2024 ජනවාරි 06 වන සෙනසුරාදා

මෙහෙම මෝඩයෝත් වෙසෙති!

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 101

මේ රටේ සිදුවන මිනීමැරුම් සහ අපරාධ අතරට පසුගිය සතියේ අමුතුම ආකාරයක මරණ වැලක් සහ අපරාධයක් වාර්තා විය. එය සිය දිවි හානිකර ගැනීමේ සිද්ධියක් වශයෙන් වාර්තා වුවත් එහි ඇතුළේ කතාව ඊට වඩා වෙනස්ය. සාහසිකය. ඒ වගේම එය මරි මෝඩ පිරිසක් සම්බන්ධ ශෝකාන්තයකි.

සිද්ධියේ කතානායකයා ආගමික කරුණු සෙසු පිරිසට දේශනා කළ අයෙකි. ඔහුගේ දේශනා බුද්ධ ධර්මය ඇසුරෙන් සකස් කරගෙන තිබූ බවත් තමන් සෝවාන් ඵලයට පත්වූවකු වශයෙන් ඔහුම හඳුන්වාගෙන තිබූ බවත් දැන් වාර්තා වෙමින් තිබේ. නමුත් ලොකුම ගැටලුව මෙවැනි කිසිදු ආගමකට, ඇදහීමකට හෝ විශ්වාසයකට හෝ අයත් නොවන සියදිවි නසා ගැනීමෙන් දිව්‍ය ලෝකයට යාමට පාර කැපෙනු ඇති බවට කළ ප්‍රකාශය පරම සත්‍යය සේ අදහාගෙන ඒ මගම යාමට තරම් වූ අඥාන පිරිසක් මේ රටේ සිටින බව හෙළිවීමය. ඔවුන් මරි මෝඩයන් සේ හඳුන්වා දෙනු හැර වෙන කුමක් කියන්නද?

මේ සිද්ධියෙන් මියගොස් සිටින පිරිස අතරේ සියදිවි හානිකර ගත් සිවුදෙනකු සිටින අතර මියගොස් සිටින කුඩා දරුවන් තිදෙනා සියදිවි හානි කර ගත්තා නොව ඔවුන් මරා දැමුවා වශයෙන් සැලකිය හැකිය. අවුරුදු නවයේ හයේ සහ තුනේ වයසැති දරුවන්ට සිය දිවි හානිකර ගැනීමක් පිළිබඳ හැඟීමක් හෝ දැනීමක් තිබිය නොහැක. එසේ තිබුණා නම් එය මේ නරුම දේශක පියාගේ හෝ ඒ හැර අන් සරණක් නැතැයි ඒ මගම ගිය මවගේ හෝ බලපෑම් හේතුවෙන් විය යුතුය. කෙසේ හෝ ඒ දරු තිදෙනාද වස ශරීරගත වී මියගොසිනි. ඒ අතර මේ නරුම දේශකයාණන්ගේ අනුගාමිකයන් දෙදෙනකු බව කියන සරසවි සිසුවියක සහ තවත් තරුණයකුද වස බී දිවි නසාගෙන තිබිණි. මෙවැනි අළුගෝසු දේශකයකුගේ වහලකු වී දිවි නසාගන්නට තරම් බාල බොළඳ මොළයක් ඇති තරුණියක් සරසවි වරම් දිනාගැනීමට තරම් බුද්ධිමත් වූයේ කෙසේදැයි වෙනම සොයාබැලිය යුත්තකි. කෙසේ වුවද බුද්ධිය තිබූ පමණින් කිසිවකුත් ප්‍රඥාවන්තයකු නොවන බවට මෙය කදිම උදාහරණයකි.

අපේ රටේ මිනිසුන් ලෙහෙසියෙන්ම ''ඇන්දවෙන'' පිරිසක් බවට පැවසෙන ප්‍රකාශ බොහෝය. මේ ප්‍රකාශ වඩාත්ම සම්බන්ධ වන්නේ දේශපාලනයටයි. ඕනෑ හොරෙකුට දේශපාලකයකු වී සුරලොව අල්ලේ මවන පොරොන්දු ලබාදී ජනතාව අන්දවා ඔවුන්ගේ ඡන්දය ලබාගන්නා බව මේ වර්ගයේ ප්‍රකට කියමනකි. වසර කිහිපයකට පසුව ඒ හොරාම ආපහු පැමිණ වෙනත් ආකාරයේ ආතල් පොරොන්දු ලබා දෙන විට කලින් රුවටුණු ජනතාව යළිත් ඒ ආකාරයටම රුවටී ඇන්දෙන බවද කියති. ඒ තත්ත්වය දැන්නම් වෙනස් වී ඇති බවක් පෙනෙන බැවින් දේශපාලනයේදී මේ ''ඇන්දවීම්''වලට වැඩි ආයුෂක් නැති බවක්ද පෙනී යයි.

එහෙත් විවිධ ආගම්වලට මුවා වී සුදු රෙද්දෙන් බෙල්ල කපන වර්ගයේ දේශකයෝ බොහෝ පහසුවෙන් ජනතාව මුළාකරති. අතීතයේත් එවැන්නෝ සිටියහ. වර්තමානයේත් එසේ සිටින බවට මාලබේ මරණ හත රටටම පෙන්වා දී තිබේ. බුද්ධ ධර්මය සරළ ලෙසට කියවා ගැනීමට, අසා ගැනීමට, අවබෝධ කර ගැනීමට සියලු දෙනාට පිළිගත හැකි මාර්ග අවශ්‍ය තරම් තිබියදීත් කොහේවත් යන තමන් සෝවාන් වූවෙකැයි කියාගන්නා නරුමයකු සරණ යාමට තරම් මානසික තත්ත්වයක් ඇතිකර ගන්නේ කෙසේද කියන එක අදහා ගැනීමත් අපහසුය. තමන්ට නොපෙනෙන බලවේග පසුපස ගොස් අතේ මිටේ ඇති දේ පමණක් නොව ජීවිතය පවා අහිමි කරගත් ඇතැමුන් පිළිබඳ පසුගිය කාලය පුරාම මාධ්‍ය ඔස්සේ වාර්තා විය. එහෙත් ඒ කිසිවකින් පාඩමක් ඉගෙන නොගන්නා ''බුද්ධිමත්'' ගණයට වැටෙන පිරිස් තවමත් සිටීම විශාල සමාජ ඛේදවාචකයකි. මෙවැනි ජනතාව මුළාකර ඔවුන් වැරුද්දට පොළඹවන විවිධ දේශකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුය. අඩුම වශයෙන් අනාගතයේදී හෝ මෙවැනි ක්‍රියා වළක්වා ගැනීමට එයින් රුකුලක් ලැබෙනු ඇත.

අපි අපේ රටේ සාක්ෂරතාව පිළිබඳ උදම් අනන රටක පුරවැසියන් වෙමු. එසේම ලොවේ පවතින නවීන පන්නයේ සියලු තාක්ෂණික මෙවලම් සම්බන්ධව දැනුවත් වී සිටිමු. යන්තම් දැනුමක් තේරුමක් ඇති වයසේ සිටම ස්මාට් ෆෝන් ද නව පන්නයේ කොම්පියුටර්ද භාවිත කරමු. ළඟ ළඟ එන කෘත්‍රීම බුද්ධිය පිළිගැනීමටද සැදී පැහැදී සිටිමු. ඒ අතරේ ආගමට අනුව සියදිවි හානිකර ගන්නැයි කියන කතා පිළිපදින මෝඩයෝද වෙති. මෙවැන්නන්ට ප්‍රතිකාර කිරිමට කෘත්‍රිම බුද්ධියටවත් හැකියාවක් ඇතැයි අපි නොසිතමු.