2023 මාර්තු 12 වන ඉරිදා

ආණ්ඩු එක්ක හැප්පීම

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 114

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමට පෙර අධිකරණය සමඟ ආණ්ඩුව ගැටුණු අවස්ථා මතුවුණේ නැත. ඇතැම් විට අධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු පිළිබඳ ආණ්ඩුවල අප්‍රසාදය ප්‍රකාශ වී තිබුණත් කෙළින්ම ගැටුමකට යාමෙන් හැම ආණ්ඩුවක්ම වැළකුණි.

මේ තත්ත්වය වෙනස් වුණේ ජේ.ආර්. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී තමන් පළමු විධායක ජනාධිපති හැටියට පත්වීමෙන් පසුවය. 1977 දී ඔහු අගමැති වී මාස 02කට පසුව විධායක ජනපති ව්‍යවස්ථාව සම්මත කරගත් අතර ඊළඟ වසරේ පෙබරවාරි 04 වැනිදා විධායක ජනාධිපති හැටියට දිව්රුම් දුන්නේය. ජේ.ආර්. තමන් එසේ පළමු විධායක ජනාධිපති වශයෙන් පත්වුණේ ඡන්ද විමසීමකින් තොරව නව ව්‍යවස්ථාවට අනුකූලවය.

ජේ.ආර්. අගමැති වනවිට අග්‍ර විනිශ්චයකාර ධුරය දැරෑ වික්ටර් තෙන්නකෝන් මහතා විශ්‍රාම ගිය පසු  ජේ.ආර්. අග්‍ර විනිශ්චයකාර ධුරයට පත්කළේ ඔහු හොඳින් දන්නා දක්ෂ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වශයෙන් කටයුතු කරමින් සිටි ඔහුගේ පෞද්ගලික නීතිඥවරයාද වූ නෙවිල් සමරකෝන් මහතාය. ඔහු අවංකව කටයුතු කරන ඍජු අදහස් ඇති නීතිවේදියෙක් බවටද නමක් දිනාගෙන සිටි බැවින් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සහයෝගය දිනාගැනීම ගැටලුවක් වූයේ නැත.

ජේ.ආර්.ගේ පාලනයේ සිටි දේශපාලනඥයන් ඒ වෙලාවේ සිටියේ හයෙන් පහේ ජයග්‍රහණයෙන් උදම් වී බලයෙන් මත් වෙලාය. ඔවුන් අධිකරණයට ලොකු ගෞරවයකින් කටයුතු කළේ නැත. ව්‍යවස්ථාවට, නීතියට ඔවුන් තමන්ගෙ ආධිපත්‍ය පවරා දෙන්න සූදානම් වුණේ නැත. ඇතැම් අවස්ථාවල අධිකරණය සමඟ කෙළින්ම ගැටෙන අවස්ථා උදාවූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය.

වරක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුවකට උරණ වූ ආණ්ඩුව විනිසුරුවරුන්ගේ නිවෙස්වලට රාත්‍රි කාලයේදී ගල් ගැස්සවූ බවට චෝදනාවක් එල්ලවීම එම ගැටුම එළියට පැන්න අවස්ථාවක් විය. ආණ්ඩුවේ නායකයන් එම අවස්ථාව හැඳින්වූයේ පාරේ ඇවිද ගිය පිරිසක් විනිසුරුවරුන්ගේ නිවෙස් අසල අඹගසකට ගැසූ ගල් පහර කිහිපයක් නිවෙස්වලට වැදී ඇති බවය. ඒ එක්කම ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව ''කළුලකී* නම් පුද්ගලයකු පෙරටු කරගත් පෙළපාලියක්ද සංවිධානය කෙරිණි. මේ සියල්ලටම හේතුවූයේ ඒ කාලයේ ජේ.ආර්.ගේ ආණ්ඩුවට තිබූ දේශපාලන බලයත් ආණ්ඩුවේ ජනප්‍රියකමේ හයියත්ය.

මේ ගැටුමේ අවසන් ප්‍රතිඵලය වූයේ ජේ.ආර්.ම අග්‍රවිනිශ්චයකාර ධුරයට පත්කළ නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන තරමට වැඩේ දුරදිග යාමය. එයට ආසන්නම හේතු වශයෙන් නෙවිල් සමරකෝන් මහතා පෞද්ගලික අධ්‍යයන ආයතනයක උත්සවයකදී රාජ්‍ය පාලනය සහ අධිකරණය සම්බන්ධයෙන් සිදුකළ කතාවක් උපුටා දක්වා තිබිණි. එහෙත් නෙවිල් සමරකෝන් මහතා විධායකය සමඟ ගැටුමකට යාම වෙනුවට තෝරා ගත්තේ තමන්ගේ ධුරයෙන් ගෞරවනීය ලෙස ඉල්ලා අස්වීමය. එසේ ධුරයෙන් සමුගත් නෙවිල් සමරකෝන් මහතා පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය. ඒක ජේ.ආර්.ගේ පාලනය අධිකරණය සමඟ ඍජුවම ගැටුණු අවස්ථාවක් හැටියට ඉතිහාසගත විය. ඒ කාලේ විපක්ෂාෙය් හිටපු ශ්‍රීලනිපයට තමන්ගේ පක්ෂය ඇතුළේ ප්‍රශ්න විසඳා ගැනීමට තිබූ හෙයින් ජේ.ආර්.ගේ පාලනයට තමන්ට සිතූ සේ අධිකරණය සමඟ ගැටුමෙන් ජයගත හැකි විය.

ඊළඟට අධිකරණය සමඟ හැප්පුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි. ඔහු අවස්ථා දෙකකදී අධිකරණය සමඟ හැප්පුණි. ඔහුගේ ඈත අතීතයේ පටන් සමීප හිතවතකු වූ අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතා සමඟ මහින්ද ගැටුණේ පෙට්රල්, ඩීසල් මිල ගණන් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත් අවස්ථාවේය. ආර්ථිකය හසුරුවන තීන්දු තීරණ ගැනීම වව්‍යවස්ථාවට අනුව බාර වී ඇත්තේ පාර්ලිමේන්තුවටය. එසේම ඒ වෙලාවේ ජනාධිපති මහින්ද ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයාද විය.

ලෝක වෙළෙඳපොලේ මිල ගණන් අනුව පෙට්රල් ලීටරය රුපියල් 100ට දියයුතු බවට අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කරනු ලැබීය. ඒ වෙලාවේ මහින්ද දේශපාලන වශයෙන් ඉතා බලවත්ව සිටි අතර ඔහුගේ ජනප්‍රියත්වයද තිබුණේ ඉහළම මට්ටමකය. මහින්ද කළේ තංගල්ලේ රුස්වීමකට ගොස් ආණ්ඩුවේ කාර්යභාරයට අතපෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතියක් නැතැයි පවසා එම තීන්දුවට අනුව රුපියල් 02කින් පමණක් පෙට්රල් ලීටරයක මිල අඩු කිරීමය.

එය අධිකරණය හෑල්ලුවට ලක්කළ අවස්ථාවක් විය. අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා ඉන්පසුව සිදුකළේ රජය සමඟ ගැටුමකට යාම නොව එවැනි ගැටුමක් වළක්වා ගැනීම සඳහා තමන් විසින් ලබාදුන් තීන්දුව ආපසු කැඳවීමයි. ප්‍රශ්නය එතැනින් නිමාවට පත් විය.

මහින්ද ඊළඟට ගැටුණේ අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක සමඟය. තමන්ට අවශ්‍ය පරිදි අධිකරණය හසුරුවා ගැනීම අසීරු වීම හේතුවෙන් මහින්ද අගවිනිසුරුවරිය සමඟ සිදුවූ ගැටුම අවසන් වූයේ දෝෂාභියෝගයක් හරහා ඇය ධුරයෙන් පහකිරීමෙන් පසුවය. ඒ සදහා මහින්ද උපයෝගී කරගත්තේ පාර්ලිමේන්තුව තුළ පැවති ක්‍රමවේදයයි. එහෙත් එය සිදුකළ ආකාරය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියක් කළ බවටත් අධිකරණය විශාල අපහසුතාවයකට පත් කිරීමත් බවටත් රට ඇතුළෙන් බරපතළ චෝදනා නැගුණේය. නමුත් මහින්ද ඒවා ගණන් ගත්තේ නැත. ඔහුත් ඒ වෙලාවේ සිටියේ බලයෙන් උදම් වෙලාය. තමන්ට තිබූ ජනප්‍රියත්වය පිළිබඳ අධි තක්සේරුවකය. ඒ වුණත් මහින්ද ඊළඟ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමට ඔහුගේ එම ක්‍රියාවලිය තිරණාත්මක ලෙස බලපෑවේය.

ජේ.ආර්. සහ මහින්ද විධායක ජනාධිපතිවරුන් දෙදෙනාම මෙහෙම අධිකරණය සමඟ ගැටුණේ තමන්ට තිබූ බලය සහ ජනප්‍රියකම ගැන තිබූ අධි තක්සේරුව හේතුවෙනි. ඒ වුණත් අධිකරණය සමඟ විධායකය ඍජු ගැටුමකට යාම රටේ යහපැවැත්මට හේතුවන්නේ නැත. ඒක ඒ අවස්ථා දෙක පිළිබඳ ආපසු හැරී බැලීමේදී තේරුම් ගත හැකිය. ර ෙට් පාලනය ඉදිරියට යාමට නම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එකිනෙකට ස්වාධීනව ක්‍රියාත්මක වීම අවශ්‍යය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපති ධුරයට පත්වන්නේ ජේ.ආර්. පළමුවර පත්වුණා වගේම මහජන ඡන්දයකින් නොවේ. ව්‍යවස්ථානුකූලව සිදුකෙරුණු මෙහෙයුමකිනි. ඔහුට සිදුව තිබෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභයගේ ධුර කාලයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමය. ඒ වුණත් ගෝඨාභයගේ ධුරය අහිමිවීමත් සමඟ රටේ ඇතිවූ බරපතළ අර්බුදය හේතුවෙන් පැනනැගුණු ගැටලුවලට පිළිතුරු සෙවීමේ වගකීමද ජනපති රනිල් මත පැටවුණේය. ඔහු ධුර කාලයේ මාස 08ක් ගෙවෙන විට රට වැටී තිබුණු තත්ත්වයෙන් තරමක් දුරකට ගොඩගැනීමට සමත් වුණේය. අද රටේ පෝලිම් නැත. තෙල් - ගෑස් හිඟයක් නැත. පොහොර ගැටලුවත් විසඳී තිබේ. ආහාර මිල ගණන් තිබුණාට වඩා අඩු වී තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියලද ශක්තිමත් වෙමින් තිබේ.

හැබැයි රටේ සෙසු ප්‍රශ්න එසේමය. අයි.එම්.එෆ්. ණය ලබාගැනීම සඳහා ඉටුකළ යුතු කොන්දේසි සියල්ලෙන්ම පහර වැදුණේ රටේ බදු ගෙවන පොදු මහජනතාවටය. ලයිට් බිල, බදු ගෙවා ගැනීමට නොහැකිව ජනතාව දැඩි පීඩනයකින් සිටිති. කල්දැමුණු පළාත් පාලන ඡන්දය පැවැත්වීමට දින නියම වුණේ මේ අතරවාරයේය.

පැහැදිලිවම ජනාධිපතිවරයාගේ බලය පාර්ලිමේන්තුවේදී ආරක්ෂා කරදෙන පොහොට්ටුව මේ වෙලාවෙ මැතිවරණයකට සූදානම් යැයි සිතිය නොහැක. එහෙම ගියොත් ඡන්දය පරදින බවට තිබෙන පොදු මතය මිස වෙනත් හේතුවක් එයට නැත. ජනාධිපතිවරයාත් මේ වෙලාවේ ඡන්දයකට යාමට අකැමැති බවත් ඒකට තව කාලය තිබෙන බවත් අඟවයි. ඔහු ඒ බව පාර්ලිමේන්තුවේදී වරක් නොව දෙවරක්ම කිව්වේය. ඡන්දයක් නැති බව දෙවැනි වතාවේ කියන කොට ශ්‍රේෂ්ඨාධිකරණය ඡන්දය සඳහා වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම වළක්වන ලෙසට භාණ්ඩාගාර ලේකම්වරයාට අතුරු නියෝගයක් ලබාදුන්නේය. ඡන්දය පැවැත්වීම සඳහා ප්‍රධාන බාධාව වන මුදල් ඒ අනුව භාණ්ඩාගාරය මගින් මුදාහැරිය යුතුය.

විපක්ෂය කියන්නේ මේ තීන්දුව අනුව දැන් ඡන්දය පැවැත්විය යුතු බවය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දයක් නැති බවට කරන ප්‍රකාශ ඔවුන් දකින්නේ රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක් හැටියටය. මේ ගැන පාර්ලිමේන්තුවේ පැවති දෙදින විවාදය ආරම්භයේදී විපක්ෂනායක සජිත් කිව්වේ අද රටේ සර්ව බලධාරියා බවට ජනාධිපතිවරයා පත්වී සිටින බවය. ''ඡන්දෙ තියනවාද නැද්ද යන්න තීන්දු කරන්නේත් ජනාධිපති. ඒක ජනාධිපතිට අයිති කාරණයක් නොවේ. ඒක තීරණය කරන්න උත්තරීතර නීතියක් තිබෙනවා. ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරනවා* යැයිද විපක්ෂනායකවරයා කිව්වේය.

මේ කොහොම වුණත් නඩු තීන්දුව ලැබුණු ගමන් එම තීන්දුවට ගරු කරන බව කිව්ව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය දැන් කියන්නේ අයවැය ලේඛනයේ තිබුණා කියා මුදල් නිදහස් කළ නොහැකි බවය. වැටුප් ගෙවීමට, බෙහෙත් ගැනීමට, එදිනෙදා කළ යුතු වියදම් දැරීමට තිබෙන මුදලින් කපා හරින්නේ කුමකින්දැයි ඔහු විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මොන තීන්දුව දුන්නත් ආණ්ඩුව ඡන්දය තියන්නේ නැහැ කියන එකද? මුදල් නිදහස් කරන්න කියලා නඩු තීන්දුවේ තිබුණත් නිදහස් කරන්න මුදල් නැතැයි කියලාද ආණ්ඩුව කියන්නේ?

පේන විදියට නම් විපක්ෂය නඩු තීන්දුව ගැන පමණක් විශ්වාසය තබාගෙන ඡන්දෙට සූදානම් වුණත් ජනාධිපතිවරයාත් පොහොට්ටුවත් ඒකට සූදානම් නැත. එහෙම වුණොත් එදා ජේ.ආර්. - මහින්ද ජනාධිපතිවරුන් කළා වගේ ජනාධිපති රනිලුත් අධිකරණය සමඟ ගැටුමකට යාම වුවද සිදුවෙන්න බැරිකමක් නැත. ඒ අභියෝගය බාරගන්න විපක්ෂය සූදානම්ද

මීට කලින් විධායක ජනාධිපතිවරුන් අධිකරණය සමඟ ගැටුණු අවස්ථාවලදී ඒ ආණ්ඩු තිබුණේ ජනප්‍රියකමේ හිණිපෙත්තේ ය. ජනතාව මේ තරම් ලොකු ප්‍රශ්නවලට මුහුණදී සිටියේත් නැත. ජේ.ආර්. එනකාලේ රටේ තිබුණු ලොකුම ප්‍රශ්නය ආර්ථිකයයි. ඔහු අධිකරණය සමඟ ගැටුණේ ඒකට හොඳ විසඳුමක් දුන්නාට පස්සේය. මහින්ද එන කාලේ රටේ තිබුණු ලොකුම ගැටලුව යුද්ධයයි. ඔහු අධිකරණය සමඟ ගැටෙන්නේ යුද්ධය දිනාදීමෙන් පසුවය. මේ නිසා විපක්ෂයට කටහොල්ලන්නට ඉඩක් ලැබුණේ නැත.

හැබැයි දැන් තත්ත්වය ඊට වඩා වෙනස්ය. දැන් රජය ඉන්නේ අධික බදු බර, ලයිට් බිල්, සේවාගාස්තු වැඩිවීම්, රෝහල්වල බෙහෙත් නැතිවීම, විශ්වවිද්‍යාල සියල්ලම වසා දැමෙන තත්ත්වයකය. ඒ එක්කම වැඩවර්ජන තර්ජන ගණනාවක් මැදය. ගෝඨාභය ධුරයෙන් ඉවත් කිරීම සමඟ ගොඩනැගුණු උග්‍ර ආණ්ඩු විරෝධය තවමත් එසේමය. එහෙම තියාගෙන ආණ්ඩුව අධිකරණය එක්ක ගැටුමකට යයිද?

එහෙම ගියත් නොගියත් විපක්ෂයද තේරුම් ගත යුතු කාරණාවක් තිබේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ කතා පැවැත්වීමෙන් පමණක් මේ ගැටලුව විසඳාගත නොහැකි බවය. එසේම බෙදී වෙන්වී සිටිමින් විධායක බලයක් තිබෙන ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න බැරි බවය. රනිල් ජනාධිපතිවරයා රටේ පාලනය ගෙනියන්නේ තම අතීත අත්දැකීම් හොඳට පාඩම් කරගෙන බව විපක්ෂයද දැන සිටිය යුතුය.

I ශශීන්ද්‍ර

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00