2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

සිරගත කළ ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් පෙරළියක්

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 105

2024 සැලකෙන්නේ ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක මැතිවරණ පැවැත්වෙන වසරක් හැටියටය. ලොවේ ජනගහණය අතින් විශාලම රටවල් 10න් 07කම ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ මේ වසරේ පැවැත්වෙයි.

බංග්ලාදේශය, ඉන්දියාව, අමෙරිකාව, ඉන්දුනීසියාව, පාකිස්තානය, රුසියාව, මෙක්සිකෝව එම රටවල් 07යි. මේ අතුරින් බංග්ලාදේශයේත් පාකිස්තානයේත් මැතිවරණ පවත්වා අවසන්ය. ඉන්දියාවේ මහ මැතිවරණය ලබන අප්‍රේල් - මැයි මාසවලදී පැවැත්වෙන අතර ඉන්දුනීසියා මහ මැතිවරණය පෙබරවාරි 14 වැනිදා පැවැත්වෙයි. අමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 05 වැනිදාත් මෙක්සිකෝවේ මහ මැතිවරණය ජූනි 02 වැනිදාත් දින නියම වී තිබේ. රුසියාවේ ජනාධිපතිවරණය මාර්තු 17 පැවැත්වෙයි.

ලොවේ වැඩිම ජනගහනයක් සහිත එම රටවලට අමතරව ශ්‍රී ලංකාව වැනි සුළු ජනගහනයක් ඇති රටවල් බර ගණනකද මැතිවරණ මේ වසරේ පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 16ත් ඔක්තෝබර් 16ත් අතර පැවැත්වීමට නියමිත වුවත් මහ මැතිවරණය ඊට කලින් පැවැත්විය හැකි බවට මත පළවෙමින් තිබේ.

මීට අමතරව ලොව පුරා ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ 48ක් මේ වසර තුළදී පැවැත්වීමට නියමිතය.

මේ අතර ලොව පුරා විශේෂ අවධානයකට ලක්වූ පාකිස්තාන මහ මැතිවරණයේ ප්‍රතිඵල පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට නිකුත් වෙමින් පැවැති අතර දැනට සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ඉදිරියෙන්ම සිටින බව වාර්තා විය.

පාකිස්තාන් තරීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයට ඉම්රාන් ඛාන් නායකත්වය දුන්නත් ඔහුව නීතියෙන් දේශපාලන කටයුතුවලට අවහිර කර සිරගත කිරීම හේතුවෙන් ඔහුගේ පක්ෂයේ අපේක්ෂකයන් ඉදිරිපත්ව තිබුණේ ස්වාධීන කණ්ඩායමක් වශයෙනි. සිකුරාදා (09) සවස් වන විට නිකුත්ව තිබූ ආසන 137න් 50ක් දිනාගෙන තිබුණේ ඉම්රාන් ඛාන්ගේ පක්ෂයයි. දැනට අගමැතිව සිටින නවාස් ෂරීප්ගේ සොහොයුරුගේ පක්ෂයට ආසන 44ක්ද භූතෝ පවුල නායකත්වය දෙන පාකිස්තාන් ජනතා පක්ෂය ආසන 35ක්ද දිනා තිබිණි. මේ මැතිවරණයේ ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ජයගතහොත් එය විශාල දේශපාලන පෙරළියකට මුල පිරීමක් වීමටද ඉඩ තිබේ.