2023 ජුනි 04 වන ඉරිදා

උද්ධමනය බසිද්දී එළවළු, මස්, මාළු මිල වැඩිවීම!

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 69

රටේ උද්ධමන වේගය අප්‍රේල් මාසයට වඩා මැයි මාසයේදී අඩු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පාරිභෝගික මිල දර්ශකය උපුටා දක්වමින් ප්‍රකාශ කරයි. සංඛ්‍යාත්මකව එය 35% සිට 25% දක්වා දළ වශයෙන් අඩු වී ඇති බවද පෙන්වා දෙයි. ආණ්ඩුව එසේ ප්‍රකාශ කළත් එළවළු, කුකුළු මස් සහ මාළු මිල මේ වනවිට ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළෙඳපොළට යන ඕනෑම පාරිභෝගිකයකුට තදින්ම දැනෙයි. පසුගිය මාස කිහිපය පුරා නාගරික ප්‍රදේශවල අඩු මිලට එළවළු අලෙවි කළ මාර්ග අයිනේ සිටි එළවළු වෙළෙන්ඳෝ දැන් දකින්නට නොසිටිති. එසේ සිටියත් ඔවුන්ගේ එළවළු ගිනි ගණන්ය. මාළු මිල දැරිය නොහැකි තරමට ඉහළ ගොස් තිබේ. කුකුළු මස් කිලෝව රුපියල් දහසේ සිට එකවරම රුපියල් 1600 පමණ දක්වා වැඩි වී තිබේ.

පාරිභෝගික මිල දර්ශකය සැකසීමේදී එළවළු, මාළු, කුකුළු මස් මිල සැලකිල්ලට නොගන්නේ ඇයිද යන ගැටලුවද ඒ සමඟ පැන නගී. තරමකට හෝ මිල ගණන් අඩුව ඇත්තේ ලොකු ලූනු පමණි. අල මිල පවා ඉහළ ගොසිනි. මස්, මාළු පමණක් නොව කරවලද, පොල් ගෙඩියේ සහ කුළුබඩු මිලද ඉහළ නැග තිබේ. තරමක හෝ සහනයක් ඇත්තේ ඇතැම් සහල් වර්ගවල මිල ගණන් ටිකක් අඩු වී තිබීම පමණි. එයද කොපමණ කාලයකටදැයි සහතිකයක් නැත. ඇතැම් ආහාර වර්ගවල මිල ගණන් අඩු කරන බව සතොස වරින් වර ප්‍රකාශ කරයි. එහෙත් බොහොමයක් සතොස ආයතනවලට යන පාරිභෝගිකයන්ට අසන්න ලැබෙන්නේ ඒ මිලට තවම බඩු ඇවිත් නැති බවය. ඇතැම් සතොස වෙළෙඳසල්වල එසේ අඩු කරන බඩු හිඟයක් තිබේ. සතොස බඩු මිල අඩු කළ පමණින් සෙසු වෙළෙඳ ආයතනවල මිල බසින්නේද නැත.

උද්ධමන වේගය අඩු නම්, ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වෙමින් පවතී නම් සහ ආනයන සීමා ලිහිල් කිරීමද සිදුවෙමින් පවතී නම් රටේ පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් මේ තරමට වැඩි වෙන්නේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරක් තිබිය යුතුය. අත්‍යාවශ්‍යම පෝෂ්‍යදායී ආහාරයක් වන බිත්තර නිදහසේ මිලදී ගැනීමට තිබූ අවස්ථාව පාරිභෝගිකයන්ට අහිමි වී බොහෝ කලකි. පිටරටින් දිනකට බිත්තර මිලියනයක් ආනයනය කිරීම ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ හොද්ද බොර කිරීමක් වුවත් රටේ බිත්තර ගැටලුවට එය සැබෑ විසඳුම නොවේ. බිත්තර සහ කුකුළු මස් අතිරික්තයක් වන තරමට හොඳ නිෂ්පාදනයක් තිබූ අපේ රටේ දැන් එම කර්මාන්තයට කනකොකා හඬා තිබෙන ආකාරයක් දැකිය හැක. එම තත්ත්වයට එකී කර්මාන්තකරුවන්ගේ අධිපතිවාදී ක්‍රියාමාර්ගද හේතු වී තිබෙන නමුත් තම නිෂ්පාදනය පවත්වාගෙන යාමේදී ඔවුන්ට බලපාන බරපතළ ගැටලු තිබූ බවත් ඒවාට විසඳුම් ලබාදීම ප්‍රමාද වූ බවත් පිළිගත යුතුය. කුකුළු මස් මිල හිටිඅඩියේ මේ තරමට ඉහළ යාමට එම තත්ත්වයේ බලපෑමක් ඇතැයි කෙනකුට හැඟී යා හැක. එහෙත් පාරිභෝගිකයාට වැදගත් වන්නේ පහසු මිලකට බිත්තර සහ කුකුළු මස් ලබාගැනීම පමණි. ආර්ථික ගැටලු යම් තරමකින් විසඳා ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කරන විට බිත්තර සහ කුකුළු මස් ව්‍යාපාරයට එය අදාළ නොවන්නේ මන්දැයි යන්න ඕනෑ කෙනකු නගන ප්‍රශ්නයකි. එයට ආණ්ඩුවෙන් පැහැදිලි පිළිතුරක් නැත.

රටට වැදුණු ආර්ථිකය කඩා වැටීමේ ප්‍රබල කුළුගෙඩි ප්‍රහාරයේ බලපෑමෙන් මිදීමට තවම හැකියාවක් නැති බව තේරුම් ගැනීම දුෂ්කර නැත. එහෙත් රට ඇතුළේ කෘෂි නිෂ්පාදන, පශු සම්පත සහ රට වටා ඇති මුහුදේ ඇති තරම් තිබෙන මාළු රටේ ජනතාවගේ ප්‍රයෝජනය පිණිස යොදා ගැනීමට තිබෙන අපහසුව කුමක්දැයි ප්‍රශ්න කළ යුතුය. එළවළු, මාළු සහ කුකුළු මස් මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ අමාත්‍යාංශ භාරව ක්‍රියා කරන අමාත්‍යවරුන්ට හැකියාවක් නැද්ද යන ගැටලුවද මෙහිදී පැන නගී. තම නිලධාරීන් ඒ සඳහා මෙහෙයවීම ඔවුන්ගේ ප්‍රධානම අරමුණ විය යුතුය. දේශපාලන කාරණා පසෙක දමා රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කර දීම එම අමාත්‍යවරුන්ගේත් නිලධාරීන්ගේත් වගකීමය. එළවළු, මස්, මාළු මිල ගණන් ඉහළ යාමෙන් පෙන්වා දෙන්නේ ඔවුන් අතින් එම වගකීම ඉටු නොවන බවය.

එළවළු, මාළු සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ යන විට අමාරුවේ වැටෙන්නේ පාරිභෝගිකයා පමණක් නොවේ. වෙළෙන්ඳෝ එහිදී තම ජීවනෝපාය සරිකර ගැනීමේ ගැටලුවට මුහුණ දෙති. වෙළෙඳාම අඩුවන විට ඔවුන්ගේ ආදායමද නිතැතින්ම පහළ බසී. එය ඔවුන්ගේ පවුල්වල ආර්ථිකයට ඍජුවම බලපාන බව කිවයුතු නැත.

රට දරුණු ආර්ථික පීඩනයකට මුහුණ දී සිටියදී සියලු ගැටලුවලට එකවර විසඳුම් නොලැබෙන බව කුඩා ළමයකුට වුවද තේරුම් ගත හැක. එහෙත් රට තුළ නිෂ්පාදනය වන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් හිටිඅඩියේ ඉහළ යාමට එය හේතුවක් විය නොහැක. මේ සෑම කාරණයක් පිළිබඳව සොයා බැලීම ජනාධිපතිවරයාට කළ නොහැක. අමාත්‍ය මණ්ඩලයක් සිටින්නේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් අවසන් පියවර ගෙන රටේ ජනතාවට සහන සලසා දීමට කටයුතු කිරීම සඳහාය. රට දැන් ආර්ථික අතින් නිසි මගට වැටී ඇතැයි කොතරම් බෙරිහන් දුන්නත් ඒ බව රටේ ජනතාවට දැනෙන්නේ නැත්නම් ඉන් පලක් නැත. ඔවුන්ට එළවළුවක් මාළුවක් සමඟ බත් කටක් කෑම අති දුෂ්කර නම් අමාත්‍යවරුන්ගේ පම්පෝරි දැනෙන්නේ කන්කොස්කිරියාවක් හැටියට පමණි.