2023 මාර්තු 12 වන ඉරිදා

මේ රටේ පාලකයත් නායකයත් මමයි

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 80

- ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන්

♦ අපේ තරුණ කට්ටියත් රස්සා හොයාගෙන නගරෙට යනවා
♦ රාජ පාලනයෙන් දේශපාලනේට ආවට පස්සේ නායකයෝ ඈත්වුණා
♦ එදා සල්ලි කොළ එකෙන් කාපුදේට අද සල්ලි කොළ පහක් තිබුණත් මදි
♦ හොරකම - වංචා - දූෂණ ගැන කතා කරන්න අකැමැතියි: අපේ අයත් පුරුදු වේවි කියලා බයයි
♦ මම දිස්ත්‍රික් හයක ලක්ෂ 05ක ජනතාවගේ නායකයෙක්
♦ රේඩියෝ එකෙන් ටී.වී. එකෙන් ඇහෙන්නෙම නරක ප්‍රවෘත්ති
♦ සුද්දන්ගේ නිදහස් ගැටේට අපි අහුවෙලා ඉන්නේ
♦ අරගලය එන්න හේතු තිබුණා
♦ අද ප්‍රශ්නෙකට විසඳුම් ලබාගන්න පාරට බහින්නම ඕනෑ
♦ අපෙන් පිරිසකුත් පුංචි ඡන්දෙට තරග කරනවා

ඔබ ආදිවාසී නායකතුමා, ඔබට වර්තමාන දේශපාලන නායකයන් ගැනත්, වර්තමාන දේශපාලනය ගැනත් මොකක්ද කියන්න තියෙන්නේ?

දේශපාලනය ගැන නම් මම වැඩිය කතා කරන්න අකැමැතියි. ඒ ගැන කතාකරන එක අත්හැරලා තියෙන්නේ. හේතුව ඒ ගැන කතාකරලා තේරුමක් නැති නිසා. වර්තමාන නායකයෝ ගත්තම නායකත්ව ලක්ෂණ නෑ. ඒ අය ජනතාවට ඇහුම්කන් දීමක් නෑ. තමන් හරි, තමන් කරන දේ විතරයි හරි කියලා අද නායකයෝ හිතන්නේ. ජනතාවට කිසිම විදිහකින් ඇහුම්කන් දීමක් නෑ. ඒ නිසා අද නායකයන්ගේ නායකත්ව ගුණය නෑ.

ඔබට අනුව ජනතාවගෙන් ඈත්වුණු දේශපාලකයන් බිහිවුණේ මොන යුගයේදීද?

මෙහෙමයි, මගේ අවබෝධය අනුව මේ තත්ත්වය මෙන්න මේ අය නිසා වුණා කියලා කියන්න අදහසක් නෑ. ඒත් රාජ පාලනයෙන් පස්සේ දේශපාලනය බිහිවීමත් සමඟ නායකයෝ ජනතාවගෙන් ඈත් වෙන්න ගත්ත. ඊටපස්සේ ඡන්දයක් ආවා. ඒ ඡන්දයට කතිරයක් ගහලා නායකයෙක් පත්කර ගත්තා. ඒ නායකයා තමා අවසානයේ නායකයා වුණේ. නායකයාව මිනිස්සු පත්කර ගන්නවා නම් ඒ නායකයා මිනිස්සු කියන දේට ඇහුම්කන් දෙන්න ඕන. ඒත් අද නායකයෝ අහන්නේ නෑ. ජනතාව අමතකයි. ඡන්දය දුන්නේ කවුද? මොකටද දුන්නේ? මොකක්ද වගකීම කියන එක අමතක වෙලා තියෙන්නේ. රජ කාලේ පළාත් මට්ටමින් පළාත් ඇමතිවරු පත්කරලා, ඒ ඒ පළාත්වල තියෙන ප්‍රශ්න ගැටලුවලට උත්තර වගේම විසඳුම් දුන්නා. නිවැරදි තොරතුරු පක්ෂග්‍රාහී නොවී ලබාදුන්නා.

මොකක්ද මේ වරදින්න හේතුව?

මම හිතන්නේ අපිට නිදහස දුන්නට සුදු මහත්වරු, ඒක දුන්නේ පටලවලා. අපි ගැටයට අහුවෙලා ඉන්නේ. අපි ලොකුවට නිදහස සැමරුවට අපි හිරවෙලා ඉන්නේ.

ඔබත් නායකයෙක්, රටෙත් නායකයෝ ඉන්නවා. ඔබ මේ නායකත්වයන් දෙක අතර වෙනස කොහොමද දකින්නේ?

ඇත්තටම මට දිස්ත්‍රික්ක හයක ලක්ෂ 5ක ජනතාවක් ඉන්නවා. ගම් 62ක. මේ හැමකෙනාම ඉන්නේ ගමේ නායකයා එක්ක. එයා තමයි ගමට නායකත්වය දෙන්නේ. හැබැයි දේශපාලනඥයෝ ගත්තම ඒ අය කණ්ඩායම්වලට බෙදෙනවා. ජනතාවත් කණ්ඩායම්වලට බෙදනවා. ඒකෙන් වෙන්නේ සමස්ත ජනතාවට කරන සේවය බෙදෙනවා. පක්ෂ පාට අනුව. මගේ යටතේ ඉන්න හැම නායකයෙක්ම මට වග කියනවා. ඒ වෙනුවෙන් ඒ අය බැඳිලා ඉන්නේ.

රටේ දේශපාලන නායකත්වය ඊට වඩා වෙනස්ද?

ඔව්. ඒ අය හරි තොරතුරු නායකයාට දෙන්නේ නෑ. හොරකම, වංචාව, දූෂණය හැම තැනම. මම මේවා ගැන කතාකරන්න කැමතිත් නෑ. මොකද අපේ අයත් ඊටපස්සේ ඒවා පුරුදුවෙන්න පුළුවන් නිසා. බලන්න දැන් උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා හොඳ පණිවිඩයක් ඇහෙන්නේ නෑනේ. පත්තරයක් බැලුවත්, රේඩියෝවක්, ටී වී එකක් දැම්මත් එහෙමයි. ඇහෙන්නේ නරකම ප්‍රවෘත්ති. රටට අහිතකර පණිවිඩ. ඒත් මේ රටේ හැමදාම උදේට බණ යන්නේ. බුදුන් වැඩිය බෞද්ධ රටක්. කොහෙද මේ අයගේ බෞද්ධකම තියෙන්නේ?

ඒත් දේශපාලඥයෝ වැඩිපුරම යන්න ආස පන්සල්වලට නේ?

ඔව්...ඔව්... අටපිරිකරයක් අරගෙන ගිහිල්ලා, බාගෙට පාත්වෙලා තමයි වඳින්නේ. දණ ගහන්නවත් බෑ. ඒකෙන් පෙන්නන්නේ ඒ අය බාගෙට බෞද්ධයෝ කියන එක. අමාරුයි දණ ගහන්නත් ඒ අයට.

ඔබ නායකත්වය දරන්නේ ඉස්සර සමාජයට නෙමේ. අලුත් සමාජයකට. මේ අලුත් සමාජය ඇතුළේ ඒ සිතුම් පැතුම් සහ වෙනත් වෙනත් බාහිර සාධක මැද ඔබටත් පාලනය කෙරෙහි යම් අභියෝගයක් ඇති නේද?

තවම එවැනි තත්ත්වයක් නෑ. මෙහෙම යන්න යන්න ඒ වගේ ප්‍රශ්නත් එන්න තියෙන ඉඩකඩ තියෙනවා. තවම නෑ.

ලෝකයේ ආදිවාසී කණ්ඩායම් ගත්තම ඒ අයගේ නියෝජනයක් තියෙනවා ඒ රටේ පාර්ලිමේන්තුවල. ඒත් ලක්ෂ 5ක ජනතාවක් ඉන්න ඔබ ඇයි එවැනි නියෝජනයක් බලාපොරොත්තු නොවෙන්නේ?

ඉතිහාසයට ගියාම ඒ කාලේ එවැනි අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. අපි පුරුදු වුණේ කැළෑවේ නිදහසේ ජීවත් වෙන්න. ඒ කාලේ වගකිවයුත්තෙක් හැටියට අපිට නායකතුමා හිටියා. ඒත් වර්තමානය වෙනකොට ලෝකය දියුණු වෙනකොට මිනිස්සුන්ට ගැටලු මතුවෙනවා. එතකොට මම කෙළින්ම කතා කරන්න ඕන පාලකයන්ට. ඒත් පාලකයන්ට කතා කළාට වැඩක් නෑ. එකපාරක් කිව්වා, දෙපාරක් කිව්වා, තුන්පාරක් කිව්වා, අන්තිමේ ඔහේ ඉන්නවා. අද වෙද්දී මේ රට පත්වෙලා තියෙන්නේ ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න උද්ඝෝෂණය කරන්න ඕන කියන තැනට. නැත්නම් පෙළපාලි යන්න ඕන. ඒ නිසා මේ වගේ වෙලාවට අරවගේ නියෝජනයක් ඕන.

ඔබතුමා කියන නියෝජනය ගන්න නම් අනිවාර්යයෙන් අර ඔබ මුලින් කිව්ව අකමැති විෂයයට යන්න වෙනවා. ඒ කියන්නේ දේශපාලනයට. එවැනි නියෝජනයක් යොදවන්න ඔබට අදහසක් තියෙනවද?

දැනට මේ පළාත් පාලන ඡන්දයට අපේ පරපුරෙන් කණ්ඩායමක් යොදලා තියෙනවා. හැබැයි ඒ අයත් අර පාරම්පරික දේශපාලඥයෝ වගේ වැඩකටයුතු කරනවා නම් වැඩක් නෑ. එතෙන්ට ගිහින් මොකද කරන්නේ? එහෙම තැනක් හොඳද? ජනතාවට කොහොමද උදව් කරන්නේ? කියලා හිතාගෙනම තමයි ඒ වගේ දේකට යන්න ඕන. එහෙම නැතුව ඉන්න අයත් එක්ක ඒ අයට එහෙයි කියාගෙන ඉන්නවා නම් වැඩක් නෑ. එහෙම නැති වුණොත් තිබ්බට වඩා විනාශයක් වෙන්නේ.

ඔබ දකින්න ඇති රටේ තරුණ තරුණියෝ ලොකු අරගලයක් කළා. මේ දේශපාලන සංස්කෘතියට එරෙහිව. ඒක ගැන ඔබතුමා දකින්නේ මොන වගේද? හොඳද? නරකද?

මේ අරගලය කියන එකට තරුණ තරුණියෝ විතරක් නෙමේ වටේම ඉන්න මිනිස්සු ආවානේ කොළඹට. රටේම මිනිස්සු ආවා. එහෙම වෙන්න හේතු තිබ්බා. ඔය අරගලය පටන් ගත්තේ ගොවීන්ගේ පොහොර ප්‍රශනයත් එක්ක. ඒ දේවල්වල සාධාරණයක් තියෙනවා. ඒත් අන්තිමට වුණේ ඒ අරගලය අස්සෙන් තවත් කට්ටියක් බලය ගන්න උත්සාහ කරනවා. ඒකෙන් වුණේ අරගලයේ වටිනාකම නැතිවීමයි.

රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ඔබේ වරිගේ අයටත් ඒක බලපාල ඇති. ඒ අයගේ දුක ඔබට අහන්නත් වෙනවා ඇති. ඒ තත්ත්වය සම්බන්ධයෙන් ඔබට මොන වගේ පීඩනයක්ද තියෙන්නේ?

එක රටක්නේ මේක. මේ රටේ ඕනම ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නය රටේ සමස්තයටම බලපානවා. එදා සල්ලි කොළයක් ගත්තත් කඩේට ගිහින් දවසේ කෑම වේල විසඳගන්න පුළුවන් වුණා. ඒත් අද සල්ලි කොළ පහක් අරන් ගියත් පවුලක් නඩත්තු කරන්න බෑ. ඒ බලපෑම අද මගේ පරපුරටත් බලපාල තියෙනවා. ඒක තරමක පීඩනයක්.

දැන් ඔබලාගේ නිජභූමි එක පැත්තකින් සුද්ද කරනවා. අනෙක් පැත්තෙන් ඉඩම් විකුණනවා. ඔබලාට දැන් පාරම්පරික ජිවිත ගත කරන්න බෑ. මේක වරිගය නැතිවෙන්න හේතුවක් නේද?

අපේ පරම්පරාව ගත්තම ඒ පරම්පරාවම සම්බන්ධ වෙලා තිබ්බේ කැළයත් එක්ක. කැළෑව තමයි අපේ රෝහල, පාසල, නිවස. ඒත් වර්තමාන සංවර්ධනයත් එක්ක මේ කැළෑ සියල්ල අහිමි වෙමින් යන්නේ. ඉතුරුවෙලා තියෙන කැළෑ සියල්ල රක්ෂිත කැළෑ. අපේ පරම්පරාවේ කෙනෙක්ට දඩයමේ යන්න, බෙහෙත් හොයාගන්න, අලයක් ගලව ගන්න තහනම්. මේ නිසා අපේ පරම්පරාවේ තරුණ තරුණියන් ජීවත් වෙන්න කුලී වැඩ හොයන් නගරයට යනවා. එහෙම ගියාම නගරයේ දේවල් එක්ක ඔවුන් පිරිහෙන්න ගන්නවා. ඔවුන් ගමට ආපුවම ගමේ අයට කතා කියලා ඒ අයත් මේවට රුවටිලා යනවා. මේ මෑතක දඹානේ තියෙන කර්මාන්ත ශාලාවකට කුඹුක් කපපු ලොරියක් ඇද්ද වන සංරක්ෂණයෙන්. ඒත් අපිට අත්තක් කපාගන්න අවසර ගන්න වෙනවා. නීතියත් ක්‍රියාත්මක වෙනවා.

මේ තත්ත්වය එක්ක ඔබට බයක් තියෙනවද ඔබෙන් පස්සේ මේ පරම්පරාවට හානියක් වෙයි කියලා?

මට කලින් මගේ තාත්තා හිටියා. ඔහුගේ අවසන් කාලයේදී තමයි ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණේ. මගේ තාත්තා නායකයා වුණේ අවුරුදු 14 දී, ඒත් 1983, 84, 85 වගේ කාලයන්වලදී තාත්තාට ප්‍රශ්න වැඩිවුණා. ඒ මහවැලි ව්‍යාපාරයත් එක්ක. මහවැලියත් එක්ක අපේ පරපුරට ලොකු විනාශයක් වුණා. ඒ වෙලාවේ ලොකු ප්‍රශ්නවලට තාත්තට මුහුණ දෙන්න වුණා. හොරා කිව්වා, මිනීමරුවා කිව්වා. ආණ්ඩුවෙන් එතුමා වැරදිකාරයෙක් කළා. මම ඒවා දැක්කා. ඒත් එදා තාත්තට තිබ්බ ප්‍රශ්න නෙමෙයි මට තියෙන්නේ. ඊට වඩා මගේ පාලනය වෙනස්. මගේ පස්සෙන් නායකත්වයට එන්නේ මගේ ලොකු පුතා. ඔහුත් මේ වෙද්දී යම් යම් දේවල් ඉගෙන ගනිමින් ඉන්නේ. ඒ නායකත්වයට ගැලපෙන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන.

ඔබට රටේ නායකයා වෙන්න ආසවක් නැද්ද?

මම කතිරයෙන් පත් නොවුණට මේ රටේ පාලකයා, නායකයා මම. මේ රටේ මුල්තැන ඉඳලා ආරම්භ වුණු ජාතියක් හැටියට මේ රටේ නායකයා අයිතිකාරයා මම.

දේශපාලනයට එන්න අදහසක් නැද්ද?

මම දේශපාලනයට එන්නේ නෑ. මම දේශපාලනයට කැමති නෑ.

ඔබ කලකිරීමෙන්ද ඉන්නේ?

ඔව්. මේ රටේ දේශපාලනය, නායකයෝ, තීරණ ගැන කලකිරීමෙන් ඉන්නේ.

I ගයාන් ගාල්ලගේ

 

 

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00