2023 අප්‍රේල් 23 වන ඉරිදා

ජාතික ආණ්ඩු යෝජනාව පක්ෂ කඩන කොන්ත්‍රාත් එකක්

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 54

සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී - තිස්ස අත්තනායක

  • රට ගොඩගන්න ජාතික වැඩපිළිවෙළක් ආණ්ඩුවට නෑ
  • සජබ ඇතුළේ ගැටුම් ගැන කියන කතා පට්ටපල් බොරු
  • ආර්ථිකයේ කොන්ද කැඩූ කල්ලියක් එක්ක රට ගොඩගන්න ප්ලෑන් කිරීමත් විහිළුවක්
  • රාජ්‍ය ආදායම වැඩිකර ගන්න කියලා අයි.එම්.එෆ්. එක කිව්වාම ආණ්ඩුව බදු නැග්ගුවා
  • ආණ්ඩුව කරන වංචා - දූෂණවලට අපට ගෑවෙන්න බෑ
  • අපෙන් ආණ්ඩුවට යන්න කවුරුවත් නැහැ
  • මේක මැති ඇමැතිකම් බෙදාගන්න වෙලාවක්ද?
  • මාලිමාවත් එක්ක අපට මොන සටනක්ද?

මේ වෙනකොට රටේ ලොකුම කතාබහ තිබෙන්නේ ආයේ ජාතික ආණ්ඩු වැඩේ ගැන. මේකට සියලු පක්ෂ සහයෝගය දෙයි කියලා ආණ්ඩුවෙන් කියනවා. ඇත්තටම සජබෙ ජාතික ආණ්ඩු වැඩේට සහය දෙනවද? මේ වනවිට ආරාධනා ලැබිලා තිබෙනවාද?

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය අපට පිළිගන්න බෑ. ආණ්ඩුව හදන්නේ මේ ගැන කතා කර කර අනෙක් දේශපාලන ව්‍යාපාර විනාශ කරන්න යන්නේ. මීට කලිනුත් ජාතික ආණ්ඩු, සමගි ආණ්ඩු තිබුණා. ඒ එකකින්වත් ජාතික ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපි කියන්නේ රට ගොඩනගන පොදු න්‍යාය පත්‍රයක් හැදුවා නම් අපිට කොහේ ඉඳන් හරි හිටගෙන එකඟ වෙන්න තිබුණා. එහෙම හැකියාවක් තිබෙනකොට ආණ්ඩුව මේ මොකක්ද කරන්නේ කියලා අපිට පැහැදිලියි. ඒ නිසා ආණ්ඩුව මේ කියන විකාරවලට අපි එකඟ නෑ.

ජාතික ආණ්ඩු සංකල්පයකට ඔබලා විරුද්ධද?

ඔව්. අපි විරුද්ධයි. රට බංකොලොත් කරපු කණ්ඩායමක් එක්ක මොන ජාතික ආණ්ඩුද? ඒක සත්‍යවාදී යෝජනාවක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම පක්ෂ කඩන්න හදන කොන්ත්‍රාත්තුවක්.

ඇයි ඔබලා මේ ජාතික ආණ්ඩු සංකල්පයකට එකඟ නොවෙන්නේ?

මෙහි ප්‍රධානම කාරණය තමයි රට බංකොලොත් කරපු කණ්ඩායමක් එක්ක එකට වාඩිවෙන්න අපිට හැකියාවක් නැහැ. දෙක රට ගොඩනගන්න ආණ්ඩුව විසින් ඉදිරිපත් කරලා තිබෙන ජාතික වැඩපිළිවෙළ මොකක්ද කියලා පැහැදිලි නැහැ. එහෙම වැඩපිළිවෙළකුත් නැහැ. ප්‍රධාන වශයෙන් දූෂණය වංචාව නැති කරන්න මේ පාලකයා විසින් ඉදිරිපත් කරපු වැඩපිළිවෙළක් අපිට පේන්න නැහැ. විශේෂයෙන් රටේ ආර්ථිකය ගොඩනගන, ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරන වැඩපිළිවෙළක් සම්බන්ධව අපිට පේන්න කිසිම දෙයක් නැහැ.

හැබැයි ආණ්ඩුව තීරණය කරලා තිබෙනවා ජාතික ආණ්ඩුවකට එකඟ නොවුණොත් පක්ෂවල පිරිස අරගෙන ජාතික ආණ්ඩුව හදන්න. එහෙම කරන්න පුළුවන්ද?

ඒකෙන්ම පේනවා ජාතික ආණ්ඩු සංකල්පයේ මූලික අරමුණ මොකක්ද කියන එක. විවිධ කතා කියලා පක්ෂ බය කරන්න හදන්නේ. අපි ඒකට බය නැහැ. හේතුව අපි දන්නවා රටේ ජනතාව කොතැනද හිටගෙන ඉන්නේ කියලා. ජනතාව ඉන්නේ ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ප්‍රතික්ෂේප කරන තැනක. මම අහන්නේ ඇයි මොකටද මේ වෙලාවේ ජනතාවට බර පටවලා මැති ඇමැතිකම් බෙදා ගන්නේ? එහෙම නැතිව ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕන ඊට වඩා හොඳ යෝජනා අපිට ඉදිරිපත් කරන්න. එහෙම නොකර ආණ්ඩුව කරන හැම දූෂණ වංචාවකටම අපිටත් ගෑවෙන්න කියනවා නම් අපි කොහොමද ඒකට එකඟ වෙන්නේ. 

ඔබ ඔහොම කිව්වාට ඔබේ පක්ෂයේ සමහර සාමාජිකයෝ එළිපිට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අගය කරනවා?

ඒවා පක්ෂයේ අදහස් නෙවේ. ඒවා එක් කෙනෙක් දෙන්නෙකුගේ පෞද්ගලික අදහස්. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායම දරන මතය තමයි පක්ෂයේ මතය වෙන්නේ. අනෙක් පක්ෂවලත් මේ තත්ත්වය තිබෙනවා. කොහොම වුණත් එක එක අය කියන දේවල්වලට පක්ෂයේ මතය කියලා කියන්න බැහැ. මේ ආණ්ඩුව තමයි මේ රට මේ තැනට ගෙනාවේ. රට තියෙන තැනිනුත් පල්ලෙහාට දැම්මා. ඒ කණ්ඩායම මේ රට ගොඩගත්තා කියලා කියන්න බැහැ. 

මේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ආධාර දෙන්න පටන් අරන් තියෙන්නේ. ආණ්ඩුව විසින් ගන්න යම් යම් තීන්දු ඔබලා විවේචනය කරනවා. හැබැයි ඔබලාත් බලයේ හිටියා නම් ඔය ටිකම නේද කරන්නේ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනුවකට ගිය එක ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. අපි තමයි මුලින්ම කිව්වේ මේ රජයට අයි.එම්.එෆ්. යන්න කියලා. හැබැයි මම කියන්නේ ආණ්ඩුවට තිබුණා සමහර එකඟතා එක්ක සාකච්ඡා කරලා ලිහිල් ප්‍රතිපත්තියකට යන්න. මොකද සමහර ප්‍රතිපත්ති ජනතාවට හානි වෙනවා නම් සමබර අදහසකට ගිහිල්ලා ඒවා වෙනස් කරගන්න තිබුණා. අයි.එම්.එෆ්. එක කිව්වා රාජ්‍ය ආදායම වැඩිකර ගන්න කියලා. කිව්ව ගමන් ආණ්ඩුව කළේ බදු ආදායම වැඩිකරපු එක. නමුත් ඒකෙන් ජනතාව පීඩාවට පත්වෙච්ච එක. ආණ්ඩුවට තිබුණා රාජ්‍ය ආදායම වෙනුවෙන් වෙන වැඩපිළිවෙළක් හදාගන්න. ජනතාවට බර පටවන කිසිම දේකට අපිට මේ වෙලාවේ එකඟ වෙන්න බැහැ. 

ඔබ කියන්නේ මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක නෑ කියලද?

පැහැදිලිවම නැහැ. නාස්තිය දූෂණය නතර කරන්න කිසිම වුවමනාවක් ආණ්ඩුවට නැහැ. ආණ්ඩුවේ 2048 සැලැස්ම වෙන්නේ 2018 තිබුණ තත්ත්වෙටමයි. ආණ්ඩුවට තියෙන්නෙ ඕන ඊට වඩා එහා සැලැස්මක්. 

අපි දන්නවා ඔබගේ පක්ෂයේ සමහර අය ආණ්ඩුවට එකතු වෙන්න මේ වෙනකොට සූදානමින් ඉන්නේ කියලා. එහෙම ඉන්නවාද කණ්ඩායමක්?

මෙහෙමයි. සමගි ජන බලවේගයේ කණ්ඩායමක් හැටියට ආණ්ඩුවට එකතු වෙන්න කවුරුත් නැහැයි කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. සමහරවිට එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒවා කටකතා වෙන්න පුළුවන්. මොකද ආණ්ඩුව එක එක බොරු ප්‍රචාරය කරනවා. ඒ නිසා ඔය කතා හැමදේම ඇත්ත නෙමෙයි. මොකද මීට කලින් කිව්වා 40ක් ආණ්ඩුවට එකතු වෙනවා කියලා. මම අහන්නේ ආණ්ඩුවට බහුතරයක් ඉන්නකොට ඇයි ආණ්ඩුව තවත් කට්ටිය ගන්න උත්සාහ කරන්නේ කියලා. බහුතරය නෙවෙයි දැන් ඒ ගොල්ලන්ට ඕන තුනෙන් දෙක. රටට හොඳ දෙයක් කරන්න ඕන නම් මිනිස්සුන්ට වරදාන වරප්‍රසාද දෙන්න ඕන නැහැ. ඇත්තටම මෙතැන ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා ඇත්තේ ජනාධිපතිවරණයට කලින් යන්න. මොකද එතුමාට ව්‍යවස්ථාමය අවුලක් තිබෙනවාද කියලා සැකයක් තිබෙනවා. අපි කියන්නේ ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි ඒකට උදව් කරන්නම්. හැබැයි අපේ මන්ත්‍රීවරු අදින්න එපා. මොකද අතීතයේ කළු පැල්ලම් තවම තිබෙනවා. 

ඔබ රනිල් වික්‍රමසිංහ මහත්තයා සමඟ ළඟින් වැඩකරපු නිසා ඔබට ආරාධනා කළේ නැද්ද ආණ්ඩුවට එන්න?

මට පෞද්ගලිකව නම් එහෙම කිසිම ආරාධනාවක් කළේ නැහැ. පොදුවේ පිරිසට ආරාධනා කළහම ඒකත් ඉතින් මට බලපානවා. කොහොම කළත් මම සජිත් ප්‍රේමදාස මහත්තයා අත්හරින්නේ නැහැ. මොකද දැන් මගේ අදහසක් නැහැ වෙන කා වෙනුවෙන්වත් වැඩ කරන්න. මම සජිත් ප්‍රේමදාස සමග ඉන්නේ. අනෙත් එක මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම පක්ෂය සජබය කියලා මම විශ්වාස කරනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබ දන්නා කෙනෙක්. එතුමා ඒ යන ගමන ගැන ඔබ දකින්නේ මොන වගේ අදහසක්ද?

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩ ඔහොම තමයි. මොකද හේතුව එතුමා පත් කරලා තියෙන්නේ පොහොට්ටුවේ අය විසින්. ඒ නිසා මේක දීර්ඝකාලීනව යන්න පුළුවන් වැඩක් නෙමෙයි. 

ඔබලා විශාල වශයෙන් ඡන්දයට සටනක් දුන්නා. නමුත් පළාත් පාලන ඡන්දය තිබුණේ නැහැ. දැන් ඒ සටන අත්හැරලාද?

අපි ඡන්දය කල් තැබීම සම්බන්ධව සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි ඒ නිසා ආණ්ඩුවට කියනවා ඡන්ද කල් දාපු කිසිම ආණ්ඩුවක් දිණුවේ නැහැ පැරදුණා මිසක්. ඒ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන කිසිම ආණ්ඩුවකට පැවැත්මක් නැහැ. අපි මේ සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාවත් දැනුවත් කරමින් යන්නේ. 

ඔබගේ නායකවරයාත් එක්ක විශාල වශයෙන් පක්ෂයේ පිරිස් ගැටුම් ඇති කර ගනිමින් යන්නේ. මොකක්ද මේකට හේතුව ඇයි පක්ෂයේ අය මෙහෙම ගැටෙන්නේ?

ඇත්තටම හැම පක්ෂයකම ඔහොම තමයි. හැබැයි ඒ නිදහස හැම පක්ෂයකම නැහැ. සමගි ජන බලවේගය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින පක්ෂයක්. අපි අපේ පක්ෂයේ ඕනෑම කෙනෙකුට අපිව විවේචනය කිරීමේ අයිතිය දීලා තිබෙනවා. ඒවා අහන්නත් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා නිතරම ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නේ. ඒ නිසා මාධ්‍යයෙන් පෙන්වන සමහර දේවල් පට්ටපල් බොරු. 

ඔබලත් එක්සත් ජාතික පක්ෂයත් එක්වීම සම්බන්ධයෙන් යම් අදහසක ඉන්නවාද?

එහෙම අදහසක් නෑ. මොකද සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පිරිස ඇවිල්ලා හදාගත්ත තැනක්. ඒ පක්ෂය වටා දැන් එකතුවෙලා ඉන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙලා ඉන්න පාක්ෂිකයෝ.

ඔබලත් මාලිමාවත් අතර පසුගිය දවස්වල විශාල සටනක් තිබුණා. දැන් කවුද ඒ සටනින් දිනුම්?

ඇත්තටම එහෙම සටනක් අපිට නම් තිබුණේ නැහැ. අපි එහෙම දෙයක් දන්නෙත් නැහැ. අපි පහුගිය කාලය පුරාම ජනතාව හම්බවෙන්න ගියේ ඡන්දයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. අපි කොහොමත් බිම් මට්ටමේ ඉඳගෙන ජනතාව පෙළ ගස්වමින් හිටියේ. සමහර පක්ෂ ජනතාව අතර හදිසියේම දුවන්න ගත්තේ ඡන්ද බලාපොරොත්තුවෙන්. ලොකු ලොකු හීන දකිමින්. ඔවුන් ජනතාව අතරට බලහත්කාරයෙන් ළං වෙන්න ගියාට ජනතාව වැඩියෙන්ම ළං වෙලා හිටියේ සමගි ජන බලවේගයත් එක්ක. කොහොමත් සමගි ජනබලවේගය කියන්නේ විශාල ඡන්ද පදනමක් තිබෙන පක්ෂයක්. ඒ නිසා අපිට කා එක්කවත් තරගයක් නැහැ. අපිට තියෙන්නේ ජනතාවට පොරොන්දු වුණ ජයග්‍රහණය සහ බලාපොරොත්තු වුණ ලබාදෙන්න. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. 

ඔබලාගේ ආණ්ඩුව ආවොත් මේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න මේ වර්තමානයේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට වඩා වෙනස් වැඩපිළිවෙළක් තිබෙනවාද?

පැහැදිලිව ඔව්. මේ තියෙන්නේ ජනතාවට පීඩාකරන ආර්ථික සැලැස්මක්. අපි ඒකට කොහෙත්ම එකඟ නැහැ. ජනතාව මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ නිදහස් ජීවිතයක්. නමුත් ජනතාව බරපතල විදිහට ජීවන බරින් පීඩා විඳිමින් ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයාට ජාත්‍යන්තරව තිබෙන පිළිගැනීමත් සමඟ අපිට විශාල වැඩ කොටසකට යෑමේ හැකියාව තිබෙනවා. අපි මේ වෙද්දී ඒවා ක්‍රියාත්මක කරමින් යනවා. අපි බලයට ආපු ගමන් ඒ අවශ්‍ය වැඩපිළිවෙළ තහවුරු කරන්න විතරයි තියෙන්නේ. කොහොමත් වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවට තිබෙන්නේ ඉතාම අවිනිශ්චිත හැඟීමක්. මම මුලදී කිව්වා වගේම රටේ ආර්ථිකය බිඳ වට්ටපු කල්ලියක් එක්ක රටේ ආර්ථිකය ගොඩනගන්න ප්ලෑන් කරනවා නම් ඒ තරම් විහිළුවක් කොහෙවත් නැහැ. මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් හැටියට ඉන්නේ සමගි ජල බලවේගය පමණයි. 

I ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00