2023 අප්‍රේල් 30 වන ඉරිදා

ලංකාවේ මීළඟ ආර්ථික ප්‍රමුඛතා මහ බැංකුව කියයි

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 88

ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසර සඳහා වන වාර්ෂික වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය බ්‍රහස්පතින්දා (27) බාර දුන්නේය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර සහ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය එස්. ජයවීර සහ ආචාර්ය එල්.ආර්.සී. පත්බේරිය මහත්වරුද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මහ බැංකුව ප්‍රකාශ කරන්නේ 2022 වසර නිදහසින් පසු උදා වූ ''ඉතාම භාරදූර'' වසර බවය. ඉදිරි කාලයේදී යළිත් මෙවැනි අර්බුද මගහරවා ගැනීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු ලැයිස්තුවක්ද ඔවුන් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අවස්ථාවේදී සිදුකළ යුතු අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවත්, මහ බැංකුවත් සෙසු සියලු වගකිව යුතු අංශත් සහාය ලබාදිය යුතු බවද එයින් අවධාරණය කර තිබේ. හොඳින් සම්බන්ධීකරණය කෙරුණු ප්‍රතිපත්ති නිසි ලෙස කාලානුරෑපව ක්‍රියාත්මක කිරීමෙන් යළිත් අර්බුදයක් ඇතිවීම වළක්වා ගත හැකි යැයිද එය සිදු කිරීමට අසමත් වුවහොත් යළි යළිත් විස්තීර්ණ ණය ලබා ගැනීමටත් ජාත්‍යන්තරයෙන් ණය ගැනීමේ විෂම චක්‍රයට හසුවීමටත් සිදුවනු ඇති බවටද අනතුරු අඟවා තිබේ. එසේ වුවහොත් දීර්ඝකාලීනව ලබාගත හැකි ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය පිළිබඳ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවනු ඇති බවද කියයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම මූල්‍ය අංශයේ අභියෝගවලට ලක්විය හැකි බවද එය ආණ්ඩුව සහ මහ බැංකුව කල්තබාම හඳුනාගෙන මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය රුකගැනීමට ක්‍රියාකළ යුතු බවද සඳහන් කර තිබේ. දත්ත මත පදනම් වන ප්‍රතිපත්ති රාමුවක් සැකසීම අත්‍යාවශ්‍ය බවද එයින් පෙන්වා දී ඇත.

- ඩේලි එෆ්.ටී.