2023 ජනවාරි 22 වන ඉරිදා

ඡන්ද කෝලාහලය

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 25

යෝජිත පළාත් පාලන මැතිවරණය එකම කලකෝලාහලයක් බවට පත්වෙමින් තිබේ. එසේ වී ඇත්තේ ඒ ඒ පක්ෂ අතර ගැටුම් හෝ අපේක්ෂකයන් අතර හෝ ගැටුම් හේතුවෙන් නොවේ. මේ මැතිවරණය පවත්වනවාද නැද්ද යන දෙගිඩියාව අතරේ මුළු රටම රැඳී සිටීම හේතුවෙනි.

මේ ඡන්දය පවත්වා අවසන් වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. එහෙත් එම ඡන්දය ඒ අවස්ථාවේදී නොපවත්වා එවකට බලයේ සිටි ගෝඨාභය රාජපක්ෂ රජය මගින් එය වසරකින් කල් දමනු ලැබීය. එම කල් දැමීමේ නියෝගයට අනුව ලබන මාර්තු මස 20 වැනිදාට පෙර රටේ පවතින පළාත් පාලන ආයතන 340ක ඡන්දය පවත්වා අවසන් කර මන්ත්‍රීන් තෝරා පත්කර තිබිය යුතු වෙයි. මැතිවරණ කොමිසම මේ දිනවල ක්‍රියාත්මක වෙමින් සිටින්නේ එම කාර්යය ඉටු කිරීම සඳහාය.

එහෙත් ඡන්දය මේ අවස්ථාවේදී නොපැවැත්විය යුතු බවට දැඩි මතයක් ආණ්ඩුවට සහාය දක්වන පාර්ශ්වවලින් දිගින් දිගටම ගෙන යමින් සිටී. විපක්ෂ දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන්නේ මැතිවරණය මාර්තු මස 20 වැනිදාට පෙර පවත්වා අවසන් කර මන්ත්‍රීන් පත්කර සිටිය යුතු බවය. ආණ්ඩුවේ මතය වෙනුවෙන් පෙනී සිටින පිරිස දරණ මතය වන්නේ රටේ පවතින බරපතළ ආර්ථික ගැටලු හේතුවෙන් මේ අවස්ථාවේදී මැතිවරණය වෙනුවෙන් බිලියන 10ක මුදලක් වෙන් කළ නොහැකි බවය. මැතිවරණ කොමිසම මාර්තු මාසයේදී එම මැතිවරණය පවත්වා අවසාන කිරීම සඳහා සූදානම් වෙයි. ජනතාව බඩ පිටපොත්තට අලවාගෙන තුෂ්නීම්භූතව බලා සිටිති.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් හදිසියේම නිකුත් කරන ලද ලිපියක් හේතුවෙන් ඡන්දය කල් දැමීමට රජය සැලසුම් සහගතව ක්‍රියා කරන බවට රට තුළ හැඟීමක් ඇති විය. ඔහු දිස්ත්‍රික් ලේකම්වරුන් අමතා ඇප මුදල් බාර නොගන්නැයි ඉල්ලීමක් කරමින් යවන ලද ලිපිය වහාම ආපසු කැඳවුවත් එම ගින්නෙන් නැගුණු දුමාරය තවමත් මැතිවරණ ක්ෂේත්‍රය පුරා හමා යමින් තිබේ. එම ලිපියට එරෙහිව මැතිවරණ කොමිසමත් විපක්ෂයේ දේශපාලන පක්ෂත් සිවිල් සංවිධාන කිහිපයකුත් විසින් දැඩිව හඬ නැගීම හේතුවෙන් ඒ ගැන කතාව යටපත් කර දැමීමට ආණ්ඩුව හීන් සිරුවේ කටයුතු කළ බවද පෙනී ගියේය.

පාර්ලිමේන්තුවේදී ඒ ගැන විපක්ෂ නායකයා විසින් ප්‍රශ්න කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩලය මැතිවරණ කොමිෂන් සභාවේ වැඩ කටයුතුවලට ඇඟිලි ගැසීමක් සිදු නොකරන බවය. එය එසේ නම් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා එවැනි ලිපියක් යවන ලද්දේ කුමන හේතුවකින්ද යන්න පැහැදිලි නැත. ඔහුට එවැනි ලිපියක් යැවීමට අවසර දුන්නේ කවුද යන ප්‍රශ්නයටද පිළිතුරක් නැත. එවැනි පිළිතුරු නැති ප්‍රශ්නවලින් ඡන්දය කල් දැමීමේ සැලසුමක් දියත් කෙරෙමින් පවතින බව පැහැදිලිව පෙන්වා දෙයි.

ඊළඟට පාර්ලිමේන්තුවට ගෙන එන ලද මැතිවරණ වියදම් පාලනය සහ නියාමනය කිරීමේ පනත් කෙටුම්පත හදිසියේ සම්මත කර ගැනීම පිටුපසද ඇත්තේ එවැනිම උත්සාහයක් බවට විපක්ෂය දිගටම චෝදනා කරමින් සිටී. විපක්ෂය සැක පහළ කරන්නේ නාමයෝජනා භාරගැනීමෙන් පසුව එම පනත උපයෝගී කර ගනිමින් ඡන්දය කල් දැමීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බවය. ඒ පිළිබඳ විවාදයේදී සජබ සහ ජා.ජ.බ. දිගින් දිගටම මේ ගැන අදහස් දැක්වූහ. ඡන්දයක් කල් දැමීමෙන් සිදු විය හැකි පල විපාක ගැන ද ඔවුහු පෙන්වා දුන්හ. විපක්ෂය කුමක් කීවත් ආණ්ඩුවේ මැති ඇමැතින් දක්වන ප්‍රතිචාරවලින් පැහැදිලි වන්නේ ඡන්දය කල් දැමීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නැති බවය.

ඡන්දයක් යනු දේශපාලන පක්ෂයක අයිතියක් නොව රටේ ජනතාවගේ පරම අයිතියකි. එම අයිතිය නිදහසේ භුක්ති විඳීමට ජනතාවට ඉඩ දිය යුතුය. විවිධ අණ පනත් හරහා එම අවස්ථාව රටට ජනතාවට අහිමි කිරීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු විය යුතු නැත. පුංචි මැතිවරණය කල් දැමීමට විවිධ හේතු ඉදිරිපත් කර ඉන් පසුව මහ මැතිවරණයකදී ජනතාව ඉදිරියට ගොස් ඡන්දය ඉල්ලීමට පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට සදාචාරාත්මක හැකියාවක් තිබේද යන්නත් ප්‍රශ්න කළ යුතුය. එහෙත් මේ රටේ දේශපාලන සංස්කෘතිය තුළ සදාචාරාත්මකභාවයට තිබෙන්නේ ඉතා සුළු ඉඩකඩක් බව සලකන විට ඒ ගැන පුදුම විය යුතු නැත.

ආර්ථික අර්බුදයක් හේතුවෙන් මැතිවරණය කල් දැමීමට යෝජනා කිරීමද සාධාරණීකරණය කළ නොහැක. පසුගිය අයවැයෙන් මේ මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙන බව ප්‍රකාශයට පත් වී තිබේ. මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ මැතිවරණය සඳහා එතරම් මුදලක් වැය නොවන බවත් වැය කරන මුදල ද එකවර නොව අවස්ථානුකූලව ලබාගත යුතු බවත්ය. හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් මහින්ද දේශප්‍රිය මහතාට අනුව ලංකාවේ ඡන්ද බොහොමයක් කෙරෙන්නේ ණයටය. ඡන්දයට පසුව එළඹෙන මාස කිහිපයේදී එම ණය පියවීම සිදුවන බවද ඔහු කියයි. ඒ අනුව දුර්වල ආර්ථිකය හේතුවෙන් ඡන්දය කල් දැමීමට ඉඩක් ඇත්ද යන්න ප්‍රශ්නයකි.

ආර්ථිකය බැරි නම් වෙනත් පනතක් හෝ යොදාගෙන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි යන සැකය අද රටේ ජනතාව අතර පවතී. එම සැකය දුරු කළ හැක්කේ රජය ඍජුවම තම මතය ප්‍රකාශ කිරීමෙන් පමණි.