2023 මාර්තු 12 වන ඉරිදා

මැතිවරණ කොමිසම වරප්‍රසාද කඩ කරලා: පොහොට්ටුවෙන් චෝදනා

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 68

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තුව හරහා ද පියවර ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගය නිකුත් කිරීමෙන් පසුව පොහොට්ටු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පාර්ලිමේන්තුවට ලිපියක් සභාගත කරමින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කර තිබීමෙන් එය පැහැදිලි විය.

ඒ කෙසේ වුවද මැතිවරණ කොමිසම මැතිවරණයට අප්‍රේල් 25දාට දින නියම කර තැපැල් ඡන්දය මේ මස 28 – 29 – 30 සහ 31 දිනවලදී පැවැත්වීමට පියවර ගෙන තිබේ. ඒ සමඟ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් නිදහස් කරන්නැයි භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම් දී තිබේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නැයි පොලිස්පතිටද දන්වා ඇත.

මෙසේ තිබියදී මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ක්‍රියා කර තිබීම සියලු දෙනාගේ අවධානයට ලක් වී තිබේ. කතානායකට යොමු කළ එම ලිපියේ මෙසේද සඳහන් විය.
''ඔබතුමා දන්නා පරිදි SC/FR/69/2023 දරන නඩුවේ අතුරු නියෝගය සම්බන්ධයෙන් මෙම පාර්ලිමේන්තුවට ගරු දොළවත්ත මන්ත්‍රීතුමා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා.

එම කාරණය සම්බන්ධයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙත යවන ලද අංක F/03/2023 හා මාර්තු 08 දිනැති ලිපිය මගින් තවදුරටත් මෙම සභාවේ ගරු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී තිබෙනවා.

කතානායකතුමා විසින් ගරු දොළවත්ත මන්ත්‍රීතුමාගේ වරප්‍රසාද කඩවීමේ ප්‍රශ්න පිළිගෙන වරප්‍රසාද කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක එය විභාග කර තීරණයක් ලබා දීමට ප්‍රථමයෙන් ඉහත නඩුවේ අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම බරපතළ වරදක්.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ලිපිය සභාගත කරමින් මෙම කාරණය ද පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුවට යොමුකොට පරීක්ෂණයක් කිරීමට කටයුතු කරන මෙන් ගරු කතානායකතුමාගෙන් මා ඉල්ලා සිටිනවා.
තවද මෙම වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරමින් මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනුයේ පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුව විසින් මෙය විභාග කොට තීරණයක් ගන්නා තෙක් මෙම කාරණය සම්බන්ධයෙන් ඉදිරි හෝ කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙස අදාළ සියලු පාර්ශ්ව වෙත උපදෙස් ලබා දෙන ලෙසයි.*