2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

අනුරගේ ඉන්දියා ගමන

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 132

ඉන්දියාව ලංකාවෙ විපක්ෂයේ පක්ෂ නායකයකුට නිල සංචාරයකට එන්නැයි කියා ආරාධනා කරන්නේ කලාතුරකිනි. එහෙම ආරාධනා කළත් ඒ සංචාරය ආරාධනාව සිදු කළ දේශපාලනඥයා හමුවී කරන සාකච්ඡා හැරුණුවිට වෙනත් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් සැලසුම් කරන්නේ නැත. ඒ වගේම එහෙම සංචාරයකට ඉන්දියාවේ මාධ්‍ය ලොකු ප්‍රචාරයක් දෙන්නේත් නැත.

2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමට පෙර එවකට විපක්ෂයේ සිටි මංගල සමරවීර ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙනකුට ඒ මැතිවරණයට කලින් ඉන්දියාවේ සංචාරයකට අවස්ථාව සැලසුණි. ඒ වගේම ඒ කාලෙ ලංකාවට ආපු ඉන්දියාවේ දේශපාලනඥයන්ද ආණ්ඩුවේ ලොක්කන් වගේම විපක්ෂයේ නායකයන්ද හමුවූහ. ඉන්දියාවේත් ලංකාවේත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අනුව ලංකාවේ විපක්ෂයේ නායකයකුට ඉන්දියාව නිල වශයෙන් සංචාරයකට එන්නැයි ආරාධනා කිරීම හැම අතින්ම සුවිශේෂය. ඒ ආරාධනාව ආවාට ගියාට සිදු කරන එකක් නොව හොඳට සිතා බලා සැලසුම් කර න්‍යාය පත්‍රයක්ද හදාගෙන ක්‍රියාවට නංවන රාජ්‍ය තාන්ත්‍රික පියවරකි.

අනුර කුමාර දිසානායක, ජවිපෙ නායක සහ ජා.ජ.බ. නායකයා හැටියට ඉන්දියාවේ සිදුකරන නිල සංචාරය ගැන ද හින්දු පුවත්පතේ මීරා සිරිනිවාසන් පෙබරවාරි 04 වැනිදා සඳහන් කර තිබුණේ මෙසේය.

''ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් දූත පිරිසකට ඉන්දියාවේ සංචාරයක යෙදෙන්නැයි ඉන්දීය රජය කළ ඇරියුම, මේ වන විට ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය දේශපාලනඥයා සම්බන්ධයෙන් සිදු කළ වැදගත් පිළිගැනීමකි. ඉරිදා (04) රාත්‍රියේ ද හින්දු පුවත්පතට ප්‍රකාශයක් කළ දූත පිරිසේ සාමාජිකයකු වන ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේ දින 05ක සංචාරයක් සඳහා තමන් ඉන්දියාවට යන බවත් එහිදී සාකච්ඡා පැවැත්වෙන බවත්ය. ජාතික ජන බලවේගයේ ද නායකයා වන ජවිපෙ නායකයාට සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ඉන්දීය රජයෙන් නිල ආරාධනයක් ලැබුණේ පළමු වතාවටය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයීය ආරංචි මාර්ග ප්‍රකාශ කළේ එම සංචාරයේදී දූත පිරිස නවදිල්ලි, අහමදබාද් සහ තිරුවානස්තපුරම් නගර තුනට යාමට නියමිත බවත් එහිදී රජයේ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් හමුවන අතර කෘෂිකාර්මික සහ කාර්මික අංශවල ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන මධ්‍යස්ථාන නැරඹීම සඳහා ද ඔවුන් යනු ඇති බවත්ය.''

එසේ කියන ''ද හින්දු'' පුවත්පත ජවිපෙ සම්බන්ධයෙන් කෙටි දේශපාලන විග්‍රහයක්ද කර තිබිණි. එහි මෙසේ සඳහන්ය.

''දිසානායක මහතා මෑතකාලීනව ලබා ඇති ඉහළ ජනප්‍රියත්වය මෙම සබඳතා වර්ධනයට හේතු වී තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධූරය අහිමි කරමින් 2022 දී සිදුකෙරුණු ඓතිහාසික ජන අරගලයට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීමය. කොළඹ මූලික කරගත් සමීක්ෂණ ආයතනයක් වන ''Institute for Health Policy'' මගින් සිදුකළ නවතම සමීක්ෂණයට අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී වඩාත්ම කැමැත්ත හිමිකරගනු ඇතැයි ප්‍රකාශ වී ඇති අපේක්ෂකයා වන්නේ අනුර කුමාර දිසානායකයි. සමීක්ෂණයට සහභාගි වූ 50% ක් ප්‍රකාශ කර තිබුණේ තමන් ඡන්දය ප්‍රකාශ කරන්නේ අනුර කුමාර දිසානායකට බවය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 33% කගේ කැමැත්ත හිමි කරගෙන තිබූ අතර රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව තිබුණේ 9% කගේ කැමැත්ත පමණි. මේ ප්‍රතිඵලය නිකුත් වී තිබුණේ ජනවාරියේය. මේ ප්‍රතිඵලය පසුගිය වසර පුරා සිදුකෙරුණු දේශීය මත විමසුම් ගණනාවක නැවත කියවීමකි.

එසේම තවදුරටත් සඳහන් විය යුත්තේ ඉන්දියාව කෙරෙහි ජවිපෙ දැක්වූ ආකල්පයේ පැහැදිලි වෙනසක් සමඟ ඔවුන්ගේ ඉන්දීය ගමන සිදුවීමයි. සන්නද්ධ අරගලයක නිරත වී වසර දශක 04කට පසුව එය සිදුව තිබෙන අතර ඔවුන් 1987 ඉන්දු - ලංකා ගිවිසුම ''ඉන්දියාවේ ව්‍යාප්තවාදයේ'' කොටසක් හැටියට අර්ථ ගන්වා තිබිණි. පසුගිය දෙසැම්බරයේ ''ද හින්දු'' සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී දිසානායක මහතා තම පක්ෂයේ වෙනස් වීම සඳහන් කළේය. ''අපි දැන් දන්නවා ඉන්දියාව, අපගේ ආසන්නම අසල්වැසියා, දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් ප්‍රධානම මධ්‍යස්ථානයක් බවට පත්වී තිබෙන බව. මේ නිසා අප විසින් ගනු ලබන දේශපාලනික සහ ආර්ථිකමය තීන්දුවලදී අප සැමවිටම ඒවායින් ඉන්දියාවට සිදුවන බලපෑම පිළිබඳව සැලකිලිමත් වෙනවා.''

ඉන්දියාවේ ''ද හින්දු'' පමණක් නොව සියලු ප්‍රධාන පෙළේ මාධ්‍ය අනුර කුමාර දිසානායකගේ ඉන්දීය රජයේ නිල ඇරියුමින් සිදු කළ සංචාරය සඳහා විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. මෙහිදී වඩාත් ඔවුන්ගේ අවධානයට යොමු වී තිබුණේ එම දූත පිරිස ඉන්දීය රජයේ මහ බල කණු දෙකක් වශයෙන් සැලකෙන විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවීම පමණක් නොව ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමයි. එරට මාධ්‍ය එම සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ 55 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික දේශපාලනඥයා සමඟ ඉන්දීය මධ්‍යම රජය ඉහළම මට්ටමින් සබඳතා ඇතිකර ගැනීමේ වැදගත්කම එමගින් සලකුණු කර ඇති බවය.

විදේශ ඇමැති ජයිශංකර්, අනුර කුමාර හමුවීමෙන් පසුව තම X සමාජ මාධ්‍ය වේදිකාවේ (කලින් ට්විටර් ගිණුම) මෙසේ සඳහන් කර තිබිණි. ''අපගේ ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෙන්‍ය ආධාර උපකාර තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් හොඳ සාකච්ඡාවක් පැවැත්වුණා. එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අප සාකච්ඡා කළා.'' ඉන්දියාව ''තම අසල්වැසියා පළමුව'' ප්‍රතිපත්තියේ රුඳී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවට ඉන්දියාව විශ්වාසදායී මිතුරකු සහ හවුල්කරුවකු වශයෙන් නිරතුරුව සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමඟ සිදු කළ සාකච්ඡාව ගැන ඉන්දියාවෙන් කිසිවක් ප්‍රකාශ වුණේ නැත. එම සාකච්ඡාවට සම්බන්ධ වූ විජිත හේරත් මන්ත්‍රීවරයා නවදිල්ලියේ සිට ''ද හින්දු'' පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ''දොවාල් මහතා සමඟ තමන් සිදු කළ සාකච්ඡාවේදී කලාපීය ආරක්ෂාව සහ දෙරට අතර ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළා'' යනුවෙනි.

අනුර කුමාරලා ඉන්දියාවේ කළ සංචාරය මේ රටේ දේශපාලනය තුළ දැඩි කැළඹීමක් ඇති කළේය. එහෙම කැළඹීමක් ඇතිවුණේ අනුරගේ එම ගමනට මේ රට ඇතුළේත් ලොකු ප්‍රසිද්ධියකට මග පාදමිනි. විවිධ ආකාරයට අනුරලාගේ ගමන බොහෝ දේශපාලන පක්ෂවල ජ්‍යෙෂ්ඨයන් අතින් නිර්දය විවේචනයට ලක් විය. සමහර දේශපාලකයෝ ජවිපෙ පන්ති පහ ගැන පවා චෝදනා කළහ. පැරණි ජනතා විමුක්ති පෙරමුණේ ලොකුම සලකුණක් වූ ප්‍රබල ඉන්දීය විරෝධයත් ඉන්දියාවේ ව්‍යාප්තිවාදයත් සමහරුන් ඉදිරියට ගෙන තිබුණි. ඇයි මේ තරම් කලබලයක්? ඉන්දියාවට විරුද්ධව ජවිපෙ ඒ කාලෙ අරගල කරපු හැටි ඉන්දියාව දන්නෙ නැද්ද? ඒ ගැන ඉන්දියාවට දැන් මතක් කර දීමෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනකුට එහෙම නොසිතුණා නම් පුදුමය.

දැන් මේ සියලු දෙනාම කලබල වී ඉන්නේ ජවිපෙ ප්‍රමුඛ ජා.ජ.බ. ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණය කිරීමට ඉඩ තිබෙන බවට ඉන්දියාව ලබා දී තිබෙන ප්‍රබල සංඥාව හේතුවෙනි. ඉන්දියාව අනුර කුමාරලා සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරන්න එන්න කිව්වේ වඩේ සමඟ තෝසෙ කාලා කළු කෝපි බීමට නොවන බව ජාත්‍යන්තර දේශපාලනය ගැන දන්නා අයට රහසක් නොවේ. මේ රටේ සෙසු දේශපාලන පක්ෂවලටත් එය රහසක් විය නොහැකිය. එහෙම නම් මේ අය කරන්න ඕනෑ ජවිපෙට ජා.ජ.බ.යට දිගට හරහට ගහන එකද නැත්නම් තමන්ගේ පක්ෂ රටේ ජනතාවගේ අවශ්‍යතා අනුව හදාගන්න එකද?

මේ කියන විදියට සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී තිබෙන්නේ සත්‍ය තත්ත්වය නම් අනුර කුමාරලාට ගහන හැම පහරෙන්ම සිදුවෙන්නේ ඔවුන් තවදුරටත් ජනතාව අතරේ ජනප්‍රිය වීමය. රටේ පවතින දේශපාලන සංස්කෘතියට මේ රටේ පොදු මහජනතාවගේ පවතින දැඩි විරෝධය හරි හැටි හඳුනා නොගන්නා දේශපාලන පක්ෂවලට ඉදිරි මැතිවරණය ඉතා අමිහිරි අත්දැකීමක් වීමට ඉඩ තිබේ. රටේ පොදු ජනමතය වෙනස් කිරීමට උත්සාහ දරනවා වෙනුවට ඔවුන් කළ යුත්තේ අද ජනතාවගේ සිතුම් පැතුම්වලට අනුව තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමය. අනුර කුමාරලා පහුගිය කාලය පුරාම නිහඬව සිදුකර ඇත්තේ ඒ කාර්යයයි. එය පල දරා ඇති බව ඔවුන්ට ඉන්දියාවෙන් ලද නිල ඇරියුම හොඳින්ම පෙන්වා දී තිබේ. ජවිපෙ පරණ කැරුට්ටුව එළියට අරගෙන කොපමණ පහර ගැහැව්වත් අද ඉන්දියාව අලුත් ජවිපෙට ජා.ජ.බ.ට ඔවුන්ගේ ඉහළම පිළිගැනීම ලබා දී තිබේ. 

සියලු දේ වෙනස් වන ලෝකය තුළ පරණ හනමිටි ප්‍රතිපත්තිවලම රුඳී සිටිමින් ජනතාවගේ සිත් තුළට බලයෙන් තම අදහසක් ගිල්ලවනවාට වඩා අලුත් ලෝකයට ගැලපෙන විදියට තමන්ට හැදෙන්න පුළුවන් නම් ලංකාවේ ජනතාවගේ පමණක් නොව ඉන්දියාවේ නායකයන්ගේත් කැමැත්ත දිනාගත හැකි බව අනුර කුමාරලා පෙන්වා දී තිබේ. එදා ඉන්දියාවේ පරිප්පුවත් එපා කියූ ජවිපෙ අද ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්නේ අපේ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මග ගැනය. ඉන්දියාවේ ආයෝජන ඉන්දීය ව්‍යාප්තිවාදයේම කොටසක් හැටියට එදා දුටු ජවිපෙ අද ඉන්දියාවේ ආරාධනයෙන් එරට දැවැන්ත ව්‍යවසායකයන්ගේ ඇරියුමින් අමුල්, ටාටා වැනි ආයතන බලන්නත් යයි. ආයෝජන ගැනත් සාකච්ඡා කරයි. මේ රටේ ඇතැම් නායකයන් තවමත් එදා ජවිපෙ භීෂණය, පන්ති පහ ගැන කතා කළත් ජවිපෙ අද ඒ ප්‍රතිපත්ති අතහැර ඉදිරියට පැමිණ වෙනස් වන ලෝකය සමඟ එකතු වෙමින් සිටියි. ඉන්දියාව දකින්න ඇත්තේ මේ රටේ නායකයන් තවමත් නුදුටු ජවිපෙ එම වෙනසයි. අනුරලාගේ ඉන්දියාවේ ගමන මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය කැළඹීමට හේතු වී ඇත්තේ මේ වෙනස පිළිගැනීමට අකැමැති වීම හේතුවෙනි. අලුත් ආර්ථික සහ දේශපාලනික ප්‍රවණතා හඳුනා ගනිමින් ඒ අනුව කටයුතු කර ගොඩ යනවාද නැත්නම් පරණ පාරෙම ගිහින් දේශපාලන අනාගතය නැතිකර ගන්නවාද යන්න මේ දේශපාලන පක්ෂ ඉක්මනින් තීන්දු කළ යුතුය. ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට තව වැඩි කාලයක් නැත.

- ශශීන්ද්‍ර

 

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00