2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

විරෝධතා රැල්ල

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කලබැගෑනි ඉවර නැත. එක් අතකින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රිමාන්ඩ් භාරයට යවනු ලැබ සිටී. ඒ බාල බෙහෙත් මගඩියේ සැකකරුවකු වශයෙනි. සෞඛ්‍ය සේවයේ තවත් නිලධාරීහු පිරිසක්ද රිමාන්ඩ් භාරයේ සිටිති. ඒ අතරේ වෛද්‍යවරු වැඩවර්ජනයක් දියත් කළහ. ඒ ''ඩැට්'' යනුවෙන් හැඳින්වෙන විශේෂ රුපියල් 35,000 ක දීමනාව වහාම ලබා දෙන ලෙස දැනුම් දෙමිනි. දීමනාව ලැබීමෙන් පසු එම වැඩවර්ජනය අත්හිටුවනු ලැබීය. නමුත් ඒ සමඟ සෞඛ්‍ය සේවාවේ හෙද හෙදියන් හැර සෙසු වෘත්තීය සමිති වැඩවර්ජනයක් ඇරඹූහ. තිස්පන්දාහේ දීමනාව තමන්ටද අවශ්‍ය බව එයට නිමිත්ත විය.

වර්ජනයත් සමඟ රජයේ රෝහල් පද්ධතිය දැඩි ලෙස අකර්මණ්‍ය විය. හමුදාව යොදවා අසීරුතා මගහරවා ගැනීමට රජය කටයුතු කළත් එය එතරම් දුරට සාර්ථක වූයේ නැත. මේ නිසා එම සටන මෙහෙයවූ වෘත්තීය සමිති සමඟ මුදල් අමාත්‍යංශයේත් සෞඛ්‍යයේත් බලධාරීන් පිරිසක් සාකච්ඡා පවත්වා ගැටලුවට විසඳුමක් සෙවීමට උත්සාහයක් දරණු ලැබීය. මේ හේතුවෙන් එය තාවකාලිකව යටපත් වුවද ඉල්ලීම් නුදුන්නොත් යළි වැඩවර්ජනයකට යන බවට වන සටන් පාඨය අතැතිව දැන් ඔවුහු රාජකාරියට වාර්තා කරමින් සිටිති. එය හිසරදයට නළල තෙත් කිරීමක් පමණි.

සෞඛ්‍ය හැරුණුවිට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිද දැන් කාලයක සිට විරෝධතාවයේ රතු එළි දල්වමින් සිටී. ඔවුන්ගේ සටන වැටුප් හා දීමනා ඉල්ලීමක් නොවේ. මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව සිදුකරන සටනකි. මේ සටන ආණ්ඩුවේ ප්‍රතිපත්තියකට එරෙහිව කෙරෙන්නක් බැවින් එහිදී වෘත්තීය සමිතිවලට ආණ්ඩුවේ දැඩි මර්දනයකට මුහුණ දීමට සිදුවිය. ඔවුන් සිදු කළේ වැඩවර්ජනයක් නොව විශාල උද්ඝෝෂණයකි. ඒ සඳහා වෘත්තීය සමිති සාමාජිකයන් දහස් ගණනින් කොළඹට ගෙන්වා සහභාගි කරවා තිබූ බැවින් උද්ඝෝෂණය ප්‍රබල එකක් වී තිබිණි. නමුත් එයට සහභාගි වූ මුදල් ගෙවීම් කවුළු භාරව සිටි සේවකයන් එම කවුළු වසා විරෝධතාවට සහභාගි වී සිටීම හේතුවෙන් ඔවුන්ට චෝදනා එල්ල කර වැඩ තහනමකට ලක් කරනු ලැබීය. ඒ පිළිබඳව විදුලිබල අමාත්‍යවරයා දැඩි තීන්දුවක සිටි අතර රුකියාවලින් දොට්ට දමා ඇති පිරිස යළි ඇතුළට ගන්නා ලෙසට බල කරමින් සටනක් දියත් කෙරෙන ලකුණු පහළ වෙමින් තිබේ. කෙසේ වුවද මේ ගනුදෙනු ගොඩින් බේරාගැනීම රටේ යහපත පිණිස හේතුවනු ඇත. සෞඛ්‍ය මෙන්ම විදුලිය ද රටේ අත්‍යාවශ්‍ය සේවා අතරත් මුල් තැනක් ගන්නා බැවිනි.

මේ විරෝධතාවලට වඩා අමුතු විරෝධයක්ද පසුගියදා දියත් කරනු ලැබීය. එයට හවුල් වී සිටියේ ලොතරුයි අලෙවි නියෝජිතවරුන්ගේ සහ අලෙවි සහායකයන්ගේ වැඩවර්ජනයයි. ශත 50ක කොමිස් මුදලක් කපා හැරීම එයට නිමිත්ත වී තිබිණි. ලොතරුයි අලෙවිය රටේ අත්‍යාවශ්‍ය සේවා අතරට නොගැණෙයි. එහෙත් රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙක් බවට ලොතරුයි අලෙවිය පත්ව තිබේ. එසේම දෛනිකව ලොතරුයි මිලට ගන්නා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමක්ද ලොතරුයි අලෙවියෙන් සිදුවෙයි. මේ හේතුවෙන් ලොතරුයි අලෙවිකරුවන්ගේ විරෝධයෙන්ද සිදුවන සමාජ බලපෑම අධිකය.

වැඩිවන ජීවන වියදම සමඟ නලියන සමාජයක් බිහි වී තිබෙන අවස්ථාවේ මෙසේ දිනෙන් දින විරෝධතා නිර්මාණය වීමට ඉඩ තැබීම රජයේ පාර්ශ්වයෙන් යහපත් ප්‍රවේශයක් නොවේ. විශේෂයෙන් මැතිවරණ වර්ෂයක් ප්‍රකාශයට පත්ව තිබෙන අවස්ථාවක විරෝධතා රුල්ලක් ඇතිවීම යනු රොටිය පුච්චා ගැනීමට සූදානමින් සිටින සෑම දේශපාලන පක්ෂයකටම තැටිය රත් කර දීමකි. ඒ ගැන රජයට හොඳ අවබෝධයක් තිබිය යුතුය.

වැට් බදු වැඩි කිරීම බරපතළ ගැටලුවකි. එය වැඩ කරන ජනතාවගේ බොක්කටම වැදී තිබීම හේතුවෙන් යන්තම් විරෝධතා රුල්ලක් ඇතිවීමත් මහා අර්බුදයකට මුලපිරීමක් විය හැකිය. මේ බොහොමයක් ගැටලුවලට ක්ෂණික විසඳුම් නැත. එක් පාර්ශ්වයකට ලබා දෙන විසඳුම තවත් පාර්ශ්වයක විරෝධතාවලට දොර හැරීමක් වනු ඇත. සෞඛ්‍යයේ එය දැනටම පැහැදිලි වී තිබේ. විදුලිය සේවකයන්ගේ අර්බුදයට ද විසඳුම් සෙවීම පහසු නැත. එය ඍජුවම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟ ගැටීමකි. තවත් අතෙකින් විදුලිය සහ තෙල් වැනි අංශ ප්‍රතිව්‍යුහගත කළ යුතු බවටත් ඒවායේ නිලධාරීන් සහ සේවකයන් අසීමිත වැටුප් සහ වරප්‍රසාද භුක්ති විඳින බවටත් ජනතාවගෙන් ද චෝදනා එල්ල වෙමින් තිබේ. මේ නිසා විදුලිය සේවකයන්ගේ විරෝධයට රටේ ජනතාවගෙන් එතරම් සහායක් අපේක්ෂා කළ නොහැකි බව එම වෘත්තීය සමිතිද අවබෝධ කරගත යුතුය.

අපට කිව හැක්කේ ඉදිරියේදී නිර්මාණය විය හැකි විරෝධතා රුල්ල මැඩපැවැත්වීම මර්දනය සහ අණ පනත් යොදා ගැනීමෙන් පමණක් සිදු කළ හැකි යැයි නොසිතිය යුතු බවය. මර්දනයට සහ අණ පනත් ක්‍රියාවේ යෙදවීමටද ජනතාවගේ දැඩි විරෝධයක් පවතින බව අමතක නොකළ යුතුය.