2023 මාර්තු 26 වන ඉරිදා

කට අරින්න පෙර සිතා නොබැලූ ලංකාවේ ඇමැතිලා

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 05:59 79

ලංකාවෙ සමහර මැති ඇමැතිලා කට වරද්දා ගැනීම සම්බන්ධයෙන් කප් ගසා සිටිති. බොහෝ විට මෙය සිදුවන්නේ රට ඇතුළෙදීය. එහෙත් එතෙර සම්බන්ධ කටයුතුවලදීත් ගමන්වලදීත් එහෙම කට වරද්දා ගැනීම් සිදු කරන මැති ඇමැතිලා සිටින බවද පෙනෙන්නට තිබේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දුත් විදේශ ඇමැති අලි සබ්‍රිත් මෑතකදී කළ ප්‍රකාශ දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ අසල්වැසි දෙරටක් වන මාලදිවයින සහ ඉන්දියාව යන දෙරටේම කැළඹීමක් ඇති කිරීම ආසන්නම සිදුවීම් වෙයි.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ මාලදිවයින යනු මුහුද හැර වෙනත් යමක් සංචාරකයන් සඳහා නොමැති රටක් බවය. මේ නිසා සංචාරකයන් පැමිණිය යුත්තේ මාලදිවයිනට නොව ශ්‍රී ලංකාවට බවද ඔහු කියා තිබිණි.
මේ ප්‍රකාශය හේතුවෙන් හරීන් දැඩි දෝෂාරෝපණයට ලක්වූයේ මාලදිවයින් බලධාරින්ගෙන් පමණක් නොවේ. මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පිරිස්ද විමසා තිබුණේ අපේ රටේ සංචාරක ව්‍යාපාරය භාරව සිටින්නේ මෙහෙම පුද්ගලයකු ද කියාය.

හරීන් අමාත්‍යවරයා පසුව කියා තිබුණේ ''තමා කළ ප්‍රකාශය වැරදියට වාර්තා කර ඇති'' බවය. කෙසේ වුවද ඒ සඳහා සමාව ගත් ඔහු ඊළඟට පැවසූ දෙයින් තත්ත්වය තවදුරටත් ව්‍යාකූල විය. ''මම කතා කළේ බොක්කෙන්'' වැනි අදහසක් ඒ තුළ තිබිණි. කෙනකු කියා තිබුණේ අමාත්‍යවරයකු කතා කළ යුත්තේ බොක්කෙන් නොව මොළයෙන් බවය.

පසුගියදා ඉන්දියාවේ සිදු කළ සංචාරයේදී විදේශ අමාත්‍ය අලි සබ්‍රි කළ ප්‍රකාශය ඊට වඩා බරපතළ විය. අදානි සමාගම් සමූහය විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති ආයෝජන ''ආණ්ඩු - ආණ්ඩු'' අතර සිදුකෙරෙන ආකාරයේ ව්‍යාපෘතියක් බව ඔහු හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. එය බළලා මල්ලෙන් එළියට පැනීමක් වූයේ අදානි සමාගමට ඉන්දීය ආණ්ඩුවේ සහාය ලැබෙන බවට අදහසක් එයින් ප්‍රකාශ වූ බැවිනි. අදානි සමාගම සහ ඉන්දීය ආණ්ඩුව අතර ඇති සබඳතාව මේ වනවිට එරට පාර්ලිමේන්තුවේද උණුසුම් වාද විවාදවලට පවා හේතු වූ මාතෘකාවකි.

කෙසේ වුවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දිගටම දැරෑ ස්ථාවරය වූයේ අදානි සමාගමේ ශ්‍රී ලංකා ආයෝජන එම සමාගමත් ශ්‍රී ලංකා ආණ්ඩුවත් අතර පෞද්ගලික ගිවිසුමක් අනුව සිදුවන බවය.

එහෙත් මේ ප්‍රකාශයෙන් ඉන්දීය රජය පත්වූ අපහසුතාව පිළිබඳව දැනගැනීමෙන් පසුව අලි සබ්‍රි ඉන්පසුව ඉන්දියාවේ නාලිකාවකට ප්‍රකාශ කර තිබුණේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතිය බාරදීමේ තීරණයේදී ඉන්දීය ආණ්ඩුවේ භූමිකාවක් සිදු නොවූ බවය. කෙසේ වුවද අලි සබ්‍රි මහතා මේ පිළිබඳව මුලදී ''ද හින්දු'' පුවත්පතට කළ ප්‍රකාශය තවමත් එම ආයතනයේ යූටියුබ් නාලිකාවේ විකාශය සඳහා විවෘතය. එය මේ වනතුරැ ඉවත් කර නැත.

I සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00