2023 මැයි 21 වන ඉරිදා

උපයෝගිතා කොමිසමේ සභාපතිට ’’විදුලි සැර’’

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 82


මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගැටුම ආරම්භ වූයේ විදුලි බිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීම කේන්ද්‍ර කර ගනිමිනි. එම ගැටුම මේ වනවිට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයට එරෙහි වීම දක්වා දිග්ගැසෙමින් තිබෙන බව මහජනතාවට රහසක් නොවේ.

විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව දැන් එකම හඬ බවට පත්ව සිටින්නේ උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාය. ගාස්තු වැඩි කිරීමට එරෙහිව උසාවි යාමට පවා ඔහු ක්‍රියා කළේය. ඔහු එතෙර ගොස් සිටියදී විදුලි ගාස්තු නැංවීමේ තීන්දුව කොමිසමෙන් අනුමත කරවාගෙන වහාම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සමත් විය.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ජනක රත්නායක ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කෙරුණු අතර එය න්‍යාය පුස්තකයට ඇතුළු කර තිබේ. ලබන 24 වැනිදා බදාදා එම යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. උපයෝගිතා කොමිසමේ තටු කපා දැමීමේ වෙනත් පියවරද මේ සමඟ ක්‍රියාත්මක වෙමින් පවතී. බලශක්ති ක්ෂේත්‍රය තුළ තීන්දු ගැනීමේදී ස්වාධීන නියාමකයකු වශයෙන් කොමිසම සතු භූමිකාව සහ බලතල කප්පාදු කිරීම එක් පියවරකි. එය යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු අධීක්ෂණ කමිටුව විසිනි. 

පාර්ලිමේන්තුව මගින් කෙටි - මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතා හඳුනා ගැනීම සහ සකස් කිරීම සඳහා පත්කෙරුණු කමිටුවේ පළමු අන්තර්කාලීන වාර්තාව පසුගියදා බාරදෙනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ විශේෂ නිර්දේශයක් වශයෙන් බලශක්ති ක්ෂේත්‍රය තුළ මහජන උපයෝගිතා කොමිසමේ භූමිකාව සහ බලය වඩාත් කාර්යක්ෂම කිරීමද සඳහන් වී තිබේ.

බලශක්ති උත්පාදනය සඳහා දැරීමට සිදුව තිබෙන විශාල නිෂ්පාදන වියදම සැලකිල්ලට ගනිමින් විදුලිය ගාස්තු ඉහළ නැංවීමට අවශ්‍යතාව පැන නැගුණු අවස්ථාව එම වාර්තාවෙන් ඉස්මතු කර තිබේ. මහජන උපයෝගිතා කොමිසමට බදු සම්බන්ධ තීන්දු ගැනීමේදී පැවරී ඇති විශාල අධිකාරී බලය සම්බන්ධයෙන් කාරණා ගණනාවක් ඉස්මතු වූ බවද එම වාර්තාවේ සඳහන්ය. ඒ අනුව වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ කොමිසමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කොමිසම පාර්ලිමේන්තුවට වග විය යුතු ආකාරයට ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම යෝග්‍ය බවය.

මෙම කමිටුවේ සාමාජිකයන් අතර පසුගිය යහපාලන ආණ්ඩුවේ මන්තීවරුද වූහ. ''වඩාත් විනිවිද පෙනෙන යහපාලනයක්'' සඳහා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට දායක වූ එම මන්ත්‍රීවරු තමන් අභිමුව තමන්ගේ පාලන කාලය තුළදී ඇති කරගත් එම කාර්යය ආපසු හරවනු දැකගත්හ.

- සන්ඩේ ටයිම්ස්

උපන්දින පාටියෙන් උණු වතුරට වැටුණු ජල සම්පාදන ඇමැති

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ උපන් දිනය වෙනුවෙන් පසුගිය 10 වැනිදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක උත්කර්ෂවත් උපන් දින සාදයක් සංවිධානය කර තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වී සිටියහ.

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගෝල්ෆේස් පිටියේ වසරකට පෙර පැවැති සාමකාමී අරගලයට පහරදීමට පැමිණි කණ්ඩායමේ එක් සාමාජිකයෙක් බවට සනත් නිශාන්ත චෝදනා ලැබ සිටින්නෙකි. තමන්ගේ උපන් දිනය මෙසේ උත්කර්ෂවත් ලෙස සැමරීම ඡායාරූප මගින් සමාජ මාධ්‍ය ජාලයේ පළවීමෙන් පසු ඔහු දැඩි විවේචනයට ලක්වෙමින් සිටී. බොහෝ දෙනකු කෝපයෙන් ඒ පිළිබඳව අදහස් දක්වා තිබිණි.

සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා මතභේදාත්මක සිදුවීම් සම්බන්ධයෙන් නම් දැරූවෙකි. ඔහුද පෙරළා සමාජ මාධ්‍ය විවේචකයන්ට දැඩිව ප්‍රතිචාර දක්වා තිබිණි. ඉන් එකක ඔහු සඳහන් කර තිබුණේ තමන්ගේ උපන් දිනය යෙදී තිබෙන්නේ මැයි 03 වැනිදා බවය.

''පාර්ලිමේන්තුව මේ මාසයේ කැඳවා තිබුණේ මැයි මස 09 වැනිදායි. මම මේ උපන් දින උත්සවය සංවිධානය කළේ එදිනටයි. ''අරගල භූමියේ'' එය පැවැත්වීමටයි අපි බලාපොරොත්තු වුණේ'' රාජ්‍ය ඇමැති කියා තිබිණි. එය වසරකට පෙර ජනාධිපති මන්දිරය ඉදිරිපිට පැවති තත්ත්වය ඍජුවම සඳහන් කිරීමකි.

ඔහු පැවසුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැයි 09 වැනිදාට උත්සවයක් පැවැත්වීමෙන් තමාව වැළැක්වූ බවය. කලහකාරීන් අතින් ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් අතුකෝරළ මහතාගේ අභාවයේ ප්‍රථම වාර්ෂික සැමරුම යෙදී ඇත්තේ එදිනට බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන් බවද ඔහු කීය.

ඡායාරූපයේ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රසන්න රණවීර වෙති.

- සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00