2023 පෙබරවාරි 12 වන ඉරිදා

පුංචි ඡන්ද පෙත්සම් තීන්දුවෙන් පසුව විපක්ෂය පළකළ අදහස්

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 73


මෙරට දේශපාලන පක්ෂ සියල්ලම මහත් උද්‍යෝගයකින් බලා සිටි පුංචි ඡන්දය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමේ අවස්ථාවට මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. එහිදී අධිකරණ භූමියේ සිටිමින් සජබ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය සැලසුම් කර ඇති ආකාරයට පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බවත් මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට කටයුතු කළ නොහැකි බවත්ය.

පෙත්සම් ඉදිරිපත් කළ තවත් පාර්ශ්වයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ද කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්නේ ඓතිහාසික තීන්දුවක් බවය.

ආණ්ඩු පක්ෂයේ කිසිවකුගේ තීන්දුව සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදී කිසිවක් ප්‍රකාශ කර නොතිබිණි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ලක්මිණී වරුසවිතාන සමඟ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.

රාජ්‍ය මුදල් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ නම් ප්‍රකාශයට

වාරාවසානයෙන් පසුව පාර්ලිමේන්තුවේ යළි ස්ථාපනය කෙරෙන රාජ්‍ය මුදල් කාරක සභාවට සිකුරාදා (10) දක්වා විපක්ෂය මගින් සාමාජිකයන් නම්කර නොතිබීම හේතුවෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සාමාජිකයන් 18දෙනා කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කරනු ලැබීය. කතානායකවරයා විසින් ප්‍රකාශ කළ මන්ත්‍රී පිරිසගේ නම් මෙසේය.

විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, ෂෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සීතා අරඹෙපොළ, සුරේන් රාඝවන්, අනූෂ පැස්කූවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, සුමිත් උඩුකුඹුර, ඉසුරු දොඩංගොඩ, ප්‍රේමනාත් දොළවත්ත, සහන් ප්‍රදීප්, මධුර විතානගේ සහ රන්ජිත් බණ්ඩාර.

මීට අමතරව විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 10 දෙනකු පත් කිරීමට නියමිත වුවද එම නම් කතානායකවරයා වෙත ඉදිරිපත් කර නොතිබිණි. පසුගිය පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය දැරුවේ සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාය.


අයි.එම්.එෆ්. තවත් කොන්දේසියක්

ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබාගෙන සිටින අයි.එම්.එෆ්. ණය ලබාගැනීම තවදුරටත් ප්‍රමාද වෙන කොන්දේසියක් ප්‍රකාශයට පත් වී තිබේ. ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම පිළිබඳ තීරණය ද්විපාර්ශ්වික ණය හිමියන් විසින් ලබාදෙන එකඟතා මත රඳා පවතින බවට ඔවුන් කළ ප්‍රකාශයෙන් ඒ බව ඉඟිකර තිබේ.

මේ දක්වා අයි.එම්.එෆ්. එක පිළිගෙන තිබෙන්නේ ඉන්දියාව සහ පැරිස් සමාජයට සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහකරණ වැඩපිළිවෙළ පමණි. චීනය විසින් ලබාදුන් වසර 02ක සහතිකය ඔවුන් පිළිගෙන නැති බව අලුත් කොන්දේසියෙන් පැහැදිලි වෙයි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00