2023 ජුනි 04 වන ඉරිදා

පැරණි කතා සහ අලුත් කතා

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 110

කාලෙකට පස්සේ ආපසු ඉන්ධන පිරවුම්හල් අසල වාහන පෝලිම් ඇතිවුණේ ආණ්ඩුවේ නායකයන් තුළ තරමක තිගැස්මක් ඇති කරමිනි. ඇමැති කාංචන සැර ට්විටර් පණිවුඩයකින් පිළිතුරු දෙන තරමට එහි කම්පනය ආණ්ඩුවට දැනී තිබුණි. එක දවසක් නොව එක දිගට දින කිහිපයක්ම එහෙම තෙල් පෝලිම් හැදුණේ තෙල් නැව් නොපැමිණීම නිසා හෝ තෙල් මිලට ගැනීමට ඩොලර් නැතිවීම නිසා හෝ නොවේ. ඉන්ධන මිල පහත යනු ඇති බවට තිබූ පුරෝකථන හේතුවෙන් පිරවුම්හල් අයිතිකරුවන් තෙල් තොග ඇණවුම් නොකිරීම නිසා ඒවාට වෙලාවට තෙල් ලැබී නොතිබිණි. තෙල් මිල ඉහළ යාම සහ පහළ යාම දෙකම සිදුවූ නිසා පිරවුම්හල් මුහුණ දුන්නේද ගැටලුවකටය. හැබැයි වාහන හිමියන්ට නම් පිරවුම්හල් අසල පෝලිම් දැකීමත් හිසරදයක් විය.

කොහොම වුණත් මේ ආණ්ඩුව රටේ පෝලිම් යුගය ඉවර කළ බව රජයේ නායකයන් කියද්දී යළිත් තෙල් පෝලිම් ඇතිවුණේ කොහොමද කියන එක ගැන ආණ්ඩුව සොයා නොබැලුවොත් පුදුමය. නමුත් සමහරුන්ගේ මතයට අනුව මෙය ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීම සමඟ සසඳන විට මේ මිල පහළ යාම ඉතා සුළු බවත් ඒ සමඟ 95 පෙට්‍රල් මිල ඉහළ නැංවීම කෙසේවත් නොසිදුවිය යුතුව තිබුණු නිසාත් ඒ බව රටට අමතක කරවීමට ආණ්ඩුවම ගහපු ගේම් එකකි. ඒක එහෙමදැයි කියන්න නම් අමාරුය. එහෙත් ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරන අවස්ථාවේ ඇතැම් පිරිසක් තෙල් පෝලිම්වල රුඳී සිටීම නම් ආණ්ඩුව බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවේ.

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය කේන්ද්‍ර කරගෙන තිබුණේ රටේ ආර්ථිකයේ යළි ඇතිවෙමින් තිබෙන පරිවර්තනයයි. ඒ හරහා රට ඉදිරියට ගෙන යාමේ මාර්ගය විස්තර කිරීමටයි. ''ජාතික පරිවර්තන මාර්ග සිතියම'' වශයෙන් එම ප්‍රකාශය නම් කර තිබුණි.

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යාමේදී මුහුණ දීමට සිදුවන ප්‍රතිවිරෝධතා ගැන ජනාධිපතිවරයා කිසියම් අදහසක් ඇතුව කතා කළ බවද පෙනී ගියේය. රටේ ආර්ථිකය ගැන ඉදිරි පියවර ගැනීමට යාමේදී ඒ ගැන ජනතාව තුළ බොරු බියක් මවාපෑමට සමහර සම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම් ක්‍රියා කරන බවට ජනාධිපති රනිල් චෝදනා කළේය. ඔවුන් හැමදාමත් ඉදිරියට දමන සටන් පාඨය ''රට විකිණීමට යනවා'' යන්න බවද ඔහු කීය. එහෙම කියමින් පනස් ගණන්වල සිට මේ දක්වාම එම දේශපාලන කණ්ඩායම් ජනතාව රවටමින් ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවටද ජනාධිපතිවරයා චෝදනා කළේය.

ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ජනතාවගේ ජීවන බර අඩුවන බවද ජීවන මට්ටම ඉහළ යන බවද කියූ ජනාධිපතිවරයා ඉතා කුඩා මට්ටමේ සිට මහා පරිමාණ මට්ටම දක්වා ශක්තිමත් ව්‍යාපාර ඇති කරලීමට නව අවස්ථා නිර්මාණය වීම වරදක් දැයි ප්‍රශ්න කළේය. එය රට විකිණීමක්ද යැයි ඇසුවේය. මෙසේ වරදක්ද රට විකිණීමක්ද යන්න බොහොමයක් කාරණා සම්බන්ධ කර ගනිමින් ජනතාවගෙන් ප්‍රශ්න කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ යනු මෙතෙක් කාලයක් සටන් පාඨයක් බවට පත් කරගෙන තිබූ ''රට විකිණීම'' යන්න තවදුරටත් දේශපාලනයේ වලංගු සාධකයක් නොවන බවට ජනතාව තුළ දැඩි හැඟීමක් ඇතිවන ආකාරයටය.

රට ඉදිරියට ගෙන යාමට නම් දූරදර්ශීව සිතා අලුත් මාවත් ඔස්සේ ආර්ථිකය හැසිරවිය යුතු බවට කතා දෙකක් නැත. එහිදී ආර්ථික ප්‍රතිසංස්කරණ යන මාතෘකාව යටතේ මෙතෙක් කල් දේශපාලන සටන් පාඨ බවට පත්වූ අමිහිරි තීන්දු ගැනීමට රජයට බල කෙරෙනු ඇත. එහෙම වෙන අවස්ථාවලදී ජනාධිපතිවරයාට මුලින්ම සිදුවනු ඇත්තේ රජයේ චින්තනය වෙනස් කර ගැනීමය. එය රටේ ජනතාවගේ චින්තනය වෙනස් කර ගන්නවාටත් වඩා අමාරු කාර්යයක් වීමටද ඉඩ තිබේ.

ආර්ථික කඩාවැටීමේ ආදීනව ඍජුවම තම හිස මතට පහත්වීම හේතුවෙන් දැඩි ජීවන බරකින් මිරිකෙන ජනතාවත් ''සිස්ටම් චේන්ජ්'' ඉල්ලා නිරතුරුවම සටන් වදින තරුණ ප්‍රජාවගෙන් පිරිසකුත් තමන්ගේ අනාගත ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් ආණ්ඩුව ගන්නා තීරණවලට එරෙහි නොවීමට හොඳටම ඉඩ තිබේ. රටේ පොදු ජනතාවගේ බදු මුදල් සූරා කන බරපතළ ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට මේ ජනතාව එරෙහි නොවනු ඇති බව ඔවුන්ගේ කතාබහවලින් තේරුම් ගැනීම අපහසු නැත.
මේ නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපතිවරයාට වඩාත් අපහසු වනු ඇත්තේ ජනතාව හසුරුවා ගැනීම හෝ ඔවුන් තුළ පවතින සම්ප්‍රදායික අදහස් වෙනස් කර ගැනීම හෝ නොවේ. ඔහුට ගනුදෙනු බේරාගැනීමට සිදුවනු ඇත්තේ තමන්ට බලය ලබා දී තිබෙන පොහොට්ටුවේ ප්‍රතිපත්ති තීරකයන් සමඟය. ''රට විකිණීමට හදනවා'' යන්න ජනතාවට සටන් පාඨයක් හැටියට සිත් කාවදින ආකාරයට ඉදිරිපත් කළේ පොහොට්ටුවේ නායකයන්ය. රටට ගෙන එන ආයෝජන රටේ සම්පත් සූරා කෑමට බටහිර රටවලට ලබා දෙන දොළපිදේනියක් හැටියට හඳුන්වා දුන්නේත් ඔවුන්මය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවේ ආයෝජකයකු ගෙන්වා දීම වැළැක්වූයේත් ඒ ප්‍රතිපත්තියේම රුඳී සිටිමිනි. වෙනෙකක් තබා මේ රටට බත සැපයූ ගොවීන්ට රසායනික පොහොර සැපයීම එක රුයින් තහනම් කිරීමත් එසේ තහනමින් නොනැවතී එම පොහොර රටට ගෙන්වන සමාගම් රටට එරෙහිව කුමන්ත්‍රණය කරන රෑකඩ වශයෙන් හඳුන්වා දීමටත් කටයුතු කළේ පොහොට්ටුවේ මැති ඇමැතින්ලාය.

ඉතින් මෙහෙම ආණ්ඩුවක නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ කියන ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරන්න පුළුවන්ද? මේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම වරදක්ද? එය රට විකිණීමක්ද? යනුවෙන් ඇසිය යුත්තේ රටේ ජනතාවගෙන්ද? සජබයෙන්ද? නැත්නම් ජාතික ජන බලවේගයෙන්ද? එහෙමත් නැත්නම් පොහොට්ටුවෙන්ද?

ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට නම් ජනාධිපතිවරයා මුලින්ම දේශපාලන ගනුදෙනුවකට යා යුතු වන්නේ පොහොට්ටුව සමඟය. ජනාධිපතිවරයා හැමදාමත් ලිබරල් ආර්ථිකයක් පිළිබඳ මහත් බලාපොරොත්තු තබා සිටි නායකයෙකි. 2001 ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා සිටි කාලයේත් රටට විදේශ ආයෝජන ගෙන ආ යුතු බවටත් ශ්‍රී ලංකන් එයාර් ලයින් වැනි මහජනතාවගේ බදු මුදල් ගිලින ආර්ථික බහිරවයන් ප්‍රතිව්‍යුහගත කළ යුතු බවටත් ඔහු ඍජුවම ප්‍රකාශ කළේය. ඒ සඳහා අවශ්‍ය නීති සැකසීමටද ඔහු උත්සාහ ගත්තේය. එහෙත් ඒ සියල්ල ඔහුට උඩින් සිටි චන්ද්‍රිකා ජනපතිනිය වැළැක්වූවාය. චන්ද්‍රිකා ද වාමාංශික කඳවුරේ නායිකාවක වී සිටිමින් ඒ වෙලාවේ කළේ මේ රටට හුරුපුරුදු දේශපාලනයයි. ඒ දේශපාලනය ඇතුළේ ආර්ථිකය ගැන ජාතික ප්‍රතිපත්ති නැත. තිබෙන්නේ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති රටේ ජාතික ප්‍රතිපත්තිය බවට පත්කර ගැනීමේ උත්සාහයක් පමණි. මේ නිසා රටට හිතකර ආකාරයට ආර්ථිකය මෙහෙයවීමට ගිය රනිල්ගේ ආණ්ඩුවට සිද්ධ වුණේ බලය අතහැර ගෙදර යාමටය. එහෙම ගියත් ඔහු තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර ගත්තේ නැත.

ඊටපස්සේ 2005 දී බලයට ආපු මහින්ද රාජපක්ෂ වසර 10 ක් පුරා රට පාලනය කරද්දී තදින්ම රුඳී සිටියේ ස්වදේශීය ආර්ථික ප්‍රතිපත්තියකය. ආයෝජන ප්‍රවර්ධනයක් සිදුවුණත් ඒවා බොහෝ දුරට සීමා වූයේ චීනය ඇතුළු ආසියානු රටවල්වලටය. ඒ අතරවාරයේ ජී.එස්.පී. ප්ලස් සහනයද අහිමි කර ගැනීම නිසා රටට ලැබුණු ඩොලර් ආදායම ටිකෙන් ටික ක්ෂය වී ගියේය. ඒ මොනවා වුණත් ආර්ථික ප්‍රතිසංස්කරණ රාජපක්ෂ පාලනය විසින් දිගින් දිගටම හැඳින්වූයේ රටට විකිණීමක් හැටියටය.

ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකිරීම තුළින් ජනාධිපතිවරයා ඉලක්ක කරන්නේ ඉදිරි වසර පහ තුළ ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කිරීමටය. එයින් පසුව 2048 දක්වා ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන මාර්ග සිතියමකට තිරසාර අඩිතාලමක් දැමීමටය. ඒ ඔස්සේ රට ගමන් කරවා ''2048 සංවර්ධිත රටක්'' යන ඉලක්කය ජය ගැනීමටය.

මෙය සාර්ථක කර ගැනීමට නම් සංවර්ධනය යනු ''රට විකිණීමට යන මාර්ගයක්'' කියන සටන් පාඨයෙන් රට මුදාගත යුතුය. එම සටන් පාඨය හැම මැතිවරණයකදීම තියුණු අසිපතක් සේ කරකවමින් තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට ක්‍රියා කරන පොහොට්ටු නායකයන් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පෙර ඒ සඳහා අවනත කරගත යුතුය. කැමැති කරගත යුතුය. ඒ වැඩේට පොහොට්ටුවේ නායකයො එකඟ වේවිද?

දැනට නම් පේන්න තිබෙන්නේ එහෙම එකඟත්වයක් නැති බවය. එහෙම එකඟත්වයක් ඇතිවීමට නම් රටේ පෝලිම් නැතිකර ඩොලර් යම් ප්‍රමාණයක් රටට ආපසු හැරවීමට ක්‍රියා කළ සහ අයි.එම්.එෆ්. ගොස් විදේශ සංචිතයට යම් වටිනාකමක් ලබා දීමට ක්‍රියා කර රටේ ආර්ථිකය ගැන සුබවාදීව හිතන අමාරු ප්‍රතිසංස්කරණවලට ජනතාව කැමැති කරවා ගැනීමට ජාතිය අමතා විශේෂ ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවලට පොහොට්ටුවේ අනුමැතිය හිමිවීම අවශ්‍යය. රට විකිණීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අතර ඇති වෙනස දෙස දේශපාලන කෝණයෙන් බැලීම අත්හරින තුරු පොහොට්ටුවට එහෙම ප්‍රතිපත්තිමය වෙනසකට එකඟ වීම අමාරුය. ජනතාව එකඟ කර ගැනීමට පෙර ජනාධිපතිවරයා පොහොට්ටුව ආර්ථික ප්‍රතිසංස්කරණවලට එකඟ කරගත යුත්තේ එබැවිනි. මෙවර කළ විශේෂ ප්‍රකාශය ජනතාවට වඩා තමන්ට කළ එකක් යැයි පොහොට්ටුවට නොසිතුණොත් පුදුමය. 

I ශශීන්ද්‍ර

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00