටත් හැකියාවක් නැත. එසේම ඒවායේ සඳහන් මිල ගණන් සාධාරණ දැයි සෙවීමටත් ක්‍රමයක් නැත. අප සියලු දෙනා පොදුවේ දැන සිටින්නේ අත්‍යාවශ්‍යම ඖෂධ වර්ග සඳහා අපට ඉතා ඉහළ මිලක් ගෙවීමට සිදුව ඇති බවය. ගෙන්වීමේදී වැය කෙරෙන මුදලට අමතරව බදු පිට බදු වැදීම හේතුවෙන් ඉහළ යන මිලට අසීමිතව එක් කෙරෙන ලාභාංශ ඖෂධ වෙළෙඳාම ඉතා වාසිදායක ව්‍යාපාරයක් බවට හරවා තිබේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව බිහිකිරීමේ එක් අරමුණක් වී තිබුණේ මෙරට වැසියන්ට දැරිය හැකි සාධාරණ මිලකට හොඳ ප්‍රමිතියකින් යුත් ඖෂධ ලබා දීමයි. නමුත් සිදු වී තිබෙන්නේ පිටරටින් ගෙන්වන ඖෂධ සමඟ තරගකාරී මිලකට මෙරට නිෂ්පාදිත ඖෂධ මිලදී ගැනීමට ජනතාවට බල කිරීමයි. එය සිදු නොවිය යුත්තකි.

ලාබ ලැබීමකින් තොරව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවත්වාගෙන යා යුතු යැයි මෙරට කිසිවකුත් කියන්නේ නැත. එහෙත් එසේ වූ පමණින් හිතුමතේ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමට සංස්ථාවට අයිතියක් තිබිය නොහැක. ඒ හා සමාන මෙරටට ගෙන්වනු ලබන ඖෂධවල මිල ඉතා ඉහළ මට්ටමකින් පවතින විට රාජ්‍ය සංස්ථාවක් වශයෙන් කළ යුතුව තිබුණේ ප්‍රමාණවත් ලාබයක් තබාගෙන මෙරට ජනතාව වෙනුවෙන් සාධාරණ මිලකට එම ඖෂධ අලෙවි කිරීමට කටයුතු යෙදීමය. එය එසේ සිදු නොකර ඉහළ මිලක් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයේ වෙළෙඳ සමාගම්වලින් කිසියම් බලපෑමක් කර තිබේදැයි අපි නොදනිමු. එසේ බලපෑම් කිරීමේදී ඒ සඳහා අත යට ගනුදෙනුවලින් එක් එක් බලවතුන්ගේ සාක්කු පිරෙන බව නම් අපි දනිමු. අවසානයේ එහි පාඩුව විඳින්නේද පාරිභෝගිකයන් වන මෙරට ජනතාවයි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00