2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

තීන්දුවේ පසු කම්පන

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 156

පසුගිය සතිය ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය මැද ආණ්ඩුව ඇතුළේ හටගත් දෙදරීමත් ඒ සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධ අලකලංචිත් මැද්දෙනි. මේ දෙකේම උණුසුම එසේම තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගිය බදාදා (14) ලබා දෙන ලද නඩු තීන්දුව රටේම අවධානයට ලක් විය. ඒ නඩු තීන්දුවේ ප්‍රධාන කරුණු මෙසේ විය.

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වගකිව යුතුය.
එමගින් ඔවුන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම්වල පෙත්සම්කරුවන් වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩල හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න යන මහත්වරුන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් ගෙවිය යුතුය.
ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩු තීන්දුව ලබා දී තිබුණේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් පිළිබඳ සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහත්වරුන් විසින් ගොනුකර තිබූ අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සම්බන්ධයෙනි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ මෘර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශ කළේය. එයින් කියා තිබුණේ අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක කල් ඉකුත්වීමෙන් පසුව ගොනුකර ඇති බැවින් එය නිෂ්ප්‍රභා කරන බවය.

මේ නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය සහ චන්දක ජයසුන්දර මහත්වරුද වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන, නවීන් මාරපන, ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ මනෝහර සිල්වා යන මහත්වරුද පෙනී සිටියහ.

මේ නඩු තීන්දුව මෙරට දේශපාලනය සම්බන්ධයෙන් ලබාදුන් ඓතිහාසික තීන්දුවක් වශයෙන් සැලකෙයි. අසමත් වූ ආණ්ඩුවක් වශයෙන් අර්ථ ගැන්වෙන නඩු තීන්දුවක් මීට පෙර මේ රටේ විධායක ජනාධිපතිවරයකු අගමැතිවරයකු සහ මුදල් ඇමැතිවරයකු වරදකරුවන් කරමින් ලබා දී තිබුණේ නැත. මීට පෙර චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියට එරෙහිව ඇය ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසුව නඩුවක් පවරනු ලැබ වන්දියක් ගෙවීමට සිදුවුවත් එය ඇයගේ පාලනයට සම්බන්ධ කරුණක් නොවීය. ජේ.ආර්., ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග යන හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිවද මෙවැනි නඩු ගොනුකර නොතිබිණි. නමුත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිට එරෙහිව පාස්කු ප්‍රහාරයේ වගකීම සම්බන්ධයෙන් නඩු පවරන ලදුව ඔහුට වන්දි ගෙවීමට නියම විය.

මේ රටේ දේශපාලනය තුළ මෙවැනි නඩු තීන්දුවකින් සිදුවිය හැකි පෙරළිය කුමක්දැයි එකවර නිගමනය කිරීම අපහසුය. නමුත් රාජපක්ෂවරුන්ගේ දේශපාලන භූමිකාවට මෙය පහරක් වීම වැළැක්විය නොහැකිය. එම පවුලේ සක්‍රීයම දේශපාලන චරිත වන මහින්ද, ගෝඨා සහ බැසිල් මේ නඩු තීන්දුවත් සමඟ ඔවුන්ගේ උපාය මාර්ග යළි සමාලෝචනය කිරීමේ තත්ත්වයකට තල්ලු වන බව නම් පැහැදිලිය. එහි බලපෑම ඔවුන් නායකත්වය දෙන පොහොට්ටුවේ දේශපාලනයටද සිදු කරන වෙනස ඉදිරියේදී බලාගත හැකිවනු ඇත. ඊළඟට පැවැත්වෙන පළමු ජාතික මැතිවරණයේදී මේ නඩු තීන්දුව විපක්ෂයට ප්‍රබල සටන් පාඨයක් නිර්මාණය කර දී තිබේ. එහි වාසිය ලැබෙන්නේ සමගි ජන බලවේගයටද නැත්නම් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයටද යන්න තීරණය කිරීමට තවම වේලාසන වැඩිය.

මේ තීන්දුව පිළිබඳව තම අදහස දක්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා තිබුණේ රට බංකොලොත් කිරීමේ වගකීම බාරගත යුත්තේ රාජපක්ෂවරුන් නොව එදා යහපාලන ආණ්ඩුවේ දායකයන්ව සිටි වත්මන් සජබ ලොක්කන් බවය. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට තමන් උපරිම ලෙස ගෞරව කරන බවද සඳහන් කරමින් මහින්ද මෙසේද කියා තිබිණි.

''2015 දී අපගේ රජය පරාජයට පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය 7% යි. යහපාලනයෙන් පසුව 2020 දී නැවත රට බාරගන්නා විට ඒක 2% යි. එතකොට රටේ ආර්ථික වර්ධන වේගය ඒ ගාණට බැස්සුවේ රාජපක්ෂවරුන්ද කියලා සජබ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරන්න කැමැතියි. 2019 දී පත්වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බදු අඩුකරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දී තිබෙනවා. එයට ලැබුණු ජනවරම අනුව බදු අඩුකිරීම වරදක් වන්නේ කොහොමද කියාත් ප්‍රශ්න කළ යුතුයි.''

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ රට බංකොළොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හඳුන්වා දී ඇති බැවින් ඒ අයගෙන් වන්දි ඉල්ලන්නැයි ආර්ථික බංකොළොත්භාවයෙන් ජීවනෝපාය නැතිවූ පිරිස්වලින් තමන් ඉල්ලීමක් කරන බවය.

''මේ තීන්දුව ඓතිහාසිකයි. පාලකයන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මීක් මුවර් මහතා අපේ රටේ මේ ඛේදවාචකය මිනිසා විසින් නිර්මාණය කළ එකක් බව ප්‍රකාශ කළා. එදා අගමැති හැටියට හිටපු වර්තමාන ජනාධිපතිතුමාත් මේක නිර්මාණය කරපු ඛේදවාචකයක් කිව්වා. එහෙම කියලා එතුමා ජනාධිපති වෙලා කළේ ඒ ගැන සෙවීමට තේරීම් කාරක සභාවක් පත් කරන එක. ඒකට පත් කළේ ඒ අර්බුදයට හේතු වුණු පිරිසයි.''

මේ තීන්දුව ලැබීමට පෙර මෙරට දේශපාලනයේ ආර්ථික ප්‍රතිපත්තිවල ''උණ කටුවක්'' වශයෙන් ක්‍රියාත්මක වන ''වෙරිටේ රිසර්ච්'' ආයතනය මගින් සිදු කළ මත සමීක්ෂණයක ප්‍රතිඵලයක්ද නිකුත් වී තිබිණි. එහි සඳහන් වූ ආකාරයට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අනුමත කරන ප්‍රතිශතය ජූනි මාසයේ තිබූ 21% ක මට්ටමේ සිට ඔක්තෝබර් මාසය අග වන විට 9% ක මට්ටමට පහළ බැස තිබුණි. ජනතාව තම රටේ තත්ත්වය සම්බන්ධයෙන් දරණ තෘප්තිමත් බවද 12% සිට 6% දක්වා වැටී තිබුණි.

මේ ආකාරයේ පෞද්ගලික ආයතන මට්ටමින් සිදු කරන මත සමීක්ෂණවල ප්‍රතිඵල රටේ සමස්ත ජනතාව දක්වන ප්‍රතිචාරයක් වශයෙන් සැලකීමත් යුක්ති සහගත නැත. මේ සමීක්ෂණය සම්බන්ධයෙන් යූ.එන්.පි.ය කියා තිබුණේ වෙරිටේ රිසර්ච් ආයතනයේ ප්‍රධානියා වන ආචාර්ය නිෂාන් ද මෙල් ඔහු බලාපොරොත්තු වූ තනතුරු දෙකක් නොලැබීම හේතුවෙන් මෙවැනි සාවද්‍ය තොරතුරු බෙදාහරින බවය. එයද නිවැරදි තක්සේරුවක් වශයෙන් සැලකීම අමාරුය. එය දේශපාලන වශයෙන් ලබාදුන් පිළිතුරක් බව පැහැදිලිය. නමුත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව මත සමීක්ෂණයේ ප්‍රතිඵලය එකවර බැහැර කිරීමද අපහසුය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුවෙන්ද ඒ මතය තවදුරටත් තහවුරු වීම හැර එයට බුරුලක් ලැබෙන්නේ නැත. වත්මන් ආණ්ඩුවේ නායකයා යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ මහතා වුවත් ආණ්ඩුවේ පාර්ලිමේන්තු බහුතරය රැඳී තිබෙන්නේ රාජපක්ෂවරුන් නායකත්වය දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වීම හේතුවෙනි. පාර්ලිමේන්තුවේ බහුතරය රැකගැනීමේදී මේ නඩු තීන්දුවෙන් නම්කර ඇති රාජපක්ෂවරුන් සියලු දෙනාම ගන්නා දේශපාලන තීන්දුව ඉහළම බලපෑම සිදු කරන බව පැහැදිලිය.

ක්‍රිකට් හේතුවෙන් ගිනියම් වූ දේශපාලන කරළිය අයවැය මැදින් යන අතරේ ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ඉදිරි දිනවලදී රටේ බොහොමයක් දෙනාගේ කතාබහට ලක්වනු ඇත. මේ වන විටද අධිකරණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර මේ පිළිබඳ විවිධ මට්ටමින් සංවාද ඇතිවෙන බවද දැනගන්නට තිබේ. නඩු තීන්දුව මෙරට බලවත්ම දේශපාලන පවුලක සාමාජිකයන් තිදෙනකුටම අදාළ වීම මේ සංවාද විසංවාදවලට හේතු වන බව පැහැදිලිය. ඒ අතර වඩාත්ම වැදගත් වන්නේ ලබන වසර මැතිවරණ පැවැත්වෙන වසරක් බවට දැනටම ප්‍රකාශයට පත්වී තිබීම හේතුවෙනි.

ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් ඉන්පසුව සෙසු මැතිවරණත් ඉදිරියේදී පැවැත්වෙන බව ජනාධිපතිවරයාම ප්‍රකාශ කර තිබේ. එසේ වුවද ඇතැම් දේශපාලන පක්ෂ මේ කතාව එතරම් විශ්වාසයට ගෙන නැත. අපගේ ''දේශය'' ට සාකච්ඡාවක් ලබා දෙන ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරන්නේ ඡන්දයක් නොලැබෙන බවය. ඡන්දයක් ලබාගැනීමට නම් ජනතාවට අරගලයක් කිරීමට සිදුවනු ඇති බවද ඔහු කියයි. එසේ වුවද තම පක්ෂයේ බල මණ්ඩල රුස්වීම් තබමින් ඔවුහු රට වටා යති. අවසානයේ ඔවුන් කියන්නේ මෙවර ''රනිල් රාජපක්ෂලා'' ඉදිරිපත් කළේ ඔවුන්ගේ අවසන් අයවැය බවත් ලබන වසරේ තමන්ගේ රජයක් යටතේ අලුත් අයවැය ඉදිරිපත් කරන බවත්ය.

සජබ තවමත් ඡන්දයට සූදානමක් නොපෙන්වුවත් ඕනෑම අවස්ථාවක පවත්වන ඡන්දයකට තමන් සූදානම් බව ප්‍රකාශ කරමින් සිටී. අයවැය සංඛ්‍යාලේඛනවලට අභියෝග කරමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ගේ රජයක් යටතේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියා කරන බවය.

මේ කතා එසේ වෙද්දී ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් රටේ බොහෝ දෙනකු තුළ ලබන වසරේ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවට විශ්වාසයක් නැත. පොහොට්ටුවේ බලාපොරොත්තුව බව පෙනෙන්නේ මහ මැතිවරණයකි. එයට ජනාධිපතිවරයා කොතරම් දුරකට කැමැති වනු ඇතිදැයි කීමත් අපහසුය. නඩු තීන්දුවේ බලපෑමද මේ සියලු කාරණාවලට ඍජු බලපෑමක් එල්ල කරන බව නම් පැහැදිලිය.

I ශශීන්ද්‍ර

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00