2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ජවිපෙ හදන්න හදන සමාජවාදී ආර්ථිකය දැන් ලෝකෙ නෑ

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී - තිස්ස අත්තනායක

  • ජනපතිවරණයට කලින් මහ ඡන්දයකට යාම ජනපතිතුමාට තිබෙන එකම විසඳුමයි
  • පෝලිම් යුගය ඇතිකරපු අයම ඒක අවසන් කරන්න දැන් කතා කරනවා
  • බලය ගත්තාම කරන දේ අපේ ආර්ථික ප්‍රතිපත්තියේ තිබෙනවා

Q මේ වසර මැතිවරණ වර්ෂයක්. කොහොමද ඒ සඳහා සමගි ජන බලවේගයේ සූදානම?

මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තියෙනවා. ඒත් ජනාධිපතිවරයට පුළුවන් අවශ්‍ය නම් මහ මැතිවරණයකට යන්න. ඒ වෙනුවෙන් ඕනෑම මැතිවරණයකට සමගි ජනබලවේගය සූදානම්. ඒ වෙනුවෙන් අපි වැඩ කටයුතු සිදුකරමින් යනවා. ඒ සඳහා සන්ධානයක් හැටියට වැඩ කටයුතු කරන්න අපි මේ වෙද්දි මුලික වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. කොහොම වුණත් ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.

Q ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්නේ. ආණ්ඩුවෙන් මොන වගේ ඉඟියක්ද එන්නේ ඊළඟට එන මැතිවරණය සම්බන්ධයෙන්?

ආරංචි අනුව නම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට තමයි කැමැත්ත දක්වන්නේ. මොකද ඔහුට තියෙන එකම විසඳුම තමයි ජනාධිපතිවරණයකට කලින් පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා තමන්ට තියෙන කැමැත්ත උරගා බලන එක. කොහොම වුණත් අපිට පේනවා පොදුජන පෙරමුණ ඒ සඳහා කැමැත්තක් නෑ කියලා. ඒත් ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. කොහොම වුණත් ඒ සඳහා යන්නට හොඳ තත්ත්වයක් තියෙනවද නැද්ද යන්න බලන්න ඔහු මහ මැතිවරණය යොදාගන්න පුළුවන්.

Q ඒක සමගි ජනබලවේගයට බලපෑමක් අභියෝගයක් වෙයිද?

අපිට නම් මේ මහ මැතිවරණය ඉතාම හොඳයි. විශේෂයෙන්ම පාලනයේ වෙනසක් ඇතිවෙන්න ඕනෑ කියලා ජනතාව කතාබහ කරන වෙලාවක්. රටේ බහුතරයක් කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යන්න ඕනෑ කියලා. ජනතාවට බදු බර පටවලා හිර කරලා, ජනතාවට සහනයක් දෙන්න කැමැත්තක් නෑ. ඉතින් මිනිස්සු හෙම්බත්වෙලා ඉන්නේ. ජනාධිපතිවරයා කරපු ආශ්චර්යක් නෑනේ.

Q ආණ්ඩුවෙන් කියන්නේ පෝලිම් යුගය අවසන් කළේ එයාලා කියලා?

පෝලිම් ඇතිවුණේ සහ නැතිවුණේ කොහොමද කියන එක ගැන හොඳට හොයලා බලන්නේ නෑ මේ ආණ්ඩුව. හැබැයි ඒ අය තමයි පෝලිම් යුගය ඇති කළේ. ඒ අයම තමා පෝලිම් යුගය අවසන් කරන්න කතා කරන්නේ. සුවදායක තත්ත්වයක් රටට නෑ.

Q අපි දන්නවා ඊළඟට බලයට එන කණ්ඩායම් එක්ක විවිධ පුද්ගලයෝ එකතු වෙනවා. ඒත් ඔබලත් එක්ක මිනිස්සු එකතු වෙන්න වෙන්න බෙදීම වැඩි වෙනවනේ?

මෙහෙමයි. පක්ෂවල විවිධ තරාතිරම්වල පුද්ගලයෝ ඉන්න පුළුවන්. අපිත් පක්ෂයක්නේ. අපේ පක්ෂයෙත් සුළු සුළු මත ගැටුම් තියෙන්න පුළුවන්. ඒවා අපි නෑ කියන්නේ නෑ. කොහොම වුණත් ඒවා විසඳමින් ඉදිරි සතිය වෙද්දි සමගි බල සන්ධානය ගොඩනගන එක තමයි අපේ අරමුණ.

Q පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහත්තයා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මාධ්‍ය හමු තියලා බණිනවා. ඒවා සුළු ප්‍රශ්න කියලා තකන්න පුළුවන්ද?

ඒක කොහොමත් හොඳ දෙයක් කියලා කාටවත් කියන්න බෑනේ. පක්ෂයේ අභ්‍යන්තර විනය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. අපි හැමෝටම විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒත් අපි හැමෝම ක්‍රියා කළ යුත්තේ පක්ෂයේ නියෝගවලට අනුව. යම් දෙයක් තියෙනවා නම් පක්ෂ අභ්‍යන්තරයේ කතා කරන්න ඕනෑ. ඒත් මාධ්‍යයට ඇවිල්ලා කතා කරන එක ඒ තරම් සුවදායී දෙයක් නෙවෙයි.

Q අපි දැක්කා ජාතික ජන බලවේගයේ නායකයා ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරයක ගියා. ගොඩක් අය කියන්නේ මේක ජයග්‍රාහී ගමනක් කියලා. ඔබ මොකද හිතන්නේ?

මම දකින්නේ වෙන විදිහකට. මේ වෙද්දි ඉන්දියානු සමාගම් කිහිපයක් රටේ ආයෝජනය කරන්න බලාගෙන ඉන්නේ. ඒ සඳහා ලොකුම විරෝධයක් පාන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ඔය මාලිමාව. ඉතින් මේ අය කරන කඩාකප්පල්කාරී වැඩ නිසා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරන්නයි ඒ අය ගෙන්නුවේ කියලා මම හිතන්නේ. ඒ නිසා ඉන්දියාවේ ගැටේට ඒ අය අහුවුණා. අනෙක් කාරණය ඒ අය මේ ගමන ගිය එක හොඳයි. ඒ අය හදන්න යන සමාජවාදී ආර්ථිකය ලෝකෙ දැන් නෑ. දැන් තියෙන්නේ විවෘත ධනවාදී අර්ථිකයක්. ඉතින් මේ අය ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉන්නේ නැතුව මෙහෙම ගිය එකත් හොඳයි. ඉන් එහාට ඔය ගමනේ වැඩක් නෑ. මේ රටේ ආණ්ඩු හදන්න කාටවත් බෑ. ඒක කරන්න පුළුවන් ශ්‍රී ලංකා ජනතාවට විතරයි. ඒ අය මේ රටේ ආර්ථිකය විනාශ කළේ 71, 88/89 කාලේ ඉඳලා. මහින්ද රාජපක්ෂ බලයට ගෙනාවේ එයාලා. ඒ නිසා එයාලා තමයි මේ රට මේ තැනට ගෙනාවෙ.

Q දැන් අපි දන්නවා ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයක් හදන්න යනවා. ඒක අභියෝගයක් නෙවේද?

කවුද ඒකේ අලුත් අය ඉන්නේ? කවුරුත් නෑ. ඒ අය ආණ්ඩු  කරපු අය. මොකක්ද එයාලා කළේ. මේ රට විනාශ කරන්න මූලිකත්වයට එයාලත් වග කියන්න ඕනෑ. මේ අය අලුත් බලවේගයක් නෙවෙයි. අලුත් බලවේගය සමගි ජනබලවේගය. ඔවුන්ගේ බලවේගය ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි.

Q ඔබලට පුළුවන් වෙයිද බලය ගත්ත ගමන් ජනතාවට හදිසි සහන දෙන්න?

ඇත්තටම බලය ගත්ත ගමන් මොකක්ද කරන්නේ කියන එක අපේ ආර්ථික ප්‍රතිපත්තියෙන් කියලා තියෙනවා. මේ රටේ ණය, ආයෝජන, දූෂණ, හොරකම් සම්බන්ධයෙන් අපේ මේ ආර්ථික ප්‍රතිපත්තියේ සියල්ල ඇතුළත්. අපි ආදායම් වැඩි කරගන්න කටයුතු කරනවා. ඒ වගේම ආදායම සහ වියදම අතර පරතරය අඩු කරන්නයි අපේ අරමුණ. ඒක කරන්න නාස්තිය නවත්තන්න ඕනෑ. ඊටපස්සේ කෙටිකාලීන දිගුකාලීන සහනවලට අපි යනවා.

I ගයාන් ගාල්ලගේ