2023 මැයි 07 වන ඉරිදා

ජනාධිපතිවරණයක් නැතුව පොදු අපේක්ෂකයෙක් මොකටද?

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 77

ප්‍රසන්න රණතුංග - නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය

  • ගෝඨාභය ජනාධිපතිතුමා හොඳ තීන්දු ගත්ත ඒව රටට හරියනවද කියන එකයි ප්‍රශ්නෙ
  • කවුරු කොහොම කිව්වත් ජනතාව මහින්ද මහත්තයට ආදරෙයි
  • අපේ පක්ෂය පොදු අපේක්ෂකයෙක් දානවනම් ඒකට සහය දෙනවා
  • ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවකින් රට හදන්නයි යන්නෙ
  • අරගලය ගංජාකාරයොයි කුඩුකාරයොයි අතට ගියා
  • පොහොට්ටුව අපි හදපු පක්ෂය ඒක කඩන්නෙ නැහැ
  • රුල්ලට ආපු අය නිසා සැබෑ පාක්ෂිකයො තරහ වුණා
  • අරගලයෙදි පොලිසිය අවම බලයවත් පාවිච්චි කළේ නැහැ

• අද වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ ආර්ථිකය ගොඩදැමීම බවයි කියන්නේ. ඔබලත් ඒ ආණ්ඩුවේ. ඒ වගේම ඔබලා බලාපොරොත්තු වුණ දේවල් නෙමෙයි මේ වෙන්නේ. ඇත්තටම මේ දේවල් එක්ක බලද්දී වර්තමාන ආණ්ඩුව ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මේ ආර්ථික අර්බුදය ආර්ථික විශේෂඥයෝ කියනවා වගේ මේක මේ කෙටි කාලයක් තුළ ඇතිවුණ සිදුවීමක් නෙමෙයි. යම් යම් සිදුවීම් බලපෑවා. වසර 30ක යුද්ධය, විවෘත ආර්ථිකය එක්ක ඇතිවුණු ජීවන ප්‍රශ්නෙ. ඒ විතරක් නෙමෙයි 71 කැරුල්ල, 83 කළු ජූලිය, 88/89 කලබල, ස්වභාවික විපත් මේ සියල්ල බලපෑවා. ඒ වගේම වර්තමානයේ කෝවිඩ් වසංගතයත්, යුක්‍රේන, රුසියා යුද්ධයත් විශේෂයෙන් අපිට විතරක් නෙමෙයි ලෝකෙටම බලපෑවා. ඒ විතරක් නෙමෙ‍යි ඇතැම් දේශපාලන කුමන්ත්‍රණ පවා සිද්ධ වුණා. අපේ ආණ්ඩුවට එරෙහිව බටහිර රටවල විරුද්ධත්වයත් මේ සියල්ල මේකට බලපෑවා.

• ඔබලා ගෙනාපු ආණ්ඩුවේ තීන්දු තීරණ මේකට බලපෑවේ නැද්ද?

ඔව් බලපෑවා. විශේෂයෙන් පොහොර ප්‍රශ්නය වගේ ගත්තම ඒක ලොකු අවුලක් වුණා. අපේ රටක් හැටියට නරකම කාලය වුණේ ගිය අවුරුද්දයි. ඒකේ ලොකුම බලපෑම ආවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට. ඔහු එම සිදුවීමේ අවාසනාවන්තම පුද්ගලයා.

• ඔබලා පත්කළ ආණ්ඩුවේ සමහර කොටස්කාරයොම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව වගකියන්න ඕන කියලා කිව්වේ. ඒක ඇත්ත නේද?

අපේ ආණ්ඩුව විවිධ දේශපාලන මතවාද. අදහස් එක්ක ගොඩනැගුණු නිසා විවිධ විවේචන අදහස් වෙන්න පුළුවන්. හැබැයි ගෝඨාභය මහත්තයා හොඳ තීන්දු තීරණ ගත්තා. ඒවා රටට ගැලපෙනවද, නැද්ද කියන එක වෙන කතාවක්. හැබැයි ඒවා යහපත් තීන්දු. ඉතිං අපේ අයත් ඒ තීන්දු තමයි විවේචනය කරන්න ගත්තේ.

• ඔබලාගේ කණ්ඩායම කියන දෙයක් තමයි ඔබලගේ කණ්ඩායමේ ඉඳලා ඒ ගිය කට්ටිය ආණ්ඩුවේ ඇතුළේ ඉඳලා කුමන්ත්‍රණයක් කළා කියලා. ඒක ඇත්තද?

උදයලා, විමල්ලා, වාසුදේවලා, දිනේෂ් ගුණවර්ධනලා එකතුවෙලා පටන් ගත්ත මහින්ද සුළඟ අවසානයෙ තමයි අපි බලය ගත්තේ. ඒ බලය ගන්නකොට විවිධ කණ්ඩායම් ඇතුළට ආවා. වියත්මඟ, අරක මේක කියලා. අන්න ඒ අය තමයි මේ විවිධ චෝදනා විවේචන කරන්නේ. ඒ අය රැල්ලට ආපු අය. ඒ නිසා අපි එක්ක මුල ඉඳලා හිටිය මිනිස්සු තරහා වුණා. ඒකෙන් තමා ආණ්ඩුව නැතිවුණේ.

• ඔබ රාජපක්ෂවරු සමඟ සමීපව වැඩකරන කෙනෙක්. ඔබ හිතනවද රාජපක්ෂ නාමයට තවදුරටත් බලය ලබාගැනීමේ හැකියාවක් තියෙනවා කියලා?

ඔය වගේම තත්ත්වයක් උදාවුණා 2015 දී. ඇත්තටම මෙතන මිනිස්සු ආදරේ මහින්ද රාජපක්ෂ මහත්තයට. කට්ටිය කොච්චර බොරු කිව්වත් ඇත්ත ඒක. ඒ වගේම කියන්න ඕන රාජපක්ෂවරුන්ට ඒ ඒ දිස්ත්‍රික්කවල ලොකු හයියක් තියෙනවා. චමල් රාජපක්ෂ මහත්තයා දීර්ඝකාලීන දේශපාලනය කරපු කෙනෙක්. ශෂේන්ද්‍ර කියන්නේ හිටිය මහ ඇමති. ඒ නිසා දැන් මොනවා කිව්වත් ඊළඟ මැතිවරණයේදී තමයි එයාලගේ බලය පෙන්නන්න පුළුවන්. මම හිතනවා ඒ ඒ දිස්ත්‍රික්කවල ඒ අයට හයිය බලය තියෙනවා.

• සමහර අය චෝදනා කරන්නේ පක්ෂය විනාස වෙන්න හේතුව බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා. ඔබ මොකද ඒ ගැන කියන්නේ?

2015දී අපි පරාජය වුණාම අපිට දේශපාලනය කරන්න පක්ෂයක් තිබ්බේ නෑ. එතුමා තමා මේ පොහොට්ටුව කියන පක්ෂය හැදුවේ. ඒ වගේම එතුමාගේ සංවිධාන ශක්තියට ගහන්න කිසිම කෙනෙක් නෑ. එතුමගේ අඩුපාඩු තියෙනවා. ඒත් එතුමා හොඳ සංවිධායකවරයෙක්. විශේෂයෙන් අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් නායකයෙක්.

• ඔබලා හැමදාම රාජපක්ෂවරු බලයේ තියාගන්න හදනවා. ඇයි රණතුංගලාට බලය ගන්න ඕන නැද්ද?

ඒක වැරදි මතයක්. යුද්ධය ජයග්‍රහණයෙන් පස්සේ රාජපක්ෂවරුන්ට ලොකු ගෞරවයක් රටේ ඇති වුණා. ඒ ගෞරවය නැති කරන්න තමයි එක එක කුමන්ත්‍රණ කළේ. අපිව වට්ටන්න තමයි රාජපක්ෂවරුන්ට ගහන්නේ. හැබැයි අපේ පක්ෂයේ තනතුරු දෙන්න වෙන කිසිකෙනෙක් නෑ කියලා කියන්න බෑ. ඔය අරගලය වෙලාවේ අපේ කට්ටිය ඉවත් වෙලා කිව්වේ වෙන කට්ටියකට බාරදෙන්න කියලා. අගමැති පුටුවට සජිත්ට, අනුරට පවා කතා කළා අපි උදව් කරන්නම් කියලා. ඒත් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමා ඒක කළේ. ඒ නිසා අපි ඔහුට සහාය දුන්නා. අනික දිනේෂ් ගුණවර්ධන මහත්තයා අගමැති කළේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදයෙන්.

• ඔබලාගෙන්  ඉවත් වෙලා ගිය කණ්ඩායමක් කියන්න ගත්තා මහින්ද මහත්තයා අගමැති කරන්න ඔබලා උදව් ඉල්ලුවා කියලා. ඒක ඇත්තද?

අනේ මම නම් දන්නේ නෑ. එහෙම සාකච්ඡාවක් වුණේවත් නෑ. ඔය කතාව යද්දී මම මහින්ද රාජපක්ෂ මහත්තයට කතා කරලා ඇහුවා මේ කතාව මොකක්ද කියලා. ඒ වෙලාවේ එතුමා කිව්වේ ''අපි පත්කළ අගමැති කෙනෙක් ඉන්නකොට තව අගමැති කෙනෙක් මොකටද'' කියලා. දිනේෂ් අගමැතිතුමා හැමදාම අපි එක්ක ඉන්න කෙනෙක්. මේවා අපිව බිඳින්න විපක්ෂයෙන් ගෙනියන කතා.

• අලුත් සන්ධානයක් ඇත්තද එජාපයත් ඔබලාත් අතර ඇති කරන්න සාකච්ඡා යනවා කියන්නේ?

නෑ. එහෙම සාකච්ඡාවක් වෙලා නෑ. ඒක අසත්‍යයක්. හැබැයි මම මාධ්‍යයට කිව්වා අපේ පක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් දානවා නම් ඒකට සහාය දෙනවා කියලා. එතකොට මාධ්‍ය ඇහුවා පොදු අපේක්ෂකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක් වුණොත් සහාය දෙනවද කියලා. මම ඒකට ඔව් කිව්වා. පක්ෂයේ තීන්දුව මොකක් වුණත් ඒ සහාය මම දෙනවා කිව්වා.

• ඇයි ඒ?

එතුමා මේ රට ගැන අරන් තියෙන තීන්දු නිසා. ඒ නිසා එතුමට මේ රට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. ඒ ගැන හිතලා මම ගත්ත තීරණයක්. මම ඉන්න මතයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහොමයක් ඉන්නවා.

• ඇත්තද ඔබ කණ්ඩායමක් කඩාගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය දෙන්න යනවා කියන්නේ?

අපි හදපු පක්ෂය පොහොට්ටුව කියන්නේ. මම පක්ෂය කඩාගෙන යන්නේ නෑ. අනික අපි පක්ෂය දැනටමත් රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරනවා. මම කොහොමත් රුඩිකල් තීන්දු ගන්න මිනිහෙක්. මම තමයි හැමවෙලේම තනියම ඉල්ලමු කිව්වේ. කොහොම වුණත් මේ වෙලාවේ රට ගොඩනගන ගෞරවය රනිල් වික්‍රමසිංහ මහත්තයට තියෙන නිසා ජනතා කැමැත්ත තියෙනවා. ඒ නිසයි මම එහෙම කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය දෙනවා කියලා.

• ඔබලා රනිල් වික්‍රමසිංහ මහත්තයා විවේචනය කරපු අය. අද කොහොමද ඒක දැනෙන්නේ? එතුමා දැන් හොඳයිද?

රනිල් වික්‍රමසිංහ මහත්තයාව යහපාලන ආණ්ඩුවේදී විවේචනය කළ අය අතරින් මම තරම් කෙනෙක් ඉන්න නැතුව ඇති. එතුමත් ඒක දන්නවා. හැබැයි එතුමා අපෙන් පලිගන්න හදන්නේ නෑ. එතුමා හිතන්නේ අපිවත් එකතු කරන් විපක්ෂයත් එක්තු කරන් ජාතික ආණ්ඩුවක් හදලා රට හදන එක. අනික එතුමා දැන් පරිනත අවබෝධයෙන් වැඩකරන නායකයෙක්. ඒ නිසා තමයි අපිටත් එතුමා එක්ක වැඩකරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

• ඔබලා රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ගෙනාවේ ඔබලාට ඇමැතිකම් කීපයක් ලබා ගැනීමේ එකඟතාවය මත. ඒක වුණේ නෑ. දැන් සීතල යුද්ධයක් නේද?

නෑ ඒක බොරුවක්. අපි අතර කිසිම එකඟතාවයක් තිබ්බේ නෑ. එහෙම කියන එක අපේ මන්ත්‍රීවරුන්ට හරි නෑ. සාමකාමී අරගලය ගංජාකාරයොයි, කුඩුකාරයොයි අතට අරගෙන ආණ්ඩුව නෙමෙයි රාජ්‍ය පෙරළන්න උත්සාහ ගන්නකොට ඒක මර්දනය කරලා රට මේ තැනට ගෙනාව රනිල් වික්‍රමසිංහ මහත්තයට අපි නිසි ගෞරවය දෙන්න ඕන. එහෙම නැතුව තනතුරු තානාන්තර බලාගෙන නෙමෙයි අපි සහාය දුන්නේ. හැබැයි ඒ දිස්ත්‍රික්කය තුළ වැඩි බලයක් පෙන්වපු අපේ අයට යම් තනතුරු ලැබෙන්න ඕන. එහෙම ලැබුණම හයියට ඒ දිස්ත්‍රික්කවල වැඩ කරන්න පුළුවන්.

• කැබිනට් සංශෝධන ගැන කතාවක් ගියා. ඒකට මොකද වෙන්නේ?

එහෙම සාකච්ඡා යනවා. රටේ තත්ත්වයත් සලකලා ඒක කරයි වෙලාවට.

• ඔබ එක මොහොතක වේදිකාවක කියනවා ගේ ගිනි තිබ්බ එකේ වේදනාව නිසා ඒකේ පලිය ගන්නවා වගේ කතාවක්. මොකක්ද ඒකේ අදහස?

මම පලිගන්නවා කියලා නෑ.

• ඔබට වෙච්ච අසාධාරණය ගැන?

නෑ බලන්න අමරකීර්ති මහත්තයා ගත්තම එතුමාගේ දරුවන්ට තාත්තෙක් නෑ. බිරිඳට ස්වාමියෙක් නෑ. පාක්ෂිකයන්ට දේශපාලඥයෙක් නෑ. එහෙම බැලුවම මගේ ගේ විතරයි නැතිවුණේ. නායකත්වය දෙන්න මම ඉන්නවානේ. අන්න ඒක ගැන සංතෝසයි. හැබැයි අපේ ගෙවල් කියන්නේ මතක. මගේ ගෙදර කොටසක් ඉතිරි කළා තාත්තාගේ මතක වෙනුවෙන්. ඒ වගේම අපේ දරුවන්ගේ මතක. මේ සියල්ල තමයි ගෙයක් කියන්නේ. ඒවා දේශපාලනය නෙමෙයි. අන්න ඒ නිසා මට දුකක් තියෙනවා. නීතියෙන් සාධාරණයක් වුණේ නැත්තන් ස්වභාවධර්මයෙන් හරි හම්බ වෙනවා. දැන් පේනවනේ අරගලකාරයන්ට වෙන දේවල්. සාමකාමී අරගලකරුවෝ ඉවත් වුණා. සමහරු උසාවිය ඉදිරියේ හෝන් එකක්වත් ගහන්න බෑ හිරේ දානවා. ඒත් සැකකාරයන්ට උසාවිය ළඟ අප්පුඩි ගහනවා. එහෙම වෙනකොට අපිටත් තියෙනවා ගනුදෙනු බේරගන්න.

• ඔබට නීතියෙන් සාධාරණයක් වුණාද?

මොකක්ද වෙච්ච සාධාරණය. පොදු දේපල වාහන දෙකක් ගිනි තිබ්බ අයට ඇප හම්බවුණා. මගේ නිවස ගිනි තිබ්බ උන්ට ඇප හම්බ වුණා. රුපියල් 5000ක් ගත්තා කියලා හිරේ දාන රටේ මේ මොනවද? පොලීසිය නඩු දාපු තැන ඉඳලා වැරදි. අනික ගේ ගිනිතියද්දී අවම බලයවත් පාවිච්චි කළේ නෑ. අහසට වෙඩි තිබ්බා නම් අවම බලය හරි කියන්න තිබ්බා. කෝ වුණේ නෑ.

• මොකක්ද ඔබ මේ සඳහා ඉල්ලන සාධාරණය? 

මම කියන්නේ පූර්ණ බලය සහිත ජනාධිපති කොමිසමක් පත්කරන්න ඕන. ඒකට බලය දෙන්න ඕන දඬුවම් දෙන්න. ඒක තමා මගේ ස්ථාවරය.

• විමල් වීරවංශ මන්ත්‍රීතුමා පොතක් ලිව්වා අරගල කුමන්ත්‍රණ ගැන. එතැනදී සරත් ෆොන්සේකා මහත්තයටත් වර්තමාන ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වාටත් චෝදනා එල්ල කරනවා. ඔබත් එම චෝදනා පිළිගන්නවද?

නැතුව. එයානේ යන එන තැන් කිව්වේ. මේ මන්දිර අල්ලන්න තැන් කිව්වේ ඒ අය තමා. ත්‍රිවිධ හමුදාව ගැන සැකයක් තියෙනවා ඒ මොහොතේ. මොකද ඒ වෙලාවේ ඒ අය හැසිරීම ගැන සැකයි. අන්න ඒකයි විශේෂ ජනාධිපති කොමිසමක් දාන්න ඕන. දාලා දඬුවම් දෙන්න ඕන.

• ඔබලාගේ කඳවුර හැමදාම රාජ්‍ය දේපළ විකිණීම එරෙහිව හිටිය කණ්ඩායමක්. ඒත් අයි.එම්.එෆ්. ප්‍රතිපත්ති එක්ක රාජ්‍ය දේපල විකුණන තැනට පත්වෙලා. එකඟද?

පවුලක වුණත් ණයවෙලා හිරවුණොත් ගෙදර තියෙන දෙයක් හරි විකුණලා දරුවන්ට කන්න දෙන්න වෙනවා. ඒ දරුවෝ වෙනුවෙන් කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ රටේ ආර්ථිකය නංවන්න අපේ ප්‍රතිපත්තිවලට එකඟ නොවුණත් ඇතැම් කාරණාවලට එකඟ වෙන්න වෙනවා.

• දැන් කවුද පොදු අපේක්ෂකයා?

ජනාධිපතිවරණයක් නැතුව පොදු අපේක්ෂකයෙක් තීන්දු කරන්න බෑනේ. පක්ෂයේ ආශිර්වාදයෙන් පත්කරන ඕනම කෙනෙක්ට අපි උදව් කරනවා.

♦ ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00