2023 ජනවාරි 22 වන ඉරිදා

සිහිබුද්ධිය ඇති කෙනෙක් මේ වෙලාවේ ඡන්දයකට යන්නෙ නැහැ

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 32

බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

  • මුදල් සංචිත කඩා වැටිච්ච එකට දේශපාලන විසඳුමක් නැහැ
  • ශිෂ්‍යයන්ට විභාග සමත් වෙන හැටි කියාදෙන්න පුළුවන් දේශපාලකයන්ට ආර්ථිකය ගැන උගන්වන්න බැහැ
  • ඉවසගෙන හිටියොත් මේ අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්
  • වෙන කෙනෙක් රට බාරගත්තම රටට සල්ලි එනවද?
  • ඡන්ද කරන්න සල්ලි තියෙන්නෙ කොහේද?
  • මට කවදාවත් මුදල් ඇමැතිකම දෙන්නෙ නැහැ
  • සාත්තරේ නොදන්න අය නිසයි මේක වුණේ

මේ මොහොතේ හැමෝම කතාවෙන්නේ ඡන්දයක් ඕනෑද නැද්ද කියන කාරණය. මට ඉස්සෙල්ලම ඔබෙන් අහන්න තියෙන්නෙත් අන්න ඒ සරල ප්‍රශ්නය. මේ වෙලාවේ ඡන්දයක් ඕනෑද එපාද?

ලංකා ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාවට ළං වෙලා ඇති මොහොතක සිහිබුද්ධිය ඇති අය නම් මෙවැනි මැතිවරණයකට ගමන් කරන්නේ නෑ. ඒකට හේතුව ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය සේවකයන්ගේ වැටුප එකපාර දෙන්න බැරුව කොටස් දෙකකට දෙන මොහොතක්. මාස තුනක් යනකල් එහෙම කරන්න වෙනවා. ඒ බදු ආදායම ලැබෙන කල්. හැබැයි ඒ ලබන බදු ආදායම වියදම පියවාගන්න මදි. විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් දෙන්න බැරි මොහොතක, සමෘද්ධිය ගෙවාගන්න බැරි මොහොතක, බෙහෙත් ටික ගන්න බැරි මොහොතක මේ ආකාරයෙන් රජයත්, අපේක්ෂකයනුත් ඡන්දයක් වෙනුවෙන් සල්ලි වියදම් කරනවා කියන්නේ මට අනුව නම් ඇවිලෙන ගින්නට පැට්‍රල් ගහනවා වගේ වැඩක්.

දැන් අපි දන්නවා මැතිවරණය කල් දාන්න තියෙන්නේ අවස්ථා තුනයි. ඉන් එකක් ව්‍යවස්ථාදායකය හරහා පනතක් මගින්. අනෙක අධිකරණ වාරණයක් මගින්. තුන්වැනි එක මැතිවරණ පනත අනුව කොමිසමට. ඔබලා මොන අවස්ථාව අරන්ද මැතිවරණය කල්දාන්න යන්නේ?

මෙහෙමයි මැතිවරණයක් කොමිසම මගින් ආ‍රම්භ කළාම අපිට පක්ෂ හැටියට තියෙන්නේ ඒ මැතිවරණයට සූදානම් වෙලා, ඇප තියලා, නාමයෝජනා දීලා, සූදානම් වෙන එක. ඒත් මෙතැන තියෙන ප්‍රශ්නය ඒක නෙමෙයි. එහෙම මැතිවරණයක් තිබ්බොත් ඒ වියදම් දරන්නේ කොහොමද? මුදල් අමාත්‍යංශයේ ලේකම් කියන විදිහට එකවර මුදලක් දෙන්න එහෙම නෑ. ඔය රජයේ සේවක වැටුප අවස්ථා දෙකකට දෙන්න තීන්දු කරලා මේ වසර සඳහා අමාත්‍යංශ වැය ශීර්ෂවල මුදල් 5%කින් කපන්න තීන්දු කළා කැබිනට් මණ්ඩලය. රජයේ වියදම් 5%කින් කපන්න තීරණය කරපු වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඉල්ලුවා බෙහෙත් ගේන්න බිලියන 10ක්. ඒ බිලියන 10 දෙන්න බැරි නිසා කැබිනට් පත්‍රිකාවේ තිබ්බ 5%ක රජයේ වියදම 6%දක්වා වැඩි කළා. අන්න ඒ වැඩිකළ 1%න් තමා බෙහෙත් ගේන්න සල්ලි දුන්නේ.

ඔබ කියන ආර්ථික අවුල තේරෙනවා. ඒත් මැතිවරණය තියන්න කොමිසම තීන්දු කරලා ඉවරයි. යම් විදිහකින් තිබ්බොත් රටේ ආර්ථිකයට මොකද වෙන්නේ?

ගොඩක් ගැටලුවලට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම දෙයක් කියන්න ඕනෑ. මේ මැතිවරණය එක්ක යම් ප්‍රචණ්ඩත්වයක් ඇතිවෙමින් තියෙනවා. අර ශ්‍රීලනිපයෙන් තරග කරන්න ආපු අපේක්ෂිකාව ඝාතනය කිරීමත් එක්ක. ඒ නිසා හොඳ ආරක්ෂාවක් අවශ්‍යයි මේ වෙලාවේ. ඒ සඳහා පොලීසියට අවශ්‍ය මුදල්, තෙල් තියෙනවද කියන එක පොලීසිය භාර ඇමැතිගෙන් තමා අහන්න ඕන. මොකද ගම්වල යම් ආකාරයක ප්‍රචණ්ඩත්වයක් ඇති වුණොත් ඒ අපේක්ෂකයන්ටත්, කාර්යාලවලටත්, ආරක්ෂාව ලබාදෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා අහන්න ඕන ආරක්ෂක අමාත්‍යංශයෙන්.

මේ ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ කතාවුණේ නැද්ද?

මැතිවරණය සම්බන්ධයෙන් හැමදෙයක්ම අපි සාකච්ඡා කරනවා කැබිනට් එකේදී. ඒ ප්‍රශ්නවලට ගන්න යම් සහනදායි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක ගන්න අපි පැකිලෙන්නේ නෑ. මතක තියාගන්න අපේ ජාත්‍යන්තර සංචිතය කඩාවැටිලා තියෙන්නේ. මේකට දේශපාලන විසඳුමක් නෑ. අවශ්‍ය ආර්ථික විසඳුමක්. යම්කිසි බලවේගයක් ඇවිල්ලා රට ගත්ත කියන්න, ඒ ගත්තා කියලා විදේශ විනිමය අර්බුදයට විසඳුමක් නෑ. ක්‍රමය තියෙන්නේ එකයි. අපනයන ආදායම වැඩිකරන්න ඕනෑ. ආනයන වියදම අඩුකරන්න ඕනෑ. ඒත් මේ දෙක පහසුවෙන් කරන්න බෑ. මේ අර්බුදය ලෝකේ රටවල් කිහිපයක විතරයි තියෙන්නේ. මේකට ජාතික විසඳුමක් ඕනෑ.

දැන් මැතිවරණ වියදම් නියාමන පනත මේ වෙද්දී ආණ්ඩුව සම්මත කරගත්තා. විපක්ෂය කියන්නේ මැතිවරණය කල්දාන ආණ්ඩුවේ හොඳම තුරුම්පුව මේක කියලා. ඇත්තටම ආණ්ඩුව කළේ ඒක නේද?

මේ පනතට අදාළ විධිවිධාන මේ මැතිවරණයට අදාළ නොවන බව අග්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මැතිවරණයේදී අපේෂකයකුට වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොපමණද කියලා මේ පනත අනුව තීරණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව. ඒත් මේ මැතිවරණයේදී ගණනය කරන්න බෑ කියලා කොමිෂන් සභාව පවා කියලා තියෙනවා.

ඒත් පනත ගෙනාවේ නම් වෙන අරමුණක් නිසා නේද?

නෑ. මේ පනත ගෙනාවේ හොඳ අරමුණින්. මැතිවරණයේදී අසාමාන්‍ය ලෙස කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කරන එක නවත්තන්නත්, ඒ වගේම අයථා මුදල් හරහා මැතිවරණය සඳහා මුදල් යොදවන එක නවත්තන්නත්, ඒ වගේම මැතිවරණයෙන් පස්සේ ඒ සඳහා ප්‍රතිලාභ දෙන ඒවා නවත්තන්නත් තමයි මේ පනත ගෙනාවේ. මේක පක්ෂ විපක්ෂ හැමෝම පිළිගන්නවා. ඒත් සැකයක් තියෙනවා මේ පනත මේ මැතිවරණයට යොදාගනී කියලා. ඒත් කිසි විදිහකින් ඒක වෙන්නේ නෑ.

ඇමැතිතුමා පනතක් බලාත්මක වුණාම, ඒ පනත අනුව ක්‍රියා නොකොළොත් ඕන කෙනෙක්ට අධිකරණයට යන්න පුළුවන්, අවශ්‍ය නම් මැතිවරණයට වාරණයක් හරි ගන්න පුළුවන්. මේ කරන්න යන්නේ ඒක නේද?

ඒක ඉතින් අධිකරණයේ ලබාදෙන තීන්දු සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් දක්වන්න බෑ. නමුත් ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක කරන්න දැන් බෑ. හේතුව අදාළ ගණන් ගණනය කරන්නේ මැතිවරණ කොමිසම. මැතිවරණයක් කැඳවලා ඇති මොහොතක මේ වගේ කෙටි කාලයක් තුළ එවැනි වියදම් ගණනය කරන්න හැකියාවක් නෑ.

දැන් ආණ්ඩුවට මුදල් නැත්නම්, අවශ්‍ය පහසුකම් ලබාදෙන්න බැරිනම් ඔය කියන විදිහට මැතිවරණය තියන්න හැකියාවක් නැහැනේ?

මම දන්න හැටියට භාණ්ඩාගාරයේ තත්ත්වය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්තුමා අධිකරණයට කරුණු දක්වලා තිබෙනවා කියලයි ආරංචිය.

රාජ්‍ය වියදම පියවන්න එක පැත්තකින් බදු වැඩි කරනවා. ඒත් ඒක ප්‍රමාණවත් නෑ. තව පැත්තකින් ඩොලර් සංචිතයට හේදිලා ගිහින්. මේ තත්ත්වය එක්ක කොහොමද ආර්ථිකය ගොඩනගන්නේ?

ක්‍රමවේදය පැහැදිලියි. මේකේ කිසිම දේශපාලනඥයෙක් ළඟ දේශපාලන විසඳුමක් නෑ. මේක ආර්ථික අර්බුදයක්. ඒකේ උත්තර තියෙන්නේ ආර්ථික විද්‍යාඥයන් ළඟ. මේ පහුගිය කාලයටම පඩි දීලා තියෙන්නේ. සංවර්ධන වැඩකරලා තියෙන්නේ ණය වලිනුයි. මුදල් අච්චු ගැහීමෙනුයි. දැන් ඒ දෙකම කරන්න බෑ. මොකද දැන් අපි කියලා තියෙනවා ගත්ත ණය ගෙවන්න බෑ කියලා. ඒ නිසා ණය ගන්න බෑ දැන්. එදා 2019 සංවර්ධන බැඳුම්කර නිකුත් කරලා බිලියන 4ක් ගත්තා. අයි.එම්.එෆ්. එකෙන්වත් එහෙම ලැබෙන්නේ නෑ. දැන් සංවර්ධන බැඳුම්කර විකුණුවට ගන්න කෙනෙක් නෑ.

මූල්‍ය කප්පාදුව, රුකියා කප්පාදුව සහ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරන එක මේ සියල්ල වෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඕන විදිහට කියලා විපක්ෂය කියනවා. ඇත්තටම මේ දේවල් කරන්නේ එහෙමද? ණය දෙන්න එකඟ වෙලාද, නැත්නම් අපි මේ දේවල් කරන්නේ සුදුසුකම් ලබන්නද?

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයෝ. ඒ අය විටින් විට ජාත්‍යන්තර මූල්‍ය කළමනාකරණය සඳහා තීන්දු තීරණ ගන්නවා. ඒක කවුරුත් පිළිගන්නේ නෑ. ඒ දේවල් වලට පයින් ගහලා කාටත් ලංකාව පාලනය කරන්න බෑ. වැටුණ හැම වෙලාවකම ඇන්.ඇම්. පෙරේරාගේ ඉඳලා සියලුම මුදල් ඇමතිවරු මූල්‍ය අරමුදලට යටත්. ඒ අයගේ වැඩපිළිවෙල දේශපාලනඥයන් විසින් ඉටුකළ නොකළ එක ගැන තමයි ඒ අය කියන්නේ.

ඔබ හිටපු මුදල් ඇමති කෙනෙක්. මේ තත්ත්වය අනාගතයේ ඇතිවෙනවා කියලා දැක්කේ නැද්ද?

මේ තත්ත්වය ඇතිවෙන නිසා මම 2003 මුදල් අමාත්‍යවරයා හැටියට මේක වළක්වන්න පනතක් සම්මත කරගත්තා. ඒක 2003 මූල්‍ය වගකීම් කළමනාකරණ පනත. මේ පනතේ කරුණු තුනක් සඳහන් වෙනවා. අය වැය පරතරය 2006 වෙනකොට දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ට අඩුවෙන අතර දිගටම 5%ට අඩුවෙන් පවත්වාගෙන යනවා. දෙක 2013 වනවිට නොපියවූ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 65%කට අඩුකරලා ඒක දිගටම පවත්වාගෙන යනවා. තුන රජය රාජ්‍ය ණය සඳහා ඇප වෙන්නේ විය හැකි උපරිමය දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5යි. මේ නීතිය හරියට ක්‍රියාත්මක කළානම් අද මේ වගේ අර්බුදයක් ඇතිවෙන්නේ නෑ. අවුරුදු 20කට පෙර ගෙනාපු මේ පනත වැරුදි උපදේශකයන් විසින් වැරදි උපදෙස් දීලා කරපු සංශෝධන නිසා තමයි අද මේ රටට මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ.

මේ අර්බුදයෙන් මිදෙන්න කොච්චර ඩොලර් ප්‍රමාණයක් සංචිතයට මේ වෙද්දී ඕනද?

රටක විදේශ සංචිතය ඒ රටේ ආනයන වියදම පියවන්න මාස තුනකටවත් ප්‍රමාණවත් වෙන්න ඕන. ඒකට සූත්‍රයක් තිබෙනවා. ඒක ලෝකයේ හදලා තියෙන පොදු දර්ශකයක්. දැන් අපේ රට ඊටත් වඩා පහළ මට්ටමට වැටුණා. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අයතන අපිව පහළට ඇදලා දාන්නේ. ඒක මේ දේශපාලනඥයන්ට තේරෙන්නේ නෑ තමුන්ට දේශපාලන බලය ආපුවම වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. මේවාට අපිට හිතෙන දේවල් කරන්න බෑ. ලෝකයේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයෙන් බැහැරව මුදල් අච්චු ගැසීම, විනිමය අනුපාතය පහළ දැමීම, උද්දමනය පාලනය කිරීම වැනිදේ කරන්න බෑ. මේක සාස්තරයක්. ඒ සාත්තරය නොදන්න නිසයි මේක වුණේ.

ඒ කියන සාස්තරය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට අමතක වුණ නිසාද මේක වුණේ?

නෑ. හැම ආණ්ඩුවක්ම වගකියන්න ඕන. මම කිව්වේ ඒකනේ 2003දී මම ගෙනාපු පනත කඩපු හැම ආණ්ඩුවක්ම මේ වැරුද්දේ පංගුකාරයෝ.

එවැනි වැදගත් පනතක් ඇයි කවුරුත් පිළිගත්තේ නැත්තේ?

පිළිගත්තේ නැත්තේ කියන මිනිහට පිස්සුයි කිව්වනේ. රටේ මාධ්‍ය පවා අපහාසයට උපහාසයට ලක්කළා මිසක් ඒක ගණන් ගත්තේ නෑ. මම මේ ගැන පොත් 15ක් විතර ලියලා තියෙනවා. පාර්ලිමේන්තුවට පැමිණිලිත් කළා. ඒත් කිසිකෙනෙක් පිළිගත්තේ නෑ. ඉතින් මොකෝ කරන්නේ. මේක සාස්ත්‍රයක්. ඒක මම උගන්නලා තියෙනවා ලක්ෂ ගණනකට. මම ඒ වෙනුවෙන් රණ්ඩු පවා කරලා තියෙනවා. ශිෂ්‍යයන්ට විභාග පාස් වෙන්න කියාදෙන්න පුළුවන්. දේශපාලනඥයන්ට මේ ආර්ථිකය කියාදෙන්න බෑ.

ඒ කියන්නේ ඔබේ දැනුමෙන් කිසිම ආණ්ඩුවක් ප්‍රයෝජන ගත්තේ නෑ?

ඔව්. මට කීයටවත් මුදල් ඇමතිකම නොදෙන්නේ ඒකනේ. බැරිම වෙලාවක ගන්න කියනවා මිසක් අනෙක් වෙලාවට දෙන්නේ නැත්තේ ඒකනේ.

මේ වසර අවසන් වෙද්දී ජීවත්වෙන්න රටක් නැතිවෙයි කියලා බොහෝ අය කියනවා. ඒක ඇත්තද? එහෙම වෙයිද?

ණය ප්‍රතිව්‍යුහගත කරගන්න බැරිවුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසවන්තභාවය ගැන රටට සහතිකයක් ලබාගන්න බැ‍රි වුණොත් කියන්න තියෙන්නේ මහා ඛේදවාචකයකින් මේ කතාව අවසන් වෙන බව කියලා. සිම්බාබ්වේ සුඩානය වගේ රටවල්වලට වුණේ ඒක. ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න බැරි වුණොත් ඒක තමා වෙන්නේ. ඒත් කියන්න සතුටුයි ජනාධිපතිවරයා ඇතුළු අදාළ පාර්ශ්ව එකතුවෙලා දරලා තියෙන උත්සාහයෙන් ඉන්දියාව පැහැදිලි ලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන්න ලිඛිතව පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ වගේම චීනය සුබදායී පණිවිඩයක් ලබාදෙන බවට සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඉවසීමෙන් වැඩකළොත් මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් කියලා මම හිතනවා. විශ්වාස කරනවා.

I ගයාන් ගාල්ලගේ