2023 මැයි 14 වන ඉරිදා

මේ ආණ්ඩුව ගහන්නේ එදා වේල ටුවර්ස්

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 42

එස්.එම්. මරික්කාර් - (පාර්ලිමේන්තු මන්ත්‍රී - සමගි ජනබලවේගය)

  • ශ්‍රී ලංකන් එක නම් රුපියලට දුන්නත් ලාබයි: ඒත් ඇයි ටෙලිකොම් විකුණන්නේ
  • විපක්ෂයේ එකමුතුව දේශපාලන වැඩපිළිවෙළක් බවට පත් කරන්න ඕනෑ
  • රට බංකොලොත් කළ පොහොට්ටුකාරයෝ එක්ක අපට පුළුවන්ද එකට වාඩිවෙන්න?
  • ප්‍රචණ්ඩකාරීන්ට දඬුවම් දිය යුතුයි: ඊට කලින් දූෂිතයන් හිරේ දාන්න ඕනෑ
  • රටවල් දියුණු වුණේ අලුත් ආදායම් මාර්ග හදලා
  • අපට ආණ්ඩුව එක්ක මොනම ගනුදෙනුවක්වත් නෑ
  • රනිල් මහත්තයා ඇවිත් කළේ බදුයි ණයයි වැඩි කළ එකයි
  • විපක්ෂය දෙකට කඩන ආණ්ඩුවේ සැලැස්ම වැරදුණා

පහුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව විශාල සටනක් කරපු විපක්ෂය මෑතක ඉඳලා ටිකක් නිශ්ශබ්ද වෙලා තියෙන්නෙ. මොකක්ද ඒකට හේතුව?

ඔබගේ ප්‍රශ්නය වැරදියි. ආණ්ඩුව සල්ලි වියදම් කරමින් සමාජ මාධ්‍ය, අනෙකුත් මාධ්‍ය පාවිච්චි කරලා ලොකු කැම්පේන් එකක් මේ වෙද්දි කරගෙන යනවා. ඒත් විපක්ෂය උත්තේජනය වෙලා වැඩ කරන නිසා තමයි මැයි දිනය ඇතුළු අනෙකුත් මහජන ගනුදෙනු ඉතාම සාර්ථකව සිදු කරන්න හැකිවුණේ. ඒ වගේම පාර්ලිමේන්තුව තුළදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කතිකාවක් ඇති කරලා නඩු දාලා වැඩ කටයුතු සිද්ධ කළෙත්, රටට අහිතකර මහ බැංකු පනත කල් දාගන්න පුළුවන් වුණෙත් විපක්ෂයේ කාර්යභාරය නිසා. ඒ නිසා අපි කියන්නෙ විපක්ෂයේ කාර්යභාරය ඉතාම හොඳින් කරගෙන යනවා. හැබැයි මට තේරෙන්නෙ ඔබලා බලාපොරොත්තු වෙන්නෙ විපක්ෂය හැමදාම පාරේ උද්ඝෝෂණ කරන්න ඕනෙ කියලා. 

මහ බැංකු පනත ඔබලා පෞද්ගලිකව ජනාධිපතිවරයා අමතලා කල් දාගන්න කටයුතු කළා. ඇත්තටම එහෙම කල් දාගන්න හේතුව මොකක්ද?

රටේ මූල්‍ය බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පනතක් එනකොට ඒ සම්බන්ධව ප්‍රවීණයන්ගෙන් සහ දැනුම ඇති අයගෙන් අහලා සාකච්ඡා කරලා තමයි ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕනෙ. ඒ වගේම අපි ආර්ථික කමිටුව සඳහන් කළේ මේ පනතේ යම් යම් අහිතකර දේවල් තියෙනවා නම් ඒවා සංශෝධනය කරලා තමයි ඒක සම්මත කරන්න ඕනෙ කියලා. ඒ නිසයි මේක කල් දාන්න අපි ජනාධිපතිවරයට කිව්වෙ. එහෙම නැතුව කියන කියන එකට අත උස්සන්නත් විරුද්ධ වෙන්නත් අපි සූදානම් නෑ. 

හරි.. මට කියන්න ඔබලා මේ පනතට එකඟද? 

මේ පනතට එකඟ නෑ. හැබැයි සංශෝධනය කරලා ආවොත් එකඟ වෙනවා. 

පසුගියදා පාර්ලිමේන්තුවට ආවා අයි.එම්.එෆ්. යෝජනාව. ඒ වෙලාවේ අයි.එම්.එෆ්. එකට එකඟ වෙලා හිටිය ඔබලා ඡන්දෙ විමසන වෙලාවෙ මඟහැරියා. මොකක්ද මේ වැඩේ තේරුම?

ඇත්තටම අපි මඟහැරියා නෙමෙයි. අපි විරුද්ධත්වය ප්‍රකාශ කළා. මම ඒකට ඍජු උත්තරයක් දෙන්නම්. අයි.එම්.එෆ්. යන්න කියලා අපි කිව්වෙ මුලින්ම රට බංකොලොත් වෙන්න කලින්. අපි දක්ෂිණාංශික ආර්ථිකයක් විශ්වාස කරන දේශපාලන පක්ෂයක්. අපි ලිබරල්වාදය අන්තයටත් සමාජවාදය අන්තයටත් ගිය පක්ෂයක් නෙමෙයි. අපි කිව්වෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට රට කඩා වැටෙන්න කලින් අයි.එම්.එෆ්. යන්න කියලා. කිසිම විදිහකින් අපි අයි.එම්.එෆ්. එකට විරුද්ධ නෑ. අපිට තියෙන ප්‍රශ්නය අයි.එම්.එෆ්. එකට ගිහිල්ලා ආණ්ඩුව එකඟ වූ කාරණා සම්බන්ධයෙන් අපි එකඟ නෑ. වතුර බිල වැඩි කරන්න, ලයිට් බිල වැඩි කරන්න, ඒ වගේම ඉහළ ප්‍රමාණයෙන් බදු වැඩි කරන්න, ඒ වගේම ආයතන ප්‍රතිව්‍යුහගත කරන දේවල් වගේ ඒවට අපි බොරුවට අත උස්සන්න ඕනෙ නෑ. අනික ඒ යෝජනාව දිනුවද පැරදුණාද වැඩක් නෑ. මේ වෙනකොටත් අත්සන් කරලා ඉවරයි. පනත දැම්මෙම ඇත්තටම විපක්ෂය දෙකට කඩන්න. නමුත් ඒක වුණේ නෑ. 

මේ අයි.එම්.එෆ්. යෝජනාවල සමහර කාරණා ඔබලා ආපු ගමන් සංශෝධනය කරලා වෙනස් කරනවා කිව්වා. ඒක ඇත්තද?

ඔව්.. රණසිංහ ප්‍රේමදාස මහත්තයා ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරලා ජන සවිය හැදුවෙ. ඒ වගේම අපිත් වෙනස් කරනවා. අපි විශේෂයෙන් බලන්නෙ අපේ ණය ගෙවීමේ හැකියාව කොහොමද වර්ධනය කරගන්නෙ කියලා. නමුත් මේ අය කළේ ණය ගෙවන්න බදු වැඩි කරපු එක. දෙවැනි එක රාජ්‍ය ආයතන විකුණලා. නමුත් අපි ඒ හා සමානව මුදල් උත්පාදනය කළ හැකි වෙනත් ක්‍රමවේදයක් යොදාගන්නවා. 

මොන වගේ දේවල්ද?

මෙඩිකල් ටුවරිසම්, වයිල්ඩ් ලයිෆ් ටුවරිසම්, එඩියුකේෂන් ටුවරිසම්, ඒ වගේම එක්ස්පෝර්ට් වැඩි කරන එක, නිෂ්පාදන වර්ධනය කරන එක, තාක්ෂණය පැත්තෙන්, ආයෝජන කලාප, මේ දේවල් අපි වැඩි කරනවා. ඒවා අවුරුද්ද, අවුරුදු දෙක, අවුරුදු පහ, අවුරුදු දහය වෙන්න පුළුවන්. එතකොට අපිට අයි.එම්.එෆ්. එකෙන් බලපෑම් කරන්නෙ නෑ. 

ආණ්ඩුව මේ වෙද්දි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරමින් යනවා. ඇත්තටම ඔබලා ඒ ගැන විවේචනය කරනවා. මම අහන්නෙ ඔබ රාජ්‍ය ආයතන ආරක්ෂා කරලා ආණ්ඩුව විසින් ව්‍යාපාර කරගෙන යන තැනට එකඟ වෙනවද?

අපි මේ ගැන පක්ෂයක් හැටියට පක්ෂ විපක්ෂ අදහස් පළ කරමින් ඉන්නවා. මගේ පෞද්ගලික මතය වන්නෙ මේ රජය නියාමන ආයතනයක් විය යුතුයි. එහෙම නැතුව රජය ව්‍යාපාර කළ යුතු නෑ. මම කියන්නෙ සිංගප්පූරු මොඩලයට එක ආයතනයක් ඇති කරලා ඒ ආයතනයට ආයෝජකයො ගෙන්නලා 49% ක් ආයෝජකයට දීලා 51% ක් ආණ්ඩුව තියාගෙන පරිපාලනය පෞද්ගලික අංශයට බාර දෙන්න ඕනෙ. එහෙම නැතුව මහා භාණ්ඩාගාරයට බරක් වෙලා ඕවා කරලා වැඩක් නෑ. 

දැන් මේ වෙනකොට ආණ්ඩුව ශ්‍රී ලංකන්, ටෙලිකොම් විකුණමින් යනවා. ඒ සම්බන්ධයෙන් දරන අදහස මොකක්ද?

ඇත්තටම ශ්‍රී ලංකන් එක නම් රුපියලට දුන්නත් ලාභයි. ඒත් ටෙලිකොම් සමාගම පෞද්ගලික අංශයේ ආයතනයකට යටත්ව ලාභ ලබමින් ඉන්නෙ. ඒ නිසා මට තේරෙන්නෙ නෑ ටෙලිකොම් එක මේ තරම් ඉක්මනින් විකුණන්න හදිස්සිය මොකක්ද කියලා. ඒ වගේම මම පිළිගන්නවා පාඩුම ලබන ආයතන ගන්න මිනිස්සුත් ඉන්නෙ නෑ කියලා. මම කියන්නෙ මේකට සිස්ටම් එකක් අවශ්‍යයි කියලා. මේ ගහන්නෙ ආණ්ඩුව එදා වේල ටුවර්. 

ජනාධිපති කියන්නෙ නම් කඩා වැටුණු ගෙයක් ගොඩගන්න ගෙදර රත්තරන් බඩු හරි විකුණලා දරුවන්ට කන්න දෙන්න ඕනෙ කියලා?

මෙහෙමයි. ලිබරල්වාදයේ අන්තයටම ගියාම එහෙම හිතෙනවා. සිංගප්පූරුව, මැලේසියාව ගත්තත් ඒ රටවල් දියුණු වුණේ අලුත් ආදායම් මාර්ග හදලා. මම මේ මෑතක ගියා උගන්ඩාවට. ඒ රට දියුණු වුණෙත් ආදායම් වැඩි කරලා. විකුණලයි බදු ගහලයි රට දියුණු කරන්න බෑ. ගේ කඩා වැටුණාම රත්තරන් බඩු විකුණලා හරියන්නෙ නෑ. තියෙන දෙයක් උකස් තියලා ආදායම් මාර්ගයක් හදාගන්න එක තමයි කරන්න ඕනෙ. 

ඔබලා යම් පාර්ලිමේන්තු එකමුතුභාවයකට විපක්ෂයේ එකමුතුවක් හදාගත යුතුයි කියනවා. මේක මේ නව දේශපාලන පිවිසීමක ආරම්භයක්ද?

පාර්ලිමේන්තු වැඩපිළිවෙළ දේශපාලන වැඩපිළිවෙළක් බවට පරිවර්තනය කරන එක තමයි අපේ අරමුණ. ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවත් වැඩියි. ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර අය අගමැති වෙන්නත් කතා කරනවා. 

ඒ කියන්නෙ ඒ කණ්ඩායමට කැමැත්තක් තියෙනවද ඔබලත් එක්ක වැඩ කරන්න?

ඔව්. ඒ වගේ කැමැත්තක් තියෙනවා. කොහොම කළත් සමගි ජන බලවේගයෙන් තමයි ඉදිරිපත් වෙන්නෙ. 

කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ගෙනාවද ආණ්ඩුවට සහාය දක්වලා අදහස් ප්‍රකාශ කරන්න එපා කියලා?

ඔව් අපිට ආණ්ඩුවත් එක්ක ගනුදෙනුවක් කොහෙත්ම නෑනෙ. ඒ නිසා අපිට කොහෙත්ම ඒ අයත් එක්ක කතාවක් අවශ්‍ය නෑ. 

හැබැයි සමහර මන්ත්‍රීවරු ආණ්ඩුවත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළත් ඉතාම ඉහළින් වර්ණනා කරනවා?

ඒක මම දන්නෙ නෑ.

මම දන්නෙ නැද්ද? කියන්නෙ නැද්ද?

නෑ මම දන්නෙ නෑ.

ආණ්ඩුවෙන් කියන්නෙ රට තිබුණු තත්ත්වයත් එක්ක අද මේ තැනට ගෙනාවෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒ ගැන අදහස මොකක්ද?

දැන් බලන්න අරගලය කළේ සල්ලි මාටියා ගහලා රට බංකොළොත් කරපු නිසා. එතකොට ඒ පාලන කාලයේ ඉඳලා අද වෙනකම් ඩොලර් බිලියන 83 ක් දක්වා දේශීය සහ විදේශීය ණය මුදල වැඩි කරගෙන තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා කළේ අයි.එම්.එෆ්. එකට ගිහිල්ලා බදු ගහන එක විතරයි. ආදායම වැඩි කරලා නෑ. එතුමා කළේ තවදුරටත් බදු වැඩි කරන එකයි ණය වැඩි කරන එකයි. ඒක හරි කියලද ඔබ කියන්නෙ. මේ රටේ දූෂණය, නාස්තිය නිසානෙ මේ ප්‍රශ්නෙ ඇතිවුණේ. ඔබ කියන්නෙ ඒක හරි කියලද? 

හැබැයි ජනාධිපතිතුමා නම් කිව්වා දඬුවම් දෙන අල්ලස් දූෂණ නව පනතක් ගේනවා කියලා?

මෙහෙමයි. ගේනවා නම් හොඳයි. හැබැයි ජනාධිපතිතුමා කියන හැම එකම නෑ කියන්නෙ නෑනෙ. හැම එකක්ම කරන එක තමයි කියන්නෙ. අපිට 2015 ඉඳන්ම ඔය කතාව කියනවනෙ. 

ජනාධිපතිවරයා ආරාධනා කළා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා රටේ ඊළඟ වැඩපිළිවෙළ ජාතික ප්‍රතිපත්තියක් හැටියට ගේන්න එකතු වෙන්න කියලා?

නෑ නෑ නෑ.. දේශපාලන කාරණා නෙමෙයි ප්‍රතිපත්තිමය කාරණා එක්ක බලද්දි මේ රටේ වංචා දූෂණවලට චෝදනාවට ලක්වෙච්ච, රට බංකොලොත් කරපු පොහොට්ටුකාරයොත් එක්ක ලැජ්ජා නැතිව අපිට එකට වාඩිවෙන්න පුළුවන්ද? 

හරි මොකක්ද විපක්ෂයේ යෝජනාව?

අපි කියන්නෙ මේක විකෘතියක්. ජනාධිපතිට ජන මතයක් නෑ. පාර්ලිමේන්තුව ජනතාව පිළිගන්නෙ නෑ. ඒ නිසා ජනතා මතයට තමයි ඉඩ දෙන්න ඕනෙ. පළාත් පාලන ඡන්දයට බය නම් පාර්ලිමේන්තු මැතිවරණයට යමු. ජනාධිපතිවරණයට මොකක් හරි වගන්තියක් වෙනස් කරන්න අත උස්සන්න ඕන නම් ඒකත් කියන්න අපි අත උස්සන්නම්. ඒක ජනතාවගෙ අයිතියක්. එහෙම නැතිව බොරු චණ්ඩි පාට් දාලා මේවා කරන්න බෑ. අරගලයෙන් පාඩම් ඉගෙන ගන්නෙ නැත්නම් නැවත වතාවක් අරගලයට අත වනන එක තමයි වෙන්නෙ. 

ඒ කියන්නෙ ඔබලා අරගලයක් බලාපොරොත්තු වෙනවා නැවත?

අපි ප්‍රචණ්ඩ ක්‍රියාවලට කිසිසේත්ම එකඟ නෑ. ඒ වගේම අරගලයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. හැබැයි ජනතාවගෙ ඉල්ලීම්වලට පයින් ගැහුවොත් ඒ තත්ත්වයට යන එක නවත්වන්නත් බෑ. 

ආණ්ඩු පක්ෂයෙන් යෝජනාවක් ගේන්න හදනවා අරගලය සම්බන්ධයෙන් දඬුවම් ‍දෙන්න පුළුවන් විශේෂ ජනාධිපති කොමිසමක්. මොකක්ද ඔබලගෙ මේ සම්බන්ධයෙන් අදහස?

මෙහෙමයි. ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරලා තියෙනවා නම් ඕනෙම දඬුවමක් දුන්නට කමක් නෑ. හැබැයි ඊට කලින් වෙන්න ඕනෙ වංචා දූෂණ කරපු අයව අල්ලලා හිරේ දාන්න. 

මේ රටේ අල්ලස් දූෂණ පනතක් තියෙනවා. ඔබ හිතන්නෙ දඬුවම් දෙන්න ඒක මදිද?

නෑ මේවා ක්‍රියාත්මක කරන්න වුවමනාවක් නෑ. ඕනෙම දේක ස්ටාර්ට් එකක් තියෙන්න ඕනෙ. ඒක ගන්නකම් මොන නීති තිබුණත් වැඩක් නෑ. 

ඔබලා නීතිය හරියට ක්‍රියාත්මක කරයි කියලා කොහොමද විශ්වාස කරන්නෙ. අපිට 2015 අත්දැකීම් තියෙනවනෙ?

සමගි ජන බලවේගය හැදෙන්නෙ එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ඇවිල්ලා. ඒ වෙනස කරන්න බලාපොරොත්තු වුණු කට්ටිය තමයි කඩාගෙන එළියට ආවෙ. එහෙම නැති අය එතන රුඳුණා. 

හැබැයි දේශපාලන බලය ගන්න වෙලාවට ඔය ඔක්කොම එක තැනට එනවා නේද? එතකොට ඔය කියන කාරණා වෙන එකක් නෑ නේද?

ඒ වෙලාවට අපි හදිසි වෙන්නෙ නැතුව අවශ්‍ය තීරණය ගන්නම්.

ඔබ එදාට පෞද්ගලික තීරණයක් ගන්නවද?

එදාට බලමු.

♦ ගයාන් ගාල්ලගේ