2023 පෙබරවාරි 26 වන ඉරිදා

කතිරය නැතිවුණොත් ජනතාව සටනට ඒවි

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 61

එස්.එම්. මරික්කාර් - පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය

♦ විදුලි බිලට, අයබදුවලට ජනතාව වෙනුවෙන් අපි සටන් කළා
♦ පළාත්පාලන පාර්ලිමේන්තු ඡන්ද දෙකම එකවර ඕනෑ
♦ විපක්ෂ නායකයා නැති බව දැනගෙන ජනාධිපතිතුමා පාළු ගෙයි වළං බින්දා
♦ සජබයි - මාලිමාවයි බැණගන්න එක හොඳ දෙයක් නොවේ
♦ ජනතාව 2020 දි ප්‍රබල විපක්ෂයක් හැදුවේ නෑ
♦ දයාසිරිගේ යෝජනාව මටත් ප්‍රහේළිකාවක්
♦ කාලයක් ගිහිල්ලා හරි ඡන්දයක් තියන්න සිදුවෙනවා
♦ ජනතා පීඩනය පිටකරන හොඳම ක්‍රමය තමයි ඡන්දය

ජනාධිපති පාර්ලිමේන්තුවෙදි කිව්වා මැතිවරණය කල් දාලා නෑ. කල් දාන්න මැතිවරණයකුත් නෑ කියලා. ඇත්තට මොකක්ද ඒ කතාව?

මෙහෙමයි. පළාත් පාලන මැතිවරණය තියෙන එක හරි, කල් දාන එක හරි තීරණය කරන්න ජනාධිපතිට බලයක් නෑ. අනික මැතිවරණය මේ වෙද්දි ගැසට් කරලා, නාමයෝජනා කැඳවලා, ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම් මිලියන 100 කුත් මැතිවරණයට දීලා තිබුණෙ. ඒ වෙලත් මේ කරන්නෙ විගඩමක්. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙමේ. එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මන්ත්‍රීවරුන්ට සද්දේ දාලා ඒකාධිපතියෙක් වගේ හැසිරෙනවා. මට මතකයි ගෝඨාභය රාජපක්ෂටත් ඔහොම සිද්ධියක් වුණා. විපක්ෂය කෑ ගහද්දි දිව්වා. ජනාධිපතිගේ හැසිරීමෙන් පේන්නෙ නැවත මේ රටේ නොසන්සුන්තාවයක් ඇති කරන්න යන්නෙ.

ඡන්දය කල් දැමීමට එරෙහිව ඔබේ පක්ෂයේ හැසිරීම මොන වගේද?

උසාවිය ඡන්දය කල් දාලත් නෑ. මැතිවරණ කොමිසම නිල වශයෙන් කල් දාලත් නෑ. ප්‍රායෝගිකව පේන විදිහට 9දා ඡන්දය තියන්නෙ නෑ. ඒත් යම් කාලයක් ගතවෙලා හරි ඡන්දය තියෙන්න ඕන. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. මේ වෙද්දි ජනතාව ඉන්නෙ දැඩි පීඩනයක. ඒ පීඩනය ආණ්ඩුවට එරෙහිව පිට කරන්න හොඳම ක්‍රමය තමා කතිරය. ඒක නැත්නම් ඒ වෙනුවෙන් මිනිස්සු සටන් වදිනවා. අන්න ඒ සටන් වදින මිනිස්සු එක්ක විපක්ෂය හැටියට හිටගන්නවා.

ඔය මොනවා කිව්වත් ජනාධිපතිට සජබය බයයි නේද?

සජබය නම් ජනාධිපතිට බය නෑ. ඒත් ජනාධිපති සජබයට බයයි.

එහෙම කිව්වට එදා පාර්ලිමේන්තුවෙදි ජනාධිපති එක්ක එකට එක කතා කළේ ඔබ විතරනෙ. ජ්‍යෙෂ්ඨයො සද්දයක් නෑ?

එදා විපක්ෂ නායකවරයා නැති බව දැනගෙන ජනාධිපති ඇවිල්ලා පාළු ගෙයි වළං බිඳින වැඩක් කළේ. ජනාධිපති කරපු බොරු ප්‍රකාශ සහ අවලාද ඡන්දයෙන් පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මට බලන් ඉන්න බැරි නිසයි මම දිගින් දිගටම හැප්පුණේ. ඔහු විපක්ෂ නායක හිටියා නම් ඔහොම කෑගහන්නෙ නෑ. ඒත් අපි කණ්ඩායමක් හැටියට විරෝධය පාන්න පටන් ගත්තම පැනලා ගියා. ජනාධිපති බොරු කිව්ව කියන්න එක උදාහරණයක් දෙන්නද? නැති මැතිවරණයක් වෙනුවෙන් එජාපය නාමයෝජනා දුන්නෙ ඇයි? එතුමට අමතකයි එතුමා සදාකාලික ජනාධිපති නෙමේ කියලා. එහෙනම් මුක්තිය අහිමි වුණාම ව්‍යවස්ථා විරෝධි වැඩ කරලා තිබුණොත් ඒවට මුහුණ දෙන්න වෙනවා.

එදා ජනාධිපතිවරයා කිව්වා විපක්ෂයෙන් කතා කරලා ජාතික ජන බලවේගය උඩට යන නිසා තව ඡන්දය කල් දාන්න ඉල්ලුවා කියලා. ඒකට විපක්ෂය උත්තර දුන්නෙත් නෑ. එහෙම ඉල්ලීමක් කළාද?

ඒක පල් බොරුවක්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා කරපු අසත්‍ය ප්‍රකාශයක්. අපි ඇහුවා ඒ වෙලාවේ කවුද කියලා. කතානායකවරයා පක්ෂග්‍රාහී ලෙස ජනාධිපතිවරයට රිසි සේ කතා කරන්න ඉඩ දුන්නා. එතන වරද කළේ කතානායකතුමා.

දැන් ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. ජනාධිපතිවරණයක් මේ අවුරුද්දෙ එන්නත් පුළුවන්. දැන් සල්ලි නැත්නම් ඒ ඡන්දත් නැතිවෙයි නේද මෙහෙම ගියොත්?

ඔබගේ ප්‍රශ්නය වැරදියි. මේ ජනාධිපතිට ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාවක් නෑ. මැතිවරණය කැඳවීමේ බලය තියෙන්නෙ "ඉලෙක්ටඩ්’ ජනාධිපතිවරයකුට මිසක් ‘සිලෙක්ටඩ්’ ජනාධිපතිවරයකුට නෙමෙයි. හැබැයි සිලෙක්ටඩ් ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. මම නම් ඉතාම කැමැතියි විසුරුවනවට. හේතුව මේ පාර්ලිමේන්තුව විකෘතියක්. තවදුරටත් ජනමතය නියෝජනය වෙන්නෙ නෑ. ජනාධිපතිවරයාටත් ජනමතය නියෝජනය වෙන්නෙ නැත්නම් වහාම පාර්ලිමේන්තු මැතිවරණය කැඳවන්න කියලා අපි කියන්නෙ.

මේ වෙලාවේ සුදුසුම මැතිවරණය මොකක්ද?

ව්‍යවස්ථාව අනුව පළාත් පාලන මැතිවරණය තියෙන්න ඕන. ඒත් කල් යනවා නම් පාර්ලිමේන්තු මැතිවරණයයි, පළාත් පාලන මැතිවරණයයි දෙකම එකපාර තියන්න කියලයි මම කියන්නෙ.

සාමාන්‍යයෙන් විපක්ෂයට එකම අභියෝගය ආණ්ඩුව. හැබැයි අද විපක්ෂයට අභියෝගය විපක්ෂයේම කණ්ඩායමක්. මාලිමාවයි ඔබලයි බැණගන්නවා. මොකක්ද එහෙම බෙදිලා රණ්ඩු කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ?

මගේ පෞද්ගලික මතය නම් ඔබ කියන එක ඇත්ත. එහෙම කරන එක හොඳ දෙයක් නෙමේ. හැබැයි රටේ ප්‍රධාන විපක්ෂය හැටියට විකල්ප ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් ආණ්ඩුව එන්න එන්න බදු බර ජනතාවගේ පිටේ පටවනවා. ඒ නිසා මේ රටේ විපක්ෂය පොදු විපක්ෂයක් වෙලා මේ වෙනුවෙන් සටන් කරන්න ඕන. හැබැයි සමහර කණ්ඩායම් ඉන්නෙ කඩාකප්පල් කරන අදහසින් නම්, එකතු වෙන්න ආරාධනා කරපුවම ඒක මග අරිනවා නම් මොකද කරන්නෙ?

දැන් සුජීව සේනසිංහ කියනවා ඔහු ආවෙම මාලිමාවට ගහන්න කියලා. එහෙම කියනවා නම් ඒකේ යම් සැකයක් තියෙනවනෙ?

නෑ. මම ඒ ගැන දැනුවත් නෑ.

දැන්  ඊළඟට ඔබලගේ වේදිකාවෙ ඉන්න අනෙක් කෙනා තමයි දමිතා අබේරත්න. ඇයත් ඇවිල්ලා ගහන්නෙ මාලිමාවට. මොකද මේ?

ඕනෑම කෙනෙක්ට අපේ පක්ෂයට එකතු වෙන්න පුළුවන්. අනික මේ පළවෙනි රැස්වීමනෙ. ඒක බලලනේ ඔය කියන්නෙ. හොරු මිනීමරුවෝ නැත්නම් එච්චරයි.

හරි එහෙනම් කියන්න මුව හමට තලනවා වගේ මේ මාලිමාවට ගහන්නෙ ඔබලා ඔවුන්ට පරදින නිසාද?

නෑ නෑ. අපි එහෙම ගහලා නෑ. අපි කියන්නෙ භූමියේ ඇත්ත තත්ත්වය. අපි කියන්නෙ මේ භූමියේ යථාර්ථය තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් අපිට විතරයි කියලයි.

දැන් ඔබලා ජවිපෙට ගැහුවට යහපාලන කාලේ දූෂණ මර්දන කමිටුවට දාගත්තෙ ඔබලනේ?

ඒක රනිල් වික්‍රමසිංහගෙන් අහන්න ඕන. අපි නෙමෙයිනේ දාගත්තෙ.

ඒ කියන්නෙ ඔබලා දැනුවත්ව නෙමේද වැඩ වුණේ?

නෑනෙ. ඒ කාලේ අපි දැනුවත්ව වැඩ වුණේ නෑ. අපි දැනුවත්ව වුණා නම් ඕවා වෙන්න දෙන්නෙත් නෑනෙ.

එදා පාර්ලිමේන්තුවේ අමුතු දෙයක් වුණා. හදිසියේම මැතිවරණ කොමිසම අලුතෙන් පත් කරන්න කියලා දයාසිරි ජයසේකර යෝජනා කළා. ඒක මනූෂ නානායක්කාර ස්ථිර කළා. ඒ අවස්ථාවේ අවශ්‍ය කතාවක් නෙමේ ඒක. ඒ මොකක්ද වුණේ?

මටත් ඒක අපභ්‍රංස ප්‍රහේළිකාවක්.

මේ රටේ දැන් ලොකුම ප්‍රශ්නය ලයිට් බිලයි බදු ලබාගන්න එකයි. ඒකට වෘත්තීය සමිති උපරිමයෙන් සටනෙ. ඒත් විපක්ෂය සද්දයක් නෑනෙ?

මට තේරෙන්නෙ නෑ මාධ්‍යයට විපක්ෂය නොපෙනෙන්නෙ ඇයි කියලා. උපයන විට ආදායම් බද්ද ගේන වෙලාවේ සටන් කරලා ඡන්දය නොදී ගියේ අපි. විදුලි බිල මුල් වෙලාවේ වැඩි කරපු මොහොතේ ඉඳලා අපි විරුද්ධ වුණා. ඒ සියල්ල අපි කරපු සටන්. ඇයි ඒවා මාධ්‍යයට නොපෙනෙන්නෙ.

මෙහෙමනේ. භූමියේ සටනෙ ඉන්නෙ වෘත්තීය සමිති විතරනෙ? 

වෘත්තීය සමිති සංකේතාත්මක වැඩවර්ජන කරන එක සාධාරණයි. ඒත් පාර්ලිමේන්තුවේ අපි ඒවට කරන්නෙ සටන. මම ඉල්ලීමක් කරනවා ඔබට මේ ගැන ඇනලයිස් කරලා බලන්න.

නෑ. බලන්නකො ඔබලා කොච්චර කෑගැහුවත් දැඟලුවත් ඉස්සර වගේ නෙමෙයි ආණ්ඩුව ගන්න තීරණේ ගන්නවා, වෙනස් කරන්නෙ නෑ. විපක්ෂයේ හඬ නිකම්ම නිකම් හඬක් වෙලා?

ඔබ කියන එකේ ඇත්තක් තියෙනවා. ජනතාව 2020 මැතිවරණයේදි ප්‍රබල විපක්ෂයක් හැදුවේ නෑ. හැදුවේ දුර්වල විපක්ෂයක්. මන්ත්‍රීවරු 80 ක්වත් ඉන්න ඕන. ඒකට ජනතාව පත් කළේ 54ක්. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඔලු ගෙඩි අතර විශාල අඩුවක් තියෙනවා. ප්‍රබල විපක්ෂයක් හදලා නෑ. සජබයට තියෙන්නෙ විකල්ප ප්‍රතිපත්ති ඉදිරිපත් කිරිමත්, ජනතා විරෝධී දෙයට විරුද්ධ වීමත් සහ ජනතාව දැනුවත් කිරීමත් විතරයි. අපිට කඩාකප්පල් ක්‍රියා කරන්න බෑ. හොරකම, දූෂණ වංචාවලට අමතරව ලොකුම දේ තමා කඩාකප්පල් ක්‍රියාකාරී වැඩ. අපි ඒවා කරන්නෙ නෑ. මේ.. ආණ්ඩුව හරි දේවල් කළොත් අපි සහාය දෙනවා ඒවටත්.

ආණ්ඩුව හොඳ දේවල් කළාද? ඒවට උදව් කළාද?

කිසිම දෙයක් කරලා නෑ. අපි දුන්න යෝජනා එකක් ක්‍රියාත්මක කරලා නෑ.

ජනාධිපතිව හම්බවෙලා කතා කරන්න අදහසක් නැද්ද මේ දේවල්?

කොච්චර මෙයාට කිව්වද? අපි යෝජනා දුන්නා. එකක් ගත්තෙ නෑ. මෙයා හොඳ නළුවෙක්. මාධ්‍ය ඉස්සරහ කියන දේ එයා ඇතුළේ කරන්නෙ නෑ.

මේ යන විදිහට විපක්ෂයක් නැතිවෙලා ජනාධිපති බලය අතට ගනීද?

පිස්සුද.. කවදාවත් එහෙම වෙන්නෙ නෑ. ගෝඨාභය රාජපක්ෂ තමයි හොඳම උදාහරණය.

අවසාන වශයෙන් අහන්නෙ ජනාධිපති ආරාධනා කළා විපක්ෂ නායකට අයි.එම්.එෆ් එකත් එක්ක සාකච්ඡා කරන්න එන්න කියලා. යනවද?

ඕවා එතුමා වේදිකාවල කියන ඒවා. ලිඛිත ඉල්ලීමක් කරන්න කියන්න.

I ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00