2023 අප්‍රේල් 09 වන ඉරිදා

ඇමැතිකම් බලාගෙන නම් ආණ්ඩුවට එන්න එපා

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 110

- පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි

♦ ගමට යන්න බැරිවුණා නොවෙයි: යන්න හේතුවක් තිබුණේ නෑ
♦ මේ ජනාධිපතිතුමාටත් මම කියන්නේ අපෙන් වැඩක් ගන්න කියලයි
♦ හෙට දවසේ අනාගතය අද දවසේ දකින නායකයා බැසිල් මහත්තයා
♦ පුංචි ඡන්දයේ ප්‍රචාරණයේදී පොහොට්ටුව තමයි ඉදිරියෙන්ම ඉන්නේ
♦ ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කෙනෙක් ඉල්ලුවේ අපියි
♦ මේ වෙලාවේ හැමෝම එකතුවෙන්න ඕනෑ
♦ ගෝඨාභය මහත්තයා ජනාධිපති හැටියට අසාර්ථක වුණා
♦ අපට ටික කාලෙකට කකුලක් පස්සට අරන් වැඩකරන්න වුණා

පහුගිය කාලයේ ඔබ වැඩිපුර දේශපාලන වේදිකාවේ පේන්න හිටියේ නැහැ. එහෙම වෙන්න හේතුව දේශපාලනය ගැන යම්කිසි කලකිරීමක්ද නැත්නම් බය නිසාද?

දේශපාලනය ගැන කලකිරීමකින්වත් දේශපාලනය ගැන බයකින්වත් නෙවේ. අපි ඇත්තටම පහුගිය කාලයේ තිබුණ වාතාවරණය පිළිගන්න ඕන. සමාජ දේශපාලන ආර්ථික වශයෙන් කඩා වැටීමක් තිබුණේ. ඒ වෙලාවේ ජනතාව ඉදිරියට ඇවිල්ලා කෑ කෝ ගහනවාට වඩා අපිට අභ්‍යන්තරික වශයෙන් වැඩකොටසක් තිබුණා මේ රට කඩා නොවැටී රට ඉදිරියට ගෙන යන්න. අපට දේශපාලනය කරන්න පුළුවන් ඕනෑ වෙලාවක. විවේචනය කරන්න පුළුවන් ඕනෑ වෙලාවක. අද අස්ථාවර නොවී රට අරගෙන යන එක තමයි අභියෝගය. ඒක අපේ වගකීම. ඒ නිසයි අපි නිශ්ශබ්දව වැඩ කළේ. ඒක පොඩි දේශපාලන විරාමයක්. 

පසුගිය අරගලයෙන් පස්සේ පොහොට්ටුවේ අයට එළියේ දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නැති නිසයි එළියට එන්නේ නැතිව හිටියේ යැයි කිව්වොත්...?

පොහොට්ටුව විතරක් නෙවෙයි, රටේ සමස්ථ දේශපාලන පක්ෂම 75 වසරක දේශපාලන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමයි දරුණු ප්‍රහාර එල්ල වුණේ. ඒ වෙලාවේ පවුල්වල නිවෙස්වල ඇතිවුණු ආර්ථික අර්බුදය හමුවේ ඒ සියල්ලටම වගකිවයුත්තන් හැටියට දේශපාලනඥයන් කේන්ද්‍ර වුණු නිසා සියලුම පක්ෂවලට විරුද්ධව ජනතාව විරෝධය පෑවා. ඒ නිසා ගමේ ශාඛා සමිතියේ ඉඳලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා දක්වා කකුලක් පස්සට තියලා වැඩ කරන්න සිදු වුණා. 

පොහොට්ටුවට ගමට යන්න බැරිව ගියා නේද?

එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ ගමට යන්න තරම් හේතුවක් තිබුණේත් නැහැ. අපට තිබුණේ රටේ ප්‍රශ්න බලන්න විතරයි. නමුත් පළාත් පාලන මැතිවරණයත් එක්ක ගත්තහම අපි තමයි වැඩියෙන්ම ප්‍රචාරණයෙන් ඉස්සරහින් ඉන්නේ. අපි මේ වෙද්දී දිස්ත්‍රික්ක පහක දේශපාලන ක්‍රියාකාරකම් පටන් අරගෙන ඉවරයි. 

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයෝ පවා හොයා ගන්න බැරිවුණා නේද?

අපෝ නෑ. නියමිත කාලයටත් කලින් අපේ අපේක්ෂක ලැයිස්තු මැතිවරණ කොමිසමට බාරදුන්නා. 

දැන් ඔබ කියනවා එහෙම ගමට යන්න බයක් තිබුණේ නැහැ කියලා. ඇයි ඔබලාගේ වේදිකාවල කියන්නේ දැන් බය වෙන්න එපා දැන් බය නැතිව වැඩ කරන්න කියලා?

අපේ පාක්ෂිකයා කියන්නේ උඩ තත්ත්වය ගැන නිතර අවධානයෙන් ඉන්න රහස් තොරතුරු එන පිරිසක් නෙමෙයි. ඒ ගොල්ලෝ බලන්නේ තමන්ගේ දේශපාලන නායකයන් කරන කියන දේවලුයි. ඒ නිසා පසුගිය කාලයේ ඇතිවුණ සිදුවීම් එක්ක ඒ අය යම් මන්දගාමී ස්වභාවයක් ගත්තා. පාක්ෂිකයන්ට තිබෙන්නේ අපේ ජයග්‍රහණය සම්බන්ධව කුතුහලයක්. අපි දිනයිද පරදියිද කියලා. අන්න ඒ නිසයි අපි අපේ පාක්ෂිකයාට කිව්වේ බය නැතිව දේශපාලනය කරන්න කියලා. 

ඔබ තාම පිළිගන්නවාද 2019 වසරේ පොහොට්ටුවට ලැබුණු හැටනම ලක්ෂයක ජනවරම තවම ඒ ලෙසින්ම තිබෙනවා කියලා?

මෙහෙමයි. අපිට ඒක සංඛ්‍යාත්මකව කියන්න බැහැ. එහෙත් හැටනම ලක්ෂයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුවෙලා කියලා අපි පිළිගන්නවා. ඒක සාමාන්‍යයෙන් ආණ්ඩුවක් කරන කොට හැටියක්. ධනාත්මක දේවල්වල ධනාත්මක ප්‍රතිචාරයට වඩා ඍණාත්මක දේවල්වල ඍණාත්මක ප්‍රතිචාරය ඉහළයි. කොහොම වුණත් හැටනම ලක්ෂයක ජනවරම ඒ ආකාරයෙන්ම නැතිවුණත් දේශපාලන වශයෙන් ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය අපි සතුව තිබෙනවා. 

මේ හැටනම ලක්ෂය අහිමි වෙන්න මොකද්ද සාධකය?

ඇත්තටම හැටනම ලක්ෂයේ ජනතාව ඒ වෙලාවේ ඡන්දය දුන්නේ මහින්ද මහත්මයා විසින් රටට ලබාදුන් ජයග්‍රහණත් ඒ වගේම යහපාලන ආණ්ඩුවට බලය ගිහින් රටට වුණ විනාශයත් යන දෙක නිසා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා වගේ චරිත ඕන වෙලා තිබුණා. ඒ වෙලාවේ මහින්ද මහත්තයාට ඉල්ලන්න බැරි තත්ත්වයක් තිබුණ නිසා තමයි හිටපු ආරක්ෂක ලේකම්වරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරපු සේවයත් එක්ක අපි එතුමාව ජනාධිපති අපේක්ෂකයා හැටියට පිළිගත්තේ. සාමාන්‍යයෙන් සමහර තෝරා ගැනීම් හරිවෙන්නත් පුළුවන් සමහර තෝරාගැනීම් වැරුදි වෙන්නත් පුළුවන්. ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරයෙක් හැටියට සාර්ථක වුණේ නැහැ. මොකද ඔහු නායකයෙක් හැටියට කටයුතු කළේ නැහැ. අන්න ඒ තත්ත්වයත් එක්ක තමයි පසුගිය කාලයේ අර වගේ තත්ත්වයක් රටේ ඇතිවුණේ. 

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා හැටියට තෝරා නොගත්තා නම් වෙන අපේක්ෂකයකුත් හිටියේ නැහැ නේද ඒ සඳහා තෝරාගන්න?

ඒ තෝරාගැනීම් තැන්වල මම හිටියේ නැහැ. හැබැයි අපි ගිය රුස්වීම්වල හා සාකච්ඡාවලදී කිව්වා අපිට රාජපක්ෂ කෙනෙක් ඕනෙයි කියලා. මොකද ඒ නමට තමයි ඒ වෙලාවේ රුල්ල සහ ගැම්ම තිබුණේ. ඒ නිසා අපි කිව්වා රාජපක්ෂ පවුලේ ගැලපෙන කෙනෙක් අපිට දෙන්න කියලා ඒ සඳහා. ඒ අනුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපිට ලබා දුන්නේ. 

ඒ රැල්ල තිබුණාට මේ වෙද්දි රාජපක්ෂවරුන්ගේ නාමය සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධයක් තිබෙනවා නේද?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලක්ෂ හැටනමයක් ඡන්දේ ගන්නකොට ඔහුට විරුද්ධව ලක්ෂ 55ක ඡන්ද ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මහත්තයා ගත්තා. ඒ වගේම අනුර කුමාර මහත්තයත් ගත්තා. ඉතින් ඔය කණ්ඩායම් අතරින් කණ්ඩායමක් රාජපක්ෂවරුන්ට විරුද්ධව තවමත් තියෙනවා ඉතින්. මම හිතන්නේ නැහැ ඒක සියලුම දෙනා කියලා. 

අපි දන්නවා පොහොට්ටුවේ සමහර මැති ඇමැතිවරු ප්‍රසිද්ධියේ දැන් කියනවා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. මේක ඒ අයගේ පෞද්ගලික අදහසක්ද නැත්නම් පොහොට්ටුවේ මතයද?

බොහොම පැහැදිලිව වගකීමෙන් කියනවා මේ මොහොත වෙනකොටත් කිසිම ආකාරයකින් පක්ෂයේ අභ්‍යන්තරය තුළ ජනාධිපතිවරණයක් ගැන සාකච්ඡා වෙලා නැහැ. ජනාධිපති අපේක්ෂකයෙක් ගැන කොහොමත් එතැන කතාවුණේ නැහැ. ඒ වගේම ඒ වෙලාවේ තිබුණ රටේ තත්ත්වයත් එක්ක හොඳම විකල්පය හැටියට තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්කර ගත්තේ. ඒ පත්කරපු දේ නිසා එතුමා මේ වෙනකොට ඉතාම හොඳින් රට පාලනය කරමින් යනවා. ඉතින් අපි එතුමත් එක්ක සහයෝගයෙන් රටේ තිබෙන තත්ත්වයත් අවශ්‍ය වැඩපිළිවෙළත් සාකච්ඡා කරමින් ඉදිරියට යනවා. දැනට එතුමා ඉතා සාර්ථකයි. 

පොහොට්ටුවේ අය නිතරම කෙලෙහිගුණ ගැන කතා කරන අය. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඔබලාට දේශපාලනය කරන්න පුළුවන් තත්ත්වයක් හදලා දුන්න නිසා ඊළඟ ජනාධිපතිවරණයේදී කෙලෙහිගුණ සලකන්න වෙයි නේද?

අපිට දේශපාලන වේදිකාවේදී දේශපාලන ඡන්ද ලබාගන්න ඔය කෙලෙහිගුණ ගැන කතා කරන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ජනාධිපති. එතුමත් එක්ක කෙලෙහිගුණ ගැන කතා කරන්න වෙලාවක් නෙමෙයි. එතුමාට දුන්න වගකීම එතුමා සාර්ථකව ඉෂ්ඨ කරන්න ඕන. අපිට දුන්න වගකීමත් අපි සාර්ථකව ඉටු කරන්න ඕන. එතුමා අපේක්ෂකයෙක් හැටියට නෙමෙයි මම කියන්නේ කවදා හරි එතුමා විසින් මේ රට නිවැරුදි මාර්ගයකට අරගෙන රට යහපත් තත්ත්යකට පත් කළොත් ජනතාව එතුමාව ජනාධිපති අපේක්ෂකයා හැටියට පිළිගනීවි. එහෙම නැතිවුණොත් එතුමා පොහොට්ටුව එක්ක නෙමෙයි මොන කණ්ඩායම එක්ක ඉල්ලුවත් අසාර්ථක නම් එතුමාට ජනතාව කැමැති වෙන එකක් නැහැ.

ඔබ ඡන්දය දෙන්නේ කාටද?

මම නම් කියන්නේ මම විතරක් නෙමෙයි රටේ ජනතාව පවා පුද්ගලයා දිහා නොබලා ඉස්සරහට ඡන්දය දෙන්නේ ඒ අපේක්ෂකයා ගෙනෙන ප්‍රතිපත්තිවලට. අපේ දේශපාලන අයිතිය හැටියට මෙන්න මේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න කිව්වත් ජනතාව ඉස්සරට වඩා බුද්ධිමත්ව ඉස්සරහට ඡන්දය දේවි. 

හැබැයි මොන දේ කිව්වත් තිස්සගේ හිතේ ඉන්නේ ඊළඟ නායකයා බැසිල් රාජපක්ෂ නේද?

බැසිල් රාජපක්ෂ මහත්තයාට පහුගිය කාලයේ ඉතාම දරුණු ලෙස පෞද්ගලිකව මඩ ප්‍රහාර එල්ල කළා. හැබැයි එතුමාට ඒ කරන චෝදනා සම්බන්ධව මම විභාග කරන්න යන්නේ නැහැ. මොකද මම විභාග කරන්න ඒ ගැන දන්නේ නැහැ. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ දුර දක්නා නායකයෙක්. ඉතාම අසීරු මොහොතවලදී පවා වැඩකටයුතු කරපු නායකයෙක්. වර්තමාන ජනාධිපතිවරයා අයි.එම්.එෆ්. එක ලබාගන්න යනකොට අයි.එම්.එෆ්. එකේ ආරම්භක වැඩකටයුතු කළේ බැසිල් රාජපක්ෂ මහත්තයා. ඒක හරියට ක්‍රිකට් මැච් එකක් වගේ. අන්තිම ක්‍රීඩකයා හතරේ පහරක් ගහලා මැච් එක දින්නා වුණාට මැච් එක දිනන තැනට ආරම්භ කළේ පළවෙනියට සෙල්ලම් කළ ක්‍රීඩකයා. හෙට දවසේ අනාගතය අද දවසේ දකින නායකයා හැටියටයි මම බැසිල් රාජපක්ෂ මහත්තයාව දකින්නේ.

ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයට සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහත්තයා?

බැසිල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයාද නැද්ද කියලා මම වෙලාවේ කතාකරන්න කැමැති නැහැ. හැබැයි අපේක්ෂකයා කවුද කියලා පක්ෂය ඒ වෙලාවට තීරණය කරයි. 

අලුත් සන්ධානයක් හදන්නත් සාකච්ඡාවක් තියෙනවා නේද? ඒ ගැන මොනවගේ අදහසක්ද පක්ෂය ඇතුලේ තියෙන්නේ?

දැනට එහෙම සාකච්ඡාවක් නැහැ.

ඔබතුමාලාට කාලයක් ප්‍රධාන හතුරා වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැන් හොඳ කියන්න වෙලා තියෙන්නෙත් එතුමා ගැන. එහෙම කියද්දි ලැජ්ජ හිතෙන්නේ නැද්ද?

ඔව් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධයෙන් අපි කිව්ව දේවල් එක්ක එතුමත් එක්ක කතාබහ කරන කොට අපිට පොඩි ලැජ්ජාවක් තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාටත් ලැජ්ජාවක් ඇති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලය කාලේ ඒ කරපු විවේචන සම්බන්ධයෙන්. හැබැයි කාලෝචිතව ඒ දේශපාලන ගැටුම වෙනස් වෙනවා. ඒ ඒ වාතාවරණය අනුව ඒ ඒ විවේචන තිබෙනවා. හැබැයි ඊට වඩා හාත්පසින්ම වෙනස් වාතාවරණයක් තමයි අද තිබෙන්නේ. ඒ නිසා කුලල් කා ගන්න බැහැ. හැබැයි අපි අනාගතයේදී දේශපාලන වශයෙන් විවේචන තිබෙන්න පුළුවන්. ඒ නිසයි හැමෝටම අපි එකතු වෙන්න කියන්නේ. 

ඔබ දැන් ජවිපෙට පොඩ්ඩක් ලෙංගතුයි නේද? රැල්ල නිසාද?

නැහැ. කිසිම ලෙංගතු කමක් නෙමෙයි මේ වෙලාවේ හැමෝම එකතු වෙන්න ඕන. ඒ නැතුව ඔවුන්ගේ විවේචන සම්බන්ධයෙන් මගේ තවම විවේචනයක් තිබෙනවා. මොකද ඔවුන් හැම වැරුද්දම හොයනවා මිසක් රට හදන්න එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ ඔවුන්ට දැන් එකතු වෙන්න කියලා. අපිත් 88, 89 අමතක කළා නම් ඔවුන්ටත් පුළුවන් වෙන්න ඕන අතීතය අමතක කරලා රට වෙනුවෙන් වැඩ කරන්න.

සජබෙ පිරිසක් දැන් ආණ්ඩුවට එනවා නේද?

ඕනෑම කෙනෙක් ආවට කමක් නැහැ. හැබැයි මම කියන්නේ පරණ ඇද වෙච්චා කෙළින් කරගන්න පාත් වෙච්ච උස්සන්න වගේ නම් ඇමැතිකම් ගන්න බලාගෙන එන්න එපා. මොකද එහෙම වාසි ගන්න ඇමැතිකම් අවශ්‍ය නැහැ. දැන් ඕන වැඩක් කරන්න පුළුවන් පිරිසක්. ඒ පිරිසේ සාමාජිකයෙක් වෙන්න කියලයි මම ආරාධනා කරන්නේ.

තිස්ස කුට්ටිආරච්චිගෙන් වැඩක් ගත්තේම නැහැ නේද?

ඇත්තටම මට ඇමැති පට්ටම් වැඩක් නැහැ. මට ඕන රට වෙනුවෙන් වැඩක්  කරන්න. අපෙන් හිටි අය වැඩක් ගත්තේත් නැහැ. මම කියන්නේ වර්තමාන ජනාධිපතිතුමාටත් අපෙන් වැඩක් ගන්න කියලයි.

I ගයාන් ගාල්ලගේ