2023 පෙබරවාරි 05 වන ඉරිදා

පුංචි ආණ්ඩු ගත්තට පස්සේ මහ ආණ්ඩුව ගන්න හැටි අපි දන්නවා

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 90

කේ.ඩී ලාල් කාන්ත ජාතික විධායක සභික - ජාතික ජන බලවේගය

  • අපි අරන් එන්නේ අලුත් ආකෘතියක්
  • ජනතාව රැල්ලට රැවටුණ කාලය ගියා
  • මාලිමාව කියන්නේ විසඳුමයි
  • දූෂිත දේශපාලනය වෙනස් නොකර රටේ ප්‍රශ්න විසඳන්න බෑ

මාලිමාවට ජනතා ආකර්ෂණයක් දැන් තියෙනවා. ඒක රැල්ලක් හැටියට යනවා. ඒත් අපි දන්නවා රැලි ඒ තරම් හොඳ නෑ කියලා. අවසානය ඉතාම ඛේදනීයයි. මාලිමාවේ රැල්ලත් ඒ වගේ වෙයිද?

සමාජවාදී සිද්ධාන්ත තියෙන ජාතික ව්‍යාපාරයකට මෑත කාලයේ මෙහෙම රැල්ලක් ඇවිල්ලා නෑ. සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවලට පිළිගැනීම තිබ්බ වෙලාවේ. මේ රැල්ල ඇති වෙන්න හේතු කීපයක් තියෙනවා. ඒක මේ රටේ වසර 74ක මජර දේශපාලනය තුළ මේ රට විනාශ කළා. ඒකට විරුද්ධව ඡන්දය දෙන්න මිනිස්සු එකක් හොයනවා. එතකොට හම්බ වෙන්නේ මාලිමාව. දෙක අපේ මුළු පක්ෂ ඉතිහාසයම සහ අද පැවතෙන ජාතික ජනබලවේගය තුළ අපි මේ රටේ හොරකමට දූෂණයට වංචාවට එරෙහිව හැමවෙලාවෙම හිටගත්තා. අන්න ඒ දේවල් මිනිස්සුන්ට එපාවෙනකොට කාලයක් ඒ මතයෙම හිටිය අපි වෙත මිනිස්සු එමින් ඉන්නවා.

ඔබලා ඊට කලින් හිටියා නම් ඇයි ජනතාව ඡන්දය නොදුන්නේ?

මිනිස්සු ඒ වෙලාවේ ඒ අය කැමැති තව රුලි තිබ්බා. අන්න ඒවට රුවටිලා ඒ අය ඒ පස්සෙන් ගියා. කොහොම වුණත් උක්ත ප්‍රශ්නයට තව කාරණයක් බලපානවා. ඒ තමයි අපි බිම් මට්ටමේ ඉඳලා වැඩකරගෙන කාලයක් තිස්සේ ආවා. දැන් මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවා මාලිමාව බලය ගනී කියලා. ඒ නිසත් දැන් මිනිස්සු මාලිමාව වටා එකතුවෙනවා. මේ සියල්ල එකවර සම්පූර්ණ වුණ පළවෙනි වෙලාව මේක. මීට කලින් ගෝඨාභය රාජපක්ෂට ආවා ඒ රුල්ල. ඒ ආවේ පැවතුණු දේශපාලන සංස්කෘතියට විරුද්ධව. ඒත් ගෝඨාභයට ඒක බැරිවුණා. අවසානයේ ඔහුව බලයට ගෙනාපු පිරිසම ඔහුව ගෙදර යැව්වා.

බොහෝ වෙලාවට ඉතිහාසයේ ඉඳලා බලය ලබාගන්නේ පවතින කණ්ඩායමට විකල්ප කණ්ඩායමක්. එහෙම නැත්නම් විකල්ප අදහසක්. හැබැයි විකල්පය කියන්නේ උත්තරය නෙමේ ජාතික ප්‍රශ්නවලට. මම අහන්නේ මාලිමාව කියන්නේ තවත් විකල්පයක්ද?

අපි දැන් මාලිමාව අර්ථ ගන්වලා තියෙන්නේ විසඳුම විදිහට.මොකද මිනිස්සුන්ට ඕන විසඳුමක්. විකල්පය කියන්නේ අංශක 180ක්ම අනික් පැත්ත. විසඳුමේදී වෙන්නේ අංශ 180දී දේශපාලනය සම්පූර්ණයෙන් තියෙන්නේ පවතින සමාජ, ආර්ථික, සංස්කෘතික ප්‍රශ්නවලට විසඳුමක් විදිහට රුසියානු විප්ලවය, කියුබානු විප්ලවය, චීන විප්ලවය, වියට්නාම් විප්ලවය කියන්නේ විකල්පයක්. ඒත් අපි අරන් එන්නේ අලුත් ආකෘතියක් එක්ක. අලුත් මොඩ්ල් එකක් එක්ක. අන්න ඒක තමා විසඳුම වෙන්නේ. මුල්ම කාලයේ ඒ විසඳුම එක්ක කණ්ඩායමක් හිටියා. 3% දක්වා හිටියේ ඒ අය. අද වෙද්දී හොඳම විසඳුම හැටියට අපිව ජනතාව තෝරගෙන ඉන්නවා.

ඔබ ඔහොම කිව්වට ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ ඉඳලා මාලිමාව දක්වා තිබුණේ විසඳුමක් නෙමෙයි, විකල්පයක් විතරයි. ඔබලා පෙනී හිටියේ විකල්පයක් හැටියට?

ඒකේ වෙනසක් තියෙනවා. ලෝකයේ පැවතුණු විකල්පයක් හැටියට තියෙන ක්‍රමය කඩා වැටුණා. ඉතුරුවෙලා තිබුණු තැනුත් නව ප්‍රතිසංස්කරණ වලට ගියා. ^90 දශකයෙන් පස්සේ විකල්පය වෙනුවෙන් කතා කරන අයත් ඉන්නවා. ඒත් අපි ඇවිල්ලා තියෙන්නේ විසඳුමට. අපි සාධාරණ යුක්ති සහගත මොඩලයක් තමයි හඳුන්වා දෙන්නේ. ඒක විකල්පයම නෙමේ. විකල්පයට පැවැත්මක් නෑ. මේ අවධිය විසඳුමක් හොයාගන්න මොහොතක්.

දැන් ඔබ කියන විකල්ප මොඩලයකින් ආපු සමාජවාදී ආණ්ඩු පවා ලෝකයේ ආර්ථික ක්‍රම ලිබරල් ආර්ථික ක්‍රමයක් බවට පරිවර්තනය කරගත්තා. ඒ නිසා ඒවා දියුණු වුණා. ඔබලා කියනවා ඔබලගේ රජයක් ව්‍යාපාර කරන්නේ නෑ කියලා. දැන් ඒකයි ලිබරල් ආර්ථිකයයි කියන්නේ එකක්ද දෙකක්ද?

අපේ මූලධර්මය තමයි, මානව සම්පත්වලට උපරිම වර්ධනයක් අත්පත් කර ගැනීමට තියෙන බාධා ඉවත් කිරීම. ඒක එක දෙක එම මානව සම්පත් ආර්ථික දේහයට සම්බන්ධ කරලා එහි ප්‍රතිලාභ ඔවුන්ට ලබා ගැනීමට ඉඩ සැලසීම. එතකොට මේක සම්පූර්ණයෙන් ජනතාවාදීනේ. මේ කියන්නේ රජයේ ආර්ථිකයක් නෙමේ. ගොඩක් සමාජවාදී රටවල් තෝරගන්නේ රජය මැදිහත් වෙන ආර්ථිකයක්. අපි කියන්නේ ජනතාවාදී ආර්ථිකයක්.

ඔය කොහොම කිව්වත් ඕක ලිබරල් ආර්ථිකයක්නේ. ඇයි ඒක කෙලින් කියන්න බය?

එහෙම කිව්වම මිනිස්සුන්ට එක එක හොල්මන් මැවෙනවා. එහෙම හොල්මන් අවුස්සන්න අපි කැමති නෑ. සමාජවාදී කිව්වමත් මිනිස්සුට එක එක හොල්මන් තියෙනවා. ඒ හොල්මන් අවුස්සන්නත් අපි කැමැති නෑ. ඉස්සෙල්ලා කියන් ආවා වගේ සමහර දේවල් තියෙනවා රජය සෘජුව මැදිහත් වෙන දේවල්. ඒ මැදිහත් වෙනකොටත් අපි පෞද්ගලික ව්‍යාපාරවලට ඒ ඉඩ දෙනවා. දැන් හිතන්නකෝ හයිවේ එකක් ජනතාවට හදන්න බෑනේ. ඒකට රජය මැදිහත් වෙන්නම ඕන. ඒත් එහෙම මැදිහත් වුණා කියලා ඒක රජය කරන්න ඕන නෑ. අපි ඒක දේශීය ආයතනයකට දෙනවා. ඒ නිසා අපි කියන්නේ එවැනි ක්‍රමයක්.

ජාත්‍යන්තර සබඳතා, ඩොලර් ප්‍රශ්නය වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්ද ඔබලාට?

පුළුවන්. මොකද ලෝක නායකයෝ අතට අත දෙන්නේ ඒ අතට අත දෙන පුද්ගලයා දූෂිත නැත්නම්. අපි දන්නවා අපේ නායකයෝ අතට අත දෙනකොට, මෙයා බැංකු කැඩුවා. මෙයා සල්ලි වංචා කළා වගේ දේවල්. ඒ නිසා විශ්වාසය නෑ ලෝක නායකයන්ට. හොඳම උදාහරණය ගන්නකෝ ඉතියෝපියාව. අපිට ඉස්සර ඉතියෝපියාව කියලා කියනකොට මතක් වෙන්නේ කන්න ඉල්ලන දරුවෝ. ඒත් අද කොහොමද? ඒකට හේතුව අවුරුදු ගාණක් දූෂිතව රට පාලනය කරපු මිනිස්සු ඉවත් කරලා ජනතාව වෙන පිරිසක් පත් කරගත්තා. ඒ නිසා අපි කියන්නේ මේ දේශපාලනය වෙනස් කරන්න ඕන. එතකොටයි ප්‍රශ්නය විසඳෙන්නේ.

දැන් ආයේ කරළියට ඇවිල්ලා 13 හරහා බලය බෙදීම. ඒත් ජනතා විමුක්ති පෙරමුණේ මූලිකම විරෝධය මේ 13ට එරෙහිව තියෙනවා. දැන් ඔබලා වෙනස් වෙලා. දැන් මොකද 13 ගැන හිතන්නේ?

අපි කියන්න ඕන මේ රටේ සමස්ත ජනතාවට 13 කියන්නේ උත්තරයක් නෙමෙයි. අද 13න් පස්සෙ 21 දක්වා සංශෝධන වෙලා තියෙනවා. ඒත් මේ එකක්වත් රටේ ප්‍රශ්න විසඳන්න විසඳුම් වෙලා නෑ. අපි මේ තියෙන ව්‍යවස්ථාව ඉවත් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන. ඒ ගේන එකෙන් මේ රටේ ජනතාවගේ දේශපාලන, ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳන උත්තරයක් වෙන්න ඕන.

අවසාන වශයෙන් අහන්නේ. පුංචි ආණ්ඩු බලය අල්ලලා රටේ බලය ගන්නේ කොහොමද?

පුංචි ආණ්ඩු කියන්නේ නිවෙසක අත්තිවාරම වගේ. මහ මැතිවරණයයි, ජනාධිපතිවරණ වලින් පස්සේ තමයි ගෙයි වැඩ ඉවර වෙන්නේ. ගමේ ආණ්ඩුව පිහිටුවලා අපි ඒ හැම එකකින්ම යෝජනාවක් සම්මත කරගන්නවා මහ මැතිවරණයකට යන්න. අන්න ඒක ජනමත විචාරණයක් වගේ. ඒ හරහා ආණ්ඩුවට බලපෑම් කරනවා මහ මැතිවරණයකට.

I ගයාන් ගාල්ලගේ