2023 මැයි 28 වන ඉරිදා

කෝටි ලක්ෂයක් බිල්ලට දීම

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 88

අපේ රටේ රාජ්‍ය ආයතන බොහෝමයක් ගැන අහන්න දකින්න ලැබෙන්නේ මිහිරි කතා නොවේ. කාලයකට පෙර නම් මිහිරි කතා කොතෙක් අසන්න ලැබුණත් රටේ ජනතාව ඒ ගැන ඒ තරම් අවධානයක් යොමුකළේ නැත. එහෙම අවධානයක් යොමු කිරීමට තරම් හේතුවක් නොතිබිණි.

එහෙත් රටේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කර බෙල්ල ළඟටම හිර වූ විට තමන්ගේ මුදල් කෝටි ගණනින් වළපල්ලට යවන රාජ්‍ය ආයතන රටේ ජනතාවට දැනුණේ පරම සතුරන් හැටියට ය. එම ආයතන තමන් හිඟමනට පත්කළ ආර්ථික ව්‍යාධියේ කොටස්කාරයන් බවට ඔවුහු චෝදනා නගන්නට වූහ. පාඩු ලබන රාජ්‍ය ආයතන කවදා හෝ රටට විශාල බරක් විය හැකි බවට ආර්ථික විශේෂඥයන් කළ අනාවැකි  ඒ වනතෙක් අවඥාවෙන් බැහැර කළ දේශපාලනඥයන්ටද හදිසියේම එම ආයතන ඇත්තටම බරක් හැටියට දැනෙන්නට පටන් ගත්තේ ය. ඒ වනවිට පෙරහර ගොස් අවසන් වී තිබුණත් අඩුම තරමින් එම ආයතන සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගතයුතු බවත් ඒවායින් ලබන පාඩුව අවම කර ගැනීම ඒ පියවර හරහා සිදුවිය යුතු බවත් දේශපාලකයන් විසින් දැන් හෝ අවබෝධ කරගෙන සිටීම වැදගත් යැයි අපි සිතමු. පාඩු ලබන රාජ්‍ය ආයතන රටේ ආර්ථිකයට සිදුකරන විනාශය පිළිබඳ සංඛ්‍යාලේඛන මේ වැදගත්කම ඉස්මතු කර පෙන්වයි.

අපගේ දේශය පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයෙන් කියවෙන්නේ ආණ්ඩුවේ දූෂිත සුදු අලි රුපියල් කෝටි ලක්ෂයක් මේ වනවිට ගිල දමා අවසන් බවය. මේ බව හෙළිකරන ශ්‍රී ලංකා මහබැංකුවේ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ 2023 වසරේ ජනවාරි මාසය වනවිට මහ බැංකුව විසින් රාජ්‍ය සංස්ථා වෙත රුපියල් බිලියන 17,000 මුදලක් සමස්ත ණය වශයෙන් ලබාදී තිබෙන බවය. එය රුපියල් කෝටි එක්ලක්ෂ හැත්තෑ දහසකි. මේ මුදල ලබාදී තිබෙන්නේ ස්වකීය වියදම් පියවර ගත නොහැකි රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා දෙපාර්තමේන්තු නඩත්තු කර පවත්වාගෙන යාම සඳහාය. වියදම් පියවා ගත නොහැකි යන්නෙන් අදහස් වන්නේ ඒවා පාඩු ලබන බව මිස වෙනත් දෙයක් නොවේ.

විදුලිබල මණ්ඩලය පමණක් 2022 වසර තුළ රජයෙන් රුපියල් බිලියන 80ක් හෙවත් රුපියල් කෝටි 8000ක් තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ලබාගෙන තිබේ. විදුලිබල මණ්ඩලය යනු අත්‍යාවශ්‍ය සේවාවක් වීම හේතුවෙන් එය ආයතනයක් වශයෙන් ලබන පාඩුව මෙතෙක් කාලයක් ලොකුවට ගණන් ගත්තේ නැත. නමුත් රටට ඩොලර් හිඟ වී තෙල් ලබාගැනීමට බාධා පැමිණි විට විදුලිබල මණ්ඩලය සතු එකම විසඳුම වූයේ රටට සපයන අත්‍යාවශ්‍යම සේවාව වූ විදුලිබලය සැපයීම කප්පාදු කිරීම පමණි. දශක ගණනාවක් තිස්සේ විකල්ප විදුලි බලය පිළිබඳ ලොරි ගණනින් කතාකර තිබුණත් ඒ කිසිවක් පලදරා නැති බව තේරුම් ගන්නා විට විදුලි කප්පාදුව පැය ගණනක් දක්වා දීර්ඝ වී තිබිණි. විදුලිබල මණ්ඩලයද නැතුවම බැරි සුදුඅලියකු බවට පත්ව තිබෙන බව එහිදී පැහැදිලි විය. එහෙත් පිළිතුරක් නැත.

මෙහෙම රටට අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන පවා සුදු අලින් බවට පත්වීම පිළිබඳවද මහ බැංකුව වාර්තාව සඳහන් කර තිබිණි. ඊට අනුව එම රාජ්‍ය ආයතනවල පවතින වංචා, දූෂණ, අයථා කළමනාකරණය හා නොසැලකිලිමත් බව හේතුවෙන් එම ආයතන මේ තත්ත්වයට පත්ව තිබෙන බව සඳහන්ය. එසේම ආණ්ඩුවල ජනප්‍රිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ව්‍යවසායයන් දැඩි ලෙස අවභාවිත කර තිබීමද ඊට බලපා තිබේ. මේ සියලු කාරණා රටේ ආර්ථික අර්බුදය හට ගැනීමටද හේතු වී ඇති බවත් සඳහන් ය.

රාජ්‍ය ආයතන පාඩු ලැබීම පිළිබඳ සිදුකරන ඕනෑම සොයාබැලීමක් අවසානයේ නතර වන්නේ වංචාව, දූෂණය සහ අයථා කළමනාකරණය පාමුල වීම පුදුමයට කරුණක් නොවේ. එක්තරා කාලයක රාජ්‍ය අයාතනයක් පාඩු ලැබීම යනු ඒවා බාර අමාත්‍යවරුන් පවා අපහසු තත්ත්වයට පත් කිරීමක් වී තිබිණි. එහෙත් පසුකාලයේදී පාඩු ලැබීම සාමාන්‍යකරණය වී අමාත්‍යවරුන්ගේ ලජ්ජා බයද සෝදාහරිනු ලැබීමත් සමඟ පාඩු ලබන රාජ්‍ය ආයතන තවත් එක් මාතෘකාවක් බවට පත්විය. කොතරම් පාඩු ලැබුවත් මේ ඇතැම් ආයතනවල කාර්ය මණ්ඩලවලට කිසිදු ආකාරයක වරප්‍රසාද කපා දැමීමක් සිදු නොවීය. වෙනකක් තබා ඔවුන්ට බෝනස් පවා ගෙවනු ලැබීය. මහබැංකු වාර්තාවෙන් කියැවෙන පරිදි ඒ සියලු විය හියදම් දරා ඇත්තේ මහබැංකුව මගින් ලබාදෙන ලද ණය ආධාරයෙනි. එම ණය ලබාදීමට ප්‍රතිපාදන සැලසෙන්නේ රටේ ජනතාවගේ බදු මුදලින් මිස වෙනත් මූලාශ්‍රයකින් නොවන බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය.

ඡන්ද බලාගෙන සිදුකරන බොරු සෝබන වැඩවලටත් යොදාගනු ලබන්නේ මෙවැනි රාජ්‍ය ආයතනය. ඒවා පාලනයට සුදුසු පුද්ගලයන් නොව සමීප ඥාතීන් සහ ගජමිතුරන් යොදාගන්නේ ඒ වැඩට පහසුවක් වශයෙනි. එහෙම සිදුවෙන විට රුපියල් කෝටි ලක්ෂයක් පිල්ලි යාම ගැන පුදුම විය යුතු නැත.