අපි අලුත් අවුරුද්දක එළිපත්තේ සිටිමු. තව පැය කිහිපයකින් 2024 නව වසරේ උදාව සිදුවෙයි. නව වසරක් උදාවීම නැවුම් බලාපොරොත්තු කුළු ගැන්වීමකි. එහෙත් පසුගිය වසර කිහිපය දෙස ආපසු හැරී බලන විට සිතට දැනෙන්නේ අලුත් බලාපොරොත්තු පිළිබඳ ප්‍රබෝධමත් බවක් නොව කඩවුණු බලාපොරොත්තු හේතුවෙන් ඇතිවන අවිනිශ්චිත බවකි.
2020 උදා වූයේ අලුත් ජනාධිපතිවරයකුගේ සම්ප්‍රාප්තිය ද සමඟිනි. එහෙත් 2019 අප්‍රේල් මාසයේ සිදුවූ පාස්කු ප්‍රහාරයේ රුදුරු වේදනාව ඒ වන විට ද රට තුළ කැකෑරෙමින් තිබිණි. එහි බලපෑම් අලුත් අවුරුදු බලාපොරොත්තු ද යම් දුරකට කඩ කර දමනු ලැබීය. ඉන්පසුව 2021 උදා වූයේ මුළු ලොවම කොවිඩ් වසංගතයේ බලපෑම් සමඟ කළ සටන මැදිනි. එවර අලුත් අවුරුද්දේ මුළු ලෝකයේම බලාපොරොත්තුව වූයේ කොවිඩ් වසංගතයෙන් මිදීමය. එය ලංකාවේ අපට ද සමාන බලාපොරොත්තුවක් විය. ඊළඟ 2022 උදාවන විට මෙරට ජනතාව රසායනික පොහොර තහනම හේතුවෙන් හටගත් අර්බුදයේ බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දෙමින් සිටියහ. එම තත්ත්වය එම වසර මැදදී විශාල අර්බුදයකට රටම තල්ලුවෙන තත්ත්වයක් දක්වා වර්ධනය විය. එදා රටම ගිනිගත් වසරක් බවට පත්වූයේ ඒවායේ ප්‍රතිඵල සමඟිනි. රට ආර්ථික වශයෙන් බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම දක්වා එය ඇදී ගියේය.
අප අදින් අවසන් කරන 2023 ආරම්භ වූයේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය අතරවාරයේදීය. ඔහු තම දේශපාලන කෘතහස්තභාවය ප්‍රායෝගිකව යොදාගනිමින් රටේ ඇතිව තිබූ ආර්ථික හා සමාජ අර්බුදකාරී තත්ත්වය හොඳින් පාලනය කර ගැනීමට සමත් විය. සියලු බලාපොරොත්තු සිඳී යමින් අප්‍රමාණ පීඩනයකට ලක්ව සිටි ජනතාව තුළ යම් බලාපොරොත්තුවක් ඇතිකිරීමට වත්මන් ජනපතිගේ පාලනයට හැකිවීම නිසා 2023 පිළිබඳ ජනතාවගේ උනන්දුව දැල්වෙමින් තිබිණි.
එසේ වුවද රට ආර්ථික වශයෙන් බංකොළොත්භාවයට පත්කිරීමට හේතු වූ දේශපාලකයන්ට හෝ නිලධාරීන්ට හෝ එරෙහිව කිසිදු පියවරක් නොගැනීම ජනතාවගේ දැඩි උදහසට ලක්වූ අතර එම තත්ත්වය තවමත් එසේම පවතී. මේ හේතුවෙන් දේශපාලනික වශයෙන් කිසියම් අසහනකාරී තත්ත්වයක් ද වර්ධනය විය. 2024 උදාවෙන්නේ මේ පසුබිම තුළිනි. ගෙවී ගිය වසර කිහිපය තුළ රටේ තිබූ එම තත්ත්වය පිළිබඳ නිශ්චිත අදහසකින් තොරව අලුත් වසරේ නැවුම් බලාපොරොත්තු පිළිබඳ කතා කිරීම නිශ්ඵල බැවින් අපි ඉහත කාරණා කිහිපය සැකෙවින් ගෙනහැර දැක්වූයෙමු.
2024 උදාවෙන්නේ රටේ ආර්ථික වශයෙන් තිබූ බංකොළොත්භාවය තුරන්ව ඇති බවට රජය සිදුකරන ප්‍රකාශ ද සමඟිනි. එහෙත් ජනතාව ආර්ථික වශයෙන් දැඩි ලෙස පීඩාවකට පත්ව සිටිති. නව වසර උදාවන්නේ අලුතින් ක්‍රියාත්මක වන වැට් බද්ද සමඟ වීම හේතුවෙන් ජනතාවට සිදුව ඇත්තේ තම දෑත් අතැඟිලි පටලවාගෙන වැඩිවෙන ජීවන වියදමට මුහුණදෙන ආකාරය පිළිබඳව තැතිගැන්මකින් බලා සිටීමටය. පසුගිය මාස කිහිපය තුළ ක්‍රමානුකූලව වැඩි වූ විදුලි බිල, වතුර බිල සහ තෙල් මිල ද ඖෂධ සහ ආහාර මිල ද හේතුවෙන් රටේ සියලු භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගියේය. තරමක් දුරකට ජනතාවට සහනයක්ව තිබූ සහල්, එළවළු සහ මස්, මාළු මිල ද වරින් වර ඉහළ යාම ජනතාව තවදුරටත් පෙළීමක් විය. ඒ අතරවාරයේ ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයන්ටත් ඉහළ නිලධාරීන්ටත් එරෙහිව නැගෙන හොරකම් කිරීමේ චෝදනා ද නිමක් නැත. ඒවා වැළැක්වීමට කිසිදු සාධනීය පියවරක් නොගැනීම ද ජනතාවගේ කනස්සල්ලට හේතු වී තිබෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය.
මේ තත්ත්වය යටතේ උදාවන අලුත් අවුරුද්ද පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇතිකර ගන්නේ කෙසේද යන්න ජනතාව මුහුණදෙන ලොකුම ගැටලුව වනු ඇත. එසේම බදු නිසා කුදු නොවන සමාජයක් ඇතිවීමද අවශ්‍යය. රටේ ආර්ථිකය යම්තාක් දුරකට කළමනාකරණය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ පියවරත් සංචාරකයන් විශාල වශයෙන් රටට පැමිණෙන බවට වාර්තා වීමත් රටේ ඇතැම් ක්ෂේත්‍රවල අපනයන කටයුතු වර්ධනය වෙමින් පැවතීමත් නව වසරේ රටට තිබෙන ධනාත්මක සාධකය. එසේම 2024 මැතිවරණ වසරක් වශයෙන් ද ප්‍රකාශයට පත්ව තිබේ. ධනාත්මක සාධකත් අවිනිශ්චිතභාවයේ සෙවණැලිත් මැදින් උදාවන 2024 වර්ෂයේ ජනතාවට යහපතක්ම වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. පාඨක ඔබ සැමට ප්‍රාර්ථනා මල්පල ගැන්වෙන සුබ නව වසරක් වේවා!