2023 ජනවාරි 22 වන ඉරිදා

ඉතිහාසයෙන් නූගත් පාඩම්

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 50

තව සති දෙකකින් එළඹෙන පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාව තම නිදහස් දිනයේ 75 සංවත්සරය සැමරීමට සූදානමින් සිටියි. එය අභිමානවත් අයුරින් සැමරීමට සූදානම් වන ආණ්ඩුව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200ක්ද වෙන්කර තිබෙන බවත් කියයි.

මෙවර නිදහස් දිනයට එය 75 වීම හේතුවෙන් විශේෂ වටිනාකමක් ලැබී තිබුණත් එම වටිනාකම ජනතාවට නොදැනෙන තරමට රටේ ප්‍රශ්න උග්‍ර වී තිබේ. ඇත්තටම රටේ මිනිසුන් නිදහසින් පසු මෙතෙක් භුක්ති විඳිමින් ආ මූලික අයිතින් බොහොමයක් ඔවුන්ට දැන් අහිමිය. ඒවා අහිමි වූවා නොව රටේ නායකයන් විසින් අහිමි කරවනු ලැබ තිබෙන බව කීම වඩාත් සාධාරණය. යුද්ධය හේතුවෙන් රටේ බෝම්බ පිපිරුණු කාලයේත් රටේ ආර්ථික ප්‍රශ්න මේ තරම් උග්‍ර වී තිබුණේ නැත. එකම වෙනස ඒ කාලයේ නිදහස් දිනයට කොළඹ නගරයට අති විශාල ආරක්ෂාවක් ලබා දීමය. දැන් එහෙම ආරක්ෂාවක් අවශ්‍ය නැති වුණත් ජනතාව නම් ඉන්නේ යුද්ධ කාලෙටත් වඩා දැඩි අවිනිශ්චිත බවකින් පෙළෙමිනි. එසේම දැඩි කලකිරීමකිනි. බලාපොරොත්තු කඩවූ තත්ත්වයකිනි.

ජනතාවගේ බලාපොරොත්තු කඩවුණත් ආණ්ඩුවට නම් එහෙම තත්ත්වයක් නැත. ඡන්දයක් තියන්න මුදල් නැති මේ කාලයේ නිදහස් උළෙල වෙනුවෙන් මිලියන 200ක වියදමක් දැරීම මුදල් නාස්තියක් හැටියට සමහරු පෙන්වා දුන්නත් ජනාධිපති හෝ අගමැති හෝ ආණ්ඩුව හෝ එය කනකට ගත්තේ නැත. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ එම වියදම අනාගතයට සිදුකෙරෙන ආයෝජනයක් බවය. එහෙම ආයෝජනවලින් රටේ ආර්ථික ගැටලු විසඳෙනවාද යන්න නම් උත්තර නැති ප්‍රශ්නයක් බව පමණක් පැහැදිලිය.

රට 75 වැනි නිදහස සමරන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරති. ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ කටයුතුවලට ජනාධිපතිවරයා සක්‍රීය ලෙස සහභාගි වෙනවා වෙනුවට ඔහු පාර්ලිමේන්තුව යටපත් කර ගැනීමට ක්‍රියා කරන ආකාරයක් ගැන තමන්ට සැක පහළ වෙන බවය. මොන උප්පරවැට්ටියක් හෝ යොදාගෙන ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය කල් දැමීමට ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් සැලසුම් කරන බවය. නිදහස් සමරුව අත ළඟට පැමිණ සිටියදී ආණ්ඩුව මෙහෙම කරන එක කොතරම් දුරකට සුදුසු දැයි සමහරු ප්‍රශ්න කරති.

ඉතිහාසයේ කවරදාකවත් ඡන්දයක් කල් දැමීමට ආණ්ඩුවක් මෙහෙම කැස කැවීමක් කර නැත. සිරිමාවෝගේ ආණ්ඩුවත් 1975 දී ඡන්දයක් පැවැත්වීමට බිය විය. ඒ හේතුවෙන් වසර දෙකකින් මහ මැතිවරණය කල් දැම්මත් එය කළේ ඒ කාලයේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා බිත්තියට හේත්තු කිරීමකින් හෝ විවිධ අණ පනත් සම්මත කර ගනිමින් පාර්ලිමේන්තුව ඇතුළේ ජිමික් දැමීමකින් හෝ නොවේ. ඒ වගේම ඡන්ද තියන්න සල්ලි නැහැයි කියා භාණ්ඩාගාරය ලවා කියෙව්වේත් නැත. පොලිස්පති ලව්වා ඡන්දයට ආරක්ෂාව දෙන්න බැහැයි කිව්වේත් නැත.

සිරිමාවෝ කළේ 1972 දී සම්මත කරගත් පළමු ජනරජ ව්‍යවස්ථාව පෙන්වා එම අවස්ථාවට අනුව තමන්ගේ වසර 05ක පාලන කාලය අවසන් වෙන්නේ 1977 දී බව ප්‍රකාශ කිරීමය. ඔවුන් බලයට පත්වුණේ 1970 දී යන්න ජනතාවට අමතක කරවීමේ උත්සාහයක් ඒ ඇතුළේ තිබුණත් සිරිමාවෝ ආණ්ඩුව කිව්වේ 1977 දී මහ මැතිවරණය පවත්වන බවය. කොහොම කළත් අන්තිමට සිද්ධ වුණේ මහ මැතිවරණය අවුරුදු 02කින් කල් යාමය. ඒ තීන්දුවට විරුද්ධව කවුරුත් උසාවියේදී අභියෝග කළ බවක් වාර්තා වන්නේ ද නැත.

හැබැයි මහත් ආර්ථික පීඩනයක සිටි රටේ ජනතාවට ආණ්ඩුව ගේමක් ගසා ඡන්දය කල් දැමූ බව තේරුම් ගැනීම දුෂ්කර නොවීය. ඔවුන් සිදු කළේ ආණ්ඩුවේ එම ගේමට උත්තර දීමට 1977 වනතුරු බලා සිටීමය. එහෙම ඉවසාගෙන ඉඳ අතට ආපු චාන්ස් එකේදී ආණ්ඩුවට ගේම දුන්නේ කැරකිලා ඇද වැටෙන්නය.

ශ්‍රීලනිපයට ජනතාවගෙන් වැදුණු එම ගේමට ගේම හේතුවෙන් සිදු වූ හානිය ඊට පසුව කවදාවත් හදාගන්න ලැබුණේ නැත. සිරිමාවෝගේ බල පරාක්‍රමය නැත්තටම නැති වී ගොස් ශ්‍රීලනිපයට දෙකඩ වුණා පමණක් නොව බණ්ඩාරනායක පවුල ඇතුළේද ගැටුම් ඇතිවී එකම ගෙදරක සිටි මවත් පුතාත් විරසක වූහ. චන්ද්‍රිකා දියණිය විජය බෑණා ද සමඟ පවුලෙන්ද පක්ෂයෙන්ද වෙන් වී වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තාය. ශ්‍රීලනිපය මූලික වී ආණ්ඩුවක් පිහිටුවීමට වසර 19ක් බලා සිටීමට එම පක්ෂයට සිදු විය.

ඡන්දය නොතැබීමේ කරුමය ඒ ලෙස ශ්‍රීලනිපයට පඩිසන් දෙනු බලා සිටි ජේ.ආර්. ද අන්තිමේදී කළේ ඒකමය. හැබැයි වෙනත් ආකාරයකටය. ඔහු පාර්ලිමේන්තුවේ තමන් සතුව තිබූ හයෙන් පහක බලය එසේම තබාගැනීමේ අරමුණ ඇතිව ජනමත විචාරණයකට ගියේය. මේ ජනමත විචාරණ අපභ්‍රංසය ද ජේ.ආර්. ගේ විධායක ජනාධිපති ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් ඇතුළේ හංගා තිබුණේ මෙහෙම අවස්ථාවකදී ප්‍රයෝජන ගන්නට බව පැහැදිලි විය. තමන් අතේ තිබූ බල පරාක්‍රමයේ රුස් වළල්ලෙන් මුලා වී සිටි ජේ.ආර්. තමන්ගේ ඇතැම් උපදේශකයන්ගේ අදහස් පවා ඉවත දමා ඡන්දය වෙනුවට ජනමත විචාරණය තැබුවේය.

හැබැයි ජේ.ආර්. ජනමත විචාරණයෙන් පැරදුණේ නැත. ඔහු දිනුවේය. හැබැයි මුළු රටම පරාද වූ බව ඊළඟ වසර කිහිපය ගෙවෙද්දී පැහැදිලි විය. ජේ.ආර්. ගේ ඡන්ද කල් දැමීමේ ගේමට උත්තර දුන්නේ ජනතාව නොවේ. ජනතාව අතරින් බිහිවූ සන්නද්ධ පිරිස්ය. උතුරේදීත් දකුණේදීත් එම ගේම් එකේ ප්‍රතිඵල පත්තු වුණේ තුවක්කු සහ බෝම්බ සමඟිනි. ජේ.ආර්. ගේ විධායක බලතල ඔහුගේ නිවෙසේ බිත්ති හතරට සීමා විය. ඡන්ද කල් දාන ගේම් එකේ ප්‍රතිඵල ඔහොමය.
හාර්වඩ් රිගිංන්ස් සහ මහාචාර්ය කේ.එම්. ද සිල්වා විසින් රචිත ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ ජේ.ආර්. සඳහන් කර තිබුණේ 1983 න් පස්සේ ජූලි කලබල ඇතිවූ බවත් එමෙන්ම නෑක්සලයිට් වැනි කාරණා ද මතු වූ බවත් ඒ සිදුවීම්වලින් පසුව සියල්ල බිඳී විසිරී යන්නට පටන්ගත් බවත්ය. ඒ කියන්නේ 1982 ජනමත විචාරණයෙන් වසරක් ඉක්ම යන තැනදී රට කලබලකාරී තත්ත්වයකට පත්වූ බව ජේ.ආර්. ම පිළිගෙන තිබූ බවය. ඡන්ද කල් දැමීමෙන් කවදාවත් රටට පමණක් නොව ඡන්ද කල් දැමූ ආණ්ඩුවලටද නරකක් මිස හොඳක් වී නැත
.

2017 දී යහපාලන ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දැම්මේය. හැබැයි 2018 දී ඒ ඡන්දය තවදුරටත් කල් දැමීමට හැකි වුණේ නැත. කල් දැමූ ඡන්දය පැවැත්වූ විට ආණ්ඩුවේ පළාත් පාලන බලය සී.සී.කඩ විය. ඊළඟ අවුරුද්දේ 2019 දී රටේ යුද්ධයෙන් පසු බරපතළම බෝම්බ පිපිරීමද සිදු විය. ඒ අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සමඟිනි. ඊට මාස 07කට පසු තැබූ ඡන්දයෙන් ආණ්ඩුව විසි විය. ඒ අවස්ථාවේ ජනාධිපතිවරණයෙන් පසුව පැවැති මහ මැතිවරණයේදී ලොකුම පරාජය ලැබුවේ යූ.එන්.පියයි. යූ.එන්.පියට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.

මේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණ අරගලයෙන් පසුව රටේ ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය වී ඇත්තේ මේ අවස්ථාව මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නැත යන්නයි. රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරවීම සඳහා පියවර ගනිමින් සිටින මේ කාලසීමාවේදී රටේ ජනතාවටද ඡන්දයක අවශ්‍යතාවක් නොමැති බවද ඔහු දරණ මතය වෙයි. මේ මතය දැරීම හේතුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් දැඩිව පවසන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සිතාමතා ඇතැම් යෝජනා ගෙන එන බවය. ජනාධිපතිවරයා ඡන්දය කල් දැමීමට විවිධ උපක්‍රම භාවිත කරන බවටද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරත් සජබ නායක සජිත් ප්‍රේමදාසත් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් පසුගිය දින කිහිපයේම චෝදනා නැගූහ. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒවාට උත්තර දෙන්න ගියේ නැත.

කෙසේ වුවද ඡන්දය කල් දැමීම පසුපසින් සිටින්නේ යූ.එන්.පියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් බව ඉතාම පැහැදිලිය. මේ දෙපාර්ශ්වයම ඡන්දයට ඇප බැන්දත් යටි සිතේ තිබෙන්නේ ඡන්දය කල් යා යුතු බවට විවාදයක් නැත. රටේ සිදුවන ඇතැම් සිදුවීම්ද ඒ අදහසම ඒත්තු යන ආකාරයට සිදුවෙන බවද පෙනෙන්නට තිබේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වීමත් පුත්තලමේ පැල්පතක පදිංචිව සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ පැල්පතට ගිනි තැබීමත් ඒ හා සම්බන්ධ සිදුවීම් වශයෙන් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයෝ දකිති. එසේම මැතිවරණ වියදම් නියාමන පනත හදිසියේ ගෙන ඇවිත් සම්මත කළේ ද ඡන්දය කල් දැමීමේ උපක්‍රමයක් වශයෙන් බවටද චෝදනා කරති. එම පනත සම්මත කිරීම සඳහා සහාය දැක්වූයේ පොදුජන පෙරමුණ මන්ත්‍රීන් පිරිසක් පමණි. පළාත් පාලන මන්ත්‍රීන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කළ යුතු බවට පසුගිය ඔක්තෝබර් 09 වැනිදා ජනාධිපති හදිසියේ යෝජනා කිරීමද තවත් එවැනිම උපක්‍රමයක් බවටද චෝදනා එල්ල විය.

පරාජය වීම වළක්වා ගැනීමට ඡන්දය කල් දැමීම හොඳ ප්‍රතිකර්මයක් නොවන බව අපේ රටේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය පෙන්වා දී තිබේ. සිරිමාවෝ ජනරජ පනතට මුවා වී ඡන්දය කල් දමා ඇන ගත්තේය. ජේ.ආර්. ඡන්දය වෙනුවට ජනමත විචාරණයක් තබා උතුරත් දකුණත් යුද්ධයකට මැදි කළේය. රනිල් ඡන්දය කල් දැමීමට කල් බලමින් ඉන්නේ මේ ඉතිහාසය තවමත් හදාරා ඉවර නැති නිසාදැයි කියන්න දන්නේ නැත. 

I ශශීන්ද්‍ර