2023 මාර්තු 26 වන ඉරිදා

ආණ්ඩුව ඉල්ලන ඕනෑම ක්‍රමේකට අපිත් සූදානම් - සුනිල් හඳුන්නෙත්ති ජාතික ජන බලවේගය

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 62

♦ ජේ.ආර්. එදා එළිපිට කළ දේ රනිල් වික්‍රමසිංහ රහසේම කරනවා
♦ අපේ පක්ෂයේ වියදම් අඩුවෙන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කරන සාමාජිකයන් නිසා
♦ සක්‍ර දෙවියො ආවත් මේ දේශපාලන සංස්කෘතිය එක්ක ආර්ථිකය හදන්න බෑ
♦ වෘත්තීය සමිතිවල හැම වැඩකදීම දේශපාලන පක්ෂ මැදිහත් වෙන්නෙ නෑ
♦ මේ වෙලාවේ ඡන්දෙ කල් දාන එක අපරාධයක්
♦ රටේ පවතින අර්බුද ආණ්ඩුවේ වාසියට හරවා ගන්නවා
♦ අඛණ්ඩ වැඩවර්ජනයකට අපි එකඟ නෑ
♦ ජනතාව පත්තු කළේ බිලියන තුනක රතිඤ්ඤා

 

අපි දැක්කා ජාතික ජන බලවේගය පුළුල් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක නිරතවෙලා හිටියා. හැබැයි දැන් ඒ මැතිවරණ ව්‍යාපාරය මන්දගාමී ස්වරූපයක් අරගෙන තියෙනවා. මේක යම් ආකාරයක පසුබැසීමක්ද, නැත්නම් උපක්‍රමයක්ද?

පැහැදිලිවම ආණ්ඩුව මේ වෙද්දි මැතිවරණය තියන්න සූදානම් නෑ කියලා අපිට හොඳටම පේනවා. මැතිවරණ කොමිසම හරහා ඡන්දය කල් දාන්න මේ වෙනකොට වැඩ කටයුතු සිද්ධවෙලා ඉවරයි. ඒ නිසා මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතතාවයක් ඇතිවෙලා තියෙනවා. මැතිවරණ ව්‍යාපාරයත් එක්ක ජනතාව උද්‍යෝගයෙන් ඉන්නවා. ඉතින් ඡන්දය කල් යාමත් එක්ක ඒ උද්‍යෝගය අඩු වෙන්න පුළුවන්. හැබැයි අපි මැතිවරණ ව්‍යාපාරයේ තවම ඉන්නවා. ඔබ එහෙම කිව්වට පහුගිය ටිකේම අපි මැතිවරණ කටයුතු සිද්ධ කළා. 

මැතිවරණයක් නැතිව තවදුරටත් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ?

මෙහෙමයි. අපිට මේ වෙද්දි සටන් දෙකක් තියෙනවා. එකක් මැතිවරණය දිනන්න ඕනෙ. අනිත් එක මැතිවරණයක් දිනාගන්න ඕනෙ. ඡන්දෙ දිනාගෙනනෙ ඡන්දයක් තියන්න වෙන්නෙ. මේක ඉතාම අසීරු ගමනක්. එදා ^83 ජේ.ආර්. ජයවර්ධන එළිපිට ඡන්ද සිතියම අකුලන බව කීවත් රනිල් වික්‍රමසිංහ ඒක ඉතාම රහසිගතව සිද්ධ කරගෙන යනවා. ඒ නිසා මේක ඉතාම අසීරු කටයුත්තක්. 

හැමෝටම දැන් ප්‍රශ්නයක් තියෙනවා, ඒ තමයි මාලිමාවට මේ වගේ ලොකු ප්‍රචාරණ කටයුත්තක් සිද්ධ කරන්න සල්ලි කොහෙන්ද කියලා?

මිනිස්සු එහෙම අහන එක සාධාරණයි. අනෙක් පක්ෂ පෝස්ටර් දාහක් ගැහුවොත් දාහම ගැහෙන්නෙ නෑ. ඒත් අපි ඒ දාහම අලවනවා. මොකද හේතුව අපේ සාමාජිකයන් වැඩ කරන්නෙ ස්වේච්ඡාවෙන්. සමහර පක්ෂවලට සල්ලි දීලා මිනිස්සු ගන්න වෙනවා. අනෙක් පක්ෂවල කන්න බොන්න දෙන ඒවා පවා වියදම් තියෙනවනෙ. අපේ පක්ෂයෙ එහෙම දෙයක් නෑ. 

හැබැයි ජවිපෙට වඩා මාලිමාව ධනවත් නේද?

ඔව්.. ඒක ඇත්ත. මොකද, ඉස්සරට වඩා ජනතාවක් අපේ පක්ෂයට ඉන්නවා. ඒ අය කනේ කරේ බඩු ටික දීලා හරි කමක් නෑ, මේ ආණ්ඩුව පෙරළන්න හදන්නෙ. ඒ අය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නෙ. ඒ අය කැමැතියි වෙනසක් ඇති කරනවා නම්. ඇත්තටම අපේ ප්‍රචාරණ කටයුතු ඉතාම අරපරිස්සම්. මොකද අපේ පිරිස වැඩ කරන්නෙ ස්වේච්ඡාවෙන්.

දැන් අපි දන්නවා ඕනෙම ප්‍රචාරණ වැඩ කටයුත්තක අවසන් අරමුණක් තියෙනවා. මෙතනදි අවසන් අරමුණ තියෙන්නෙ ඡන්දය. ඒත් දැන් ඡන්දය කල් ගිහිල්ලා. දැන් ප්‍රචාරණ වැඩ කටයුත්ත සමතලා බිමක වගෙයි තියෙන්නෙ. මේක පාඩුවක් නේද?

නෑනෙ.. මැතිවරණ ක්‍රියාදාමය පටන්ගෙන තියෙනකොට අපි ඒක අවසන් වෙනකම්ම ක්‍රියාත්මක කරනවා. ඒක පාඩුවක් නෙමෙයි. පාඩුවක් වෙන්නෙ මැතිවරණය නොතිබ්බොත්. 

නොතිබ්බොත්?

එතකොට තීරණය වෙන්නෙ වෙන ක්‍රමයකටනෙ. ඒ ක්‍රමයට මම එකඟයි. හැබැයි ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නෙ ජූලි 9 වැනිදා ප්‍රශ්නය විසඳුවා වගේ විසඳගන්න නම් ඒ ක්‍රමයටත් අපි එකඟයි. අපි ලෑස්තියි ආණ්ඩුව ඉල්ලන ඕනෙම ක්‍රමයකින් ඒ සඳහා මුහුණ දෙන්න. ඒකට අපි බය නෑ. මොකද, තවම ප්‍රශ්න මැද මිනිස්සු ඉන්නෙ. 

දැන් ආණ්ඩුවෙන් කියන දෙයක් තමයි තෙල්, ගෑස් පෝලිම් නැති කළා. ලයිට් කපන එක නැවැත්වුවා වගේ කතා. මේක ජනතාව යූ ටර්න් කරලා ආණ්ඩුව පැත්තට හැරෙන ප්‍රකාශයක් නේද?

ඉතින් ගෑස් පෝලිම් නැති කළා නම්, ලයිට් කපන එක අඩු කළා නම් මොකටද මැතිවරණයක්. එහෙනම් ජනතාව සතුටින් ඉන්නවනෙ. ජනතාවට පෞද්ගලික ප්‍රශ්නත් නෑ, පොදු ප්‍රශ්නත් නැත්නම් මොකටද මැතිවරණයක්. ඉතින් මේ ප්‍රශ්න සියල්ල හොඳයි නම් ආණ්ඩුවට හොඳම දේ තමන්ගෙ තත්ත්වයත් බලාගන්නත් එක්ක ඡන්දයක් තියන එකනෙ. එතකොට අපි නුසුදුසු නම් ජනතාව පරාජය කරයි. එහෙනම් දැන් ඡන්දය කල් දාන්න අවශ්‍ය නෑනෙ. මම නම් කියන්නෙ මේ වෙලාවෙ ආණ්ඩුව ඡන්දය කල් දාන එක අපරාධයක්. 

ජනාධිපතිවරයා පසුගිය දවසක කිව්වා තැන තැන උද්ඝෝෂණය කරන්නෙ එකම කණ්ඩායමක් කියලා. ඇත්තටම එකම කණ්ඩායමක්ද? මහජනතාව නෙමෙයිද?

පුදුම කණ්ඩායමක්නෙ මේ කණ්ඩායම. මුළු ලංකාව වටේම එහෙම කරන්න පුළුවන් නම් ඒ අය පුදුම කණ්ඩායමක් තමයි. මම දන්නෙ නෑ කොහොමද එකපාරම පුංචි කණ්ඩායමක් සියලුම වැඩ නතර කරන්නෙ. එහෙම කණ්ඩායමක් ඉන්නවා නම් හොයලා සම්මානයක් දෙන්න ඕනෙ. මොකද ඒ කණ්ඩායම තමයි හරියටම මේ රටේ පාලනයට සුදුසුම. ඒ වගේ දෙයක් පොඩි කණ්ඩායමකට කරන්න පුළුවන් නම් ඇයි 225 ක කණ්ඩායමක් තෝරාගන්නෙ. ඕවා නායකයො කියන්න ඕන කතා නෙමෙයි. ඕවා ගැලරි කතා. ඕකට තමයි කියන්නෙ බලය තියෙනකොට මොළය නෑ, මොළය තියෙනකොට බලය නෑ කියලා. රනිල්ට වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක්. 

අපි දැක්කා පහුගිය දවසේ අඛණ්ඩ වැඩවර්ජනයෙදි ඔබේ පක්ෂයේ නායකයා කිව්වා ඒකට සහාය ලබා දෙන්නෙ නෑ කියලා. මොකක්ද ඒ කතාවෙ තේරුම?

ඒක ඇත්තනෙ. දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගන්නකො. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. බෙහෙත් නෑ. සේවකයො අඩුයි. එවැනි තත්ත්වයක් උඩ අඛණ්ඩ වැඩවර්ජනයකට යන එකට අපි එකඟ නෑ. හැබැයි ආණ්ඩුවට දෙන්න ඕන පණිවිඩයක් තියෙනවා, ආණ්ඩුව කරන දේවල් සම්බන්ධව විරෝධයක්. ඒ නිසා අපි එක්දින වැඩවර්ජනයට එකඟයි. අන්න ඒ පණිවිඩය තමයි එදා ඒකෙන් දුන්නෙ. 

හැබැයි ඔබ ඔහොම කිව්වට විදුලිබල මණ්ඩලෙත් ගුරුවරුන් අතරත් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අය ඔබලට සමීප වෘත්තිය සමිති. එහෙනම් ඒ දේ වෙන්නෙ කොහොමද?

ඉතින් ආණ්ඩුව ඒ දේ අහන්නෙ නැත්නම් ඒ වෘත්තිය සමිති අඛණ්ඩව ඒ වර්ජනය අරගෙන යයි. මෙහෙමයි. දේශපාලන පක්ෂ හැටියට අපිට දේශපාලන මතයක් තියෙනවා. ඒ වගේම වෘත්තිය සමිතිවලටත් ඒ අයගෙ මතයක් තියෙනවා. වෘත්තිය සමිති ගන්න ක්‍රියාමාර්ගවලට හැම මොහොතකම දේශපාලන පක්ෂ මැදිහත් වෙන්නෙ නෑ. මොකද වෘත්තිය සමිති කියන්නෙ දේශපාලන පක්ෂවලින් මෙහෙයවන අය නෙමෙයිනෙ. 

ඒ කියන්නෙ වෘත්තිය සමිති දේශපාලන පක්ෂවලින් මෙහෙයවන්නෙ නෑ?

නෑ.. මෙහෙයවන්නෙ නෑ නෙමෙයි, වෘත්තිය සමිති ගනු ලබන තීන්දුවලට අපි බලපෑමක් කරන්නෙ නෑ. හැබැයි දේශපාලන ක්‍රියාමාර්ගයි වෘත්තිය ක්‍රියාමාර්ගයි එකට සම්බන්ධ වෙන තැනුත් තියෙනවා. උදාහරණයක් හැටියට වෘත්තිය සමිතිවල සමහර තීන්දුවලට අපි සහාය දක්වන අවස්ථා තියෙනවා. 

දැන් මේ වෙද්දි ආණ්ඩුව අයි.එම්.එෆ්. එක්ක ගනුදෙනුවකට ගිහිල්ලා තියෙනවා. හැමෝම අදහස් පළ කළාට ජවිපෙ මතය තවම පැහැදිලි නෑ. ඔබලා එකඟද, නැද්ද? මිනිස්සු නම් රතිඤ්ඤත් දැම්මා?

මෙහෙමයි. සාමාන්‍යයෙන් පවතින ආණ්ඩුව කරන්නෙ රටේ පවතින අර්බුද ඒ අයගෙ වාසියට හදාගන්න එක. යුද්ධය, කොරෝනා, පාතාලය, කුඩු, මේ සියල්ල විසඳනවා වෙනුවට ඒ දේවල් ආණ්ඩුවෙ වාසියට හදාගෙන තියෙන්නෙ. දැන් හැමදේටම ප්‍රශ්නෙ ඩොලර්. 

මම අහන්නෙ අයි.එම්.එෆ්. එක ලැබීම රට සුබදායී නේද?

අයි.එම්.එෆ්. එකෙන් හම්බවෙන්නෙ ඩොලර් බිලියන තුනක්. අවුරුදු හතරකින් වාර අටකදි මාසයකට ඩොලර් මිලියන හැට ගාණෙ හම්බවෙන්නෙ. ඒ මිලියන හැට දෙන්න අපි අයි.එම්.එෆ්. එකට විශාල වශයෙන් බදු වැඩි කරලා දෙන්න ඕනෙ. ඕවා මිනිස්සුන්ට දැනෙන්නෙ ලබන මාසෙ වෙනකොට විශාල වශයෙන් වැට් බදු වැඩි වෙද්දි. ඒ වගේම  සහනාධාර දෙන්න අයි.එම්.එෆ්. එකේ සල්ලි යොදාගන්න එපා කියලා ඒ අය යෝජනා කරලා තියෙනවා. එතකොට ජනතාවගෙන් තමයි සියලු දේවල් අයකර ගන්නෙ. හොඳම උදාහරණය විදුලි ඒකකයට වැය කරන මුදල ජනතාවගෙන් අයකර ගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ වගේම මහ බැංකුව ස්වාධීන කරලා රටේ මූල්‍ය බලය අයි.එම්.එෆ්. එකට දීලා පාඩු ලබන ආයතන විකුණනවා කියලා ලාභ ලබන ආයතනත් විකුණනවා. එකපාර සල්ලි ටික හම්බවෙන්නෙත් නෑ. කොටස් වශයෙන් හම්බවෙන්නෙ. ජනතාව පත්තු කරලා තියෙන්නෙ බිලියන තුනක රතිඤ්ඤා. එකපාර පත්තු කළා කියලා එකපාර හම්බවෙන්නෙ නෑ. 

ඇත්තටම අයි.එම්.එෆ්. එකෙන් සෙතක් නැද්ද?

ඇත්තටම මාසයකට මිලියන හැටක් ගන්න ඇයි මෙච්චර පඹ ගාලක පැටලෙන්නෙ. අපේ විදේශගත ශ්‍රමිකයො මාසිකව ඩොලර් මිලියන හාරසීයක් එවනවා, කිසිම කොන්දේසියක් නැතිව. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන දෙසිය පනහක් හම්බවෙනවා. අපේ අපනයනකරුවෝ ඩොලර් මිලියන දාහක් ගේනවා මාසෙකට. ඒ අය ගේන්නෙ කොන්දේසිවත් මොනවත් විකුණන්න කියලවත් නෙමෙයි. අයි.එම්.එෆ්. එකෙන් ණය අරගෙන ගොඩ ගිය රටක් නෑ. 

හැබැයි මේකෙන් අපි ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්න හම්බවුණා නේද?

ඒක ඉතින් එහෙම කරනවද කියලා බලන්න ඕනෙ. අයි.එම්.එෆ්. සපත්තුව හදන්නෙ හැම රටටම එක සපත්තුවක්. ණය ගන්න රට ඒ සපත්තුවට අනුව කකුල කපා ගන්නවා. 

ඉතින් ඔබලගේ ප්‍රතිපත්තිවල තියෙනවා නේද ආණ්ඩුව රාජ්‍ය ව්‍යාපාරවල නිරත වීමෙන් ඉවත් විය යුතුයි කියලා. ඒක අයි.එම්.එෆ්. යෝජනාවක්?

අපි කියන්නෙ ආණ්ඩුව හැම ව්‍යාපාරයක්ම කරේ තියාගෙන යන්න නරකයි කියලා. උදාහරණයක් හැටියට ආණ්ඩුව හෝටල් හදන්න ඕනෙ නෑ, මේ වෙනකොට පෞද්ගලික අංශයෙ අය හෝටල් හදනවා. හැබැයි බලශක්තිය, මූල්‍ය පාලනයට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනෙ. ආණ්ඩුව පාඩු ලබන ආයතන විකුණනවා කියලා ලාභ ලබන ආයතන විකුණනවා. ඇත්තටම ගත්තොත් රනිල් වික්‍රමසිංහ අයි.එම්.එෆ්. එකට වඩා දේවල් විකුණන්න කැමැතියි. අයි.එම්.එෆ්. එකට වඩා කොන්දේසි දානවා රනිල්. එතකොට සමහර දේවල්වලට අයි.එම්.එෆ්. එකට වඩා උවමනාව තියෙන්නෙ රනිල්ට.

ජනාධිපතිවරයා කිව්වා දකුණු ආසියාවේ ප්‍රබලතම දූෂණ මර්දන නීතිය හදනවා කියලා. ඒකත් අයි.එම්.එෆ්. එකේ යෝජනාවක්?

දකුණු ආසියාවේ දුබලතම මිනිස්සු එක්ක ප්‍රබලතම නීති හදන්නෙ කොහොමද? දැනටත් දකුණු ආසියාවේ ප්‍රබල නීති ලංකාවෙ තියෙනවා. නමුත් දුබල මිනිස්සු නිසා කර ගන්න විදිහක් නෑ. මේකෙ ඉන්නෙ අයි.එම්.එෆ්. එකෙන් දුන්න සල්ලි ටිකත් පිල්ලි ගහන්න බලන් ඉන්න මිනිස්සු.

ඔබලා බලයට ආවා නම් අයි.එම්.එෆ්. ණය ගන්නෙ නැද්ද?

අපි අයි.එම්.එෆ්. සාමාජිකත්වය ගනීවි. හැබැයි අයි.එම්.එෆ්. එකෙන් ණය ගන්න තැනට අපි පත්වෙන්නෙ නෑ.

එහෙනම් කොහොමද වැටුණු ආර්ථිකය ගොඩනගා ගන්නෙ?

මම ඒක මුලින්ම කිව්වනෙ. ඒක තමයි අයි.එම්.එෆ්. එක ගැන තියෙන විශ්වාසය ගොඩනගනවා වෙනුවට පාලකයා ගැන විශ්වාසය හදන්න ඕනෙ. ජනතාවට දැනෙන්න ඕනෙ ජනතාවට වඩා පාලකයා දුක් විඳින්න ලෑස්තියි කියලා. පාලකයා අපිට වඩා කැපවීම් කරන්න ලෑස්තියි කියලා. මොකද ජනතාව එහෙම දැනුණාමයි ජනතාව මේ රට ගොඩනගන්න විශ්වාසයෙන් කටයුතු කරන්නෙ. මතක තියාගන්න සක්‍ර දෙවියො ආවත් මේ දේශපාලන සංස්කෘතියත් එක්ක ආර්ථිකය හදන්න බෑ. මොකද මෙච්චර කල් ණය නොගත්තා නෙමෙයිනෙ. 

I ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00