2023 ජනවාරි 29 වන ඉරිදා

විදුලිය කප්පාදුවේ පාපකර්මය

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 80

විදුලිය කප්පාදුව මේ රටේ දෛනික දැවෙන ප්‍රශ්නයක් වී හමාරය. එය දෙවැනි වන්නේ විදුලිය බිල ඉහළ යාමේ පීඩනයකට පමණි. උසස් පෙළ විභාගය ආරම්භ වූයේ ඉහත කී කරුණු දෙක පමණක් නොව රුපියල් ලක්ෂයක ආදායමෙන් ඉහළ උපයන විට බදු ගෙවීම හේතුවෙන්ද ඇති වී තිබෙන අලකලංචි මැදය. අඩුම තරමින් විභාගයට පෙනී සිටින සිසු දරුවන් මුහුණ දෙන අපහසුතා ගැන සානුකම්පිතව සලකා බලා විභාග කාලසීමාවේදී විදුලිය නොකපන්නැයි ඉල්ලීම්ද ඉදිරිපත් විය. අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පමණක් නොව තවත් ඇමැතින් කිහිප දෙනකුගෙන්ද විපක්ෂ නායකයා ඇතුළු විපක්ෂයේ දේශපාලකයන්ගෙන්ද අධ්‍යාපනයට සම්බන්ධ වෙනත් පාර්ශ්වවලින්ද මේ ඉල්ලීම ඉදිරිපත් වී තිබිණි.

මේ ඉල්ලීම්වලට ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමු වූ බව නොපෙනිණි. විදුලිය බිල වැඩි කිරීම පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සමඟ අනවරත අරගලයක යෙදී සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා දිගටම කියා සිටියේ එසේ විදුලිය කප්පාදු නොකර සිටීමට නම් රුපියල් බිලියන 05ක මුදලක් තෙල් වෙනුවෙන් අවශ්‍ය කරන බවය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පවා මුදල් ලබා දිය නොහැකි බව පවසන භාණ්ඩාගාරයකින් එවැනි මුදලක් ලැබේ යැයි සිතීමත් මුලාවකි. අමාත්‍යවරයා කිව්වේම විදුලිය කප්පාදුව නැවැත්විය නොහැකි බවය. මේ ප්‍රශ්නය උග්‍ර තත්ත්වයට පත්වන විට එය ශ්‍රී ලංකා මානව කොමිසම හමුවට ගියේය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදී අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති, ලංවිම, තෙල් සංස්ථාව, ලංකා බැංකුව සහ මහජන බැංකු ප්‍රධානීන් කොමිසම හමුවට කැඳවා තිබිණි. එහිදී පැවති සාකච්ඡා සහ එකඟතාවලින් පසුව උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන මස 17 වැනිදා දක්වා කාලය තුළ විදුලිය කප්පාදුව අත්හිටුවීමට බලධාරීන් එකඟ වූ බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එය ඇසූ සිසුවෝත් ඔවුන්ගේ මවුපියෝත් සැනසුම් සුසුමක් හෙලුවෝය. එහෙත් එම සැනසුම් සහගත බව පැය 24ක් ඉක්ම යාමටත් පෙර වියැකී ගියේ විදුලිබල මණ්ඩලයේ සභාපතිගේ ප්‍රකාශයත් සමඟිනි.

විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ඊට පසු දින ප්‍රකාශ කළේ විදුලිය කප්පාදුව අත්හිටුවා නොමැති බවය. කප්පාදුව අත්හිටුවීමට මණ්ඩලය එකඟ වී නොමැති බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. විදුලිය කප්පාදුව අත්හිටුවීමට නම් ඉන්ධන මිලදී ගැනීමට රුපියල් කෝටි 410ක් අවශ්‍ය බවත් ඔහු කියා තිබිණි. මානව හිමිකම් කොමිසම සමඟ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩල නිලධාරීන්ද සහභාගි වූ බවත් එහෙත් විදුලිය නොකපන බවට බලධාරීන් එකඟ වී නොමැති බවත් සභාපතිවරයා මාධ්‍යයට පවසා තිබිණි.

එය එසේ නම් බොරු කියා ඇත්තේ මානව හිමිකම් කොමිසමද? මහජන උපයෝගිතා කොමිසමද? නැතහොත් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාද? මේ ප්‍රශ්නයට පිළිතුර කුමක් වුවත් හෙට දවසේ උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන සිසු දරුවා විදුලිය කප්පාදුව හේතුවෙන් වැටෙන්නේ අලි අමාරුවකය. අවසන් මොහොතේ සිදු කළ යුතු පුනරීක්ෂණ වැඩ ඔවුන්ට මගහැරී යාම නියතයකි. එසේ සිදු නොවනු ඇති බවට මේ විදුලි කප්පාදුව සිදු කිරීමට හවුල් සියලු නිලධාරීන් සහ දේශපාලනඥයන් නම් එකඟ නොවනු ඇත. එහෙත් යථාර්ථය ඔවුන් සිතන දේ නොවේ.

විදුලිය කප්පාදුවට මෙවැනි අවස්ථාවක හෝ විරාමයක් නොදීමට එකම හේතුව කෝටි 410ක ප්‍රශ්නය නොවන බව කුඩා දරුවකුට වුවද වැටහෙයි. මේ රටේ විදුලි බිල, විදුලිය කප්පාදුව සහ මහජන උපයෝගිතා කොමිසම යන මේ සියල්ල දැඩිව දේශපාලන රුල්ලේ ගසාගෙන යාම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවය. විදුලි බිල වැඩි කිරීමට රජය මගින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව මහජන උපයෝගිතා කොමිසම කියයි. නමුත් රජය කියන්නේ විදුලි බිල වැඩි කළ යුතු බවය. උසස් පෙළ විභාගය මැදි වුණේ මේ සටනටය. දැන් මේ සටනින් දුක් විඳින්නේ රජය හෝ විදුලිබල මණ්ඩලය හෝ මහජන උපයෝගිතා කොමිසම හෝ නොවේ. උසස් පෙළ සිසු දරුවන්ය. ඔවුන්ගේ දෙමව්පියන්ය. විදුලි බිල වැඩි කිරීමට ඉඩ නොදෙන්නේ නම් විදුලි කප්පාදුව තාවකාලිකව හෝ නැවැත්වීමට ඉඩ නොදීම රජයේ ස්ථාවරය බව අමාත්‍යවරයාගේ කතාවලින් පැහැදිලි වෙයි. මේ මොන තරම් අවැඩක්ද? පාපකර්මයක්ද? ආණ්ඩුවේ ප්‍රශ්නයක් නිසා සිසු දරුවන්ට දුක් විඳීමට සැලැස්වීම අපරාධයක් නොවේද?
අද උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ එක් අතකින් විදුලිය නොකපන බව කියන කතාව සහ අනෙක් අතින් විදුලිය කපන බව කියන කතාව අතරවාරයේය. මෙවැනි නරි නාටක නම් සිදුවන්නේ අපේ රටේම පමණක් බව කෙනකුට සැක පහළ වීම ගැන පුදුම විය යුතු නැත. අපට කනගාටු සිතෙන්නේ මේ ජරාජීර්ණ දේශපාලන මඩ ගොහොරුවේ වින්දිතයන් බවට උසස් පෙළ සිසුන් පත්වීම සම්බන්ධයෙනි. එය සෑම දෙයම දේශපාලනීකරණය වීමේ එක් දරුණු ප්‍රතිවිපාකයකි.

අඩුම තරමින් ඉදිරි දින කිහිපය තුළදී හෝ උසස් පෙළ විභාගය පවත්වා අවසන් වනතුරු විදුලිය කප්පාදුවට විරාමයක් ලබා දිය හැකි නම් එය මේ රටේ සිසු දරුවන්ගේ අනාගතයට යහපතක් වනු ඇති බව සඳහන් කරනු කැමැත්තෙමු. රටේ වඩාත්ම තරගකාරී විභාගයටවත් විදුලිය ලබා දීමට නොහැකි තරමට මේ රට කඩා වැට්ටවූ සියලු දෙනාට මෛත්‍රී කිරීම හැර වෙන කුමක් කරන්නද?