2023 ජනවාරි 15 වන ඉරිදා

මිත්‍යාවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගලවා ගනිමු

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 74

ලංකාව ඇතුළේ මේ දවස්වල උණුසුම් මාතෘකාවලින් අඩුවක් නැත. ලයිට් බිලේ පටන් පුංචි ඡන්දය දක්වාම ඒවා පැතිර පවතී. ඒ අතරට ක්‍රිකට් ක්‍රීඩාවද කඩා වැදුණේ පසුගියදා නිකුත් වූ පංච පුද්ගල විමර්ශන කමිටු වාර්තාව ද සමඟිනි. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබුවේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතු වූ විවිධ චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහාය.

පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ට සහ කළමනාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ට එරෙහිව එල්ල වූ බරපතළ චෝදනා මෙවැනි කමිටුවක් පත් කිරීමට මග පෑදුවේය. ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූයේ ආසියානු ක්‍රිකට් ශූරයන් වීමේ අභිමානය ද සමඟිනි. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ දස්කම්වල කිසියම් පසුබෑමක් හේතුවෙන් මූලික තරගවලින් පසුව ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. එම පසුබෑම්වලට විවිධ කරුණු ගණනාවක් බලපා තිබූ අතර ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වූ කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවත් චාමික කරුණාරත්නට එරෙහිව තිබූ චෝදනාවත් මේ රටේද මහත් ආන්දෝලනයකට තුඩු දී තිබිණි. ඊට අමතරව ක්‍රීඩකයන් තවත් කිහිප දෙනකුටම එරෙහිව විනය කඩ කිරීමේ චෝදනා ද එල්ල වූ බවත් සඳහන් විය. විමර්ශන කමිටුවක් පත් කිරීම දක්වා තත්ත්වය උග්‍ර වූයේ ඒ හේතුවෙනි.

මේ චෝදනා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතුළේ &බෝර්න් අගේන්* අනුගාමිකයන් අතින් සිදුවන බලපෑම් ද සඳහන් විය. මේ බෝර්න් අගේන් ආගම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ වීමේ කතාව චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ කාලය දක්වා ඇදී යයි. එසේ වුවද එය වඩාත් උග්‍ර ලෙසට ප්‍රචාරය වුණේ පසුගිය මාස කිහිපය තුළදීය.

භානුක රාජපක්ෂ ක්‍රීඩකයාගේ දස්කම් සම්බන්ධයෙන් ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නමැති බෝර්න් අගේන් ආගමික නායකයා කළ ප්‍රකාශය හේතුවෙන් එම තත්ත්වය වඩාත් ව්‍යාකූල විය. මේ හැර ජෙෆ්රි වැන්ඩසේ සහ සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයන්ද, රුවන් කල්පගේ පුහුණුකරුද ක්‍රිකට් විනිසුරු ලින්ඩන් හැනිබල් සහ ක්‍රිකට් විස්තර ප්‍රචාරක රොෂාන් අබේසිංහ ද බෝර්න් අගේන් ආගම වැළඳගත් අය බවත් නිලධාරීන් වන ඈෂ්ලි ද සිල්වා සහ ජෙරම් ජයරත්න දෙදෙනා ද බෝර්න් අගේන් අනුගාමිකයන් බව ප්‍රසිද්ධ කරුණක් බවත් සඳහන් කරන එම වාර්තාව ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට එයින් යම් බලපෑමක් සිදුවී දැයි නොදන්නා මුත්, ප්‍රශ්න තිබෙන අය සොයා බලා උපකාර කිරීමේ මුවාවෙන් ඒ අයව අනුගාමිකයන් බවට පත්කර ගැනීමට උත්සාහ දරණ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි සඳහන් කර තිබේ. එසේම බෝර්න් අගේන් ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී බලපෑම් සිදුවීමට ඉඩ ඇති බවට නිරීක්ෂණය වන හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බවද කමිටු වාර්තාව නිර්දේශ කර තිබේ. අප වඩාත් අවධානය යොමු කරන්නේ එම කාරණාවටය.

කෙසේ වුවද මෙම පංච පුද්ගල කමිටුව නිකුත් කළ විමර්ශන වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි සඳහන් වේ. එම වාර්තාවේ සඳහන් මුදල් අවභාවිතය සහ &බෝර්න් අගේන්* ආගම් ප්‍රචාරය සම්බන්ධයෙන් නගන චෝදනා පදනම් විරහිත බවද ක්‍රිකට් ආයතනයේ මතය බවත් කියයි. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ තමන් බෝර්න් අගේන් අනුගාමිකයකු බවට කමිටු වාර්තාවෙන් කරන ප්‍රකාශයට පදනමක් නැති බවත් තමන් හොඳ කතෝලිකයකු බවත්ය.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය නගාසිටුවීමට, ජාත්‍යන්තර තරග දිනවීමට හෝ එක් එක් ක්‍රීඩකයාගේ කුසලතා ඉහළ නැංවීමට කිසියම් හෝ ආගමකට, ඇදහීමකට හෝ විශ්වාසයකට හැකියාව තිබෙන බවක් අපි මොහොතකට හෝ විශ්වාස නොකරමු. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළින්ම තරග දිනවන සුපිරි ක්‍රීඩකයන් කිසිවකුත් පිටිය මැදදී කිසියම් ආගමකට හෝ ඇදහීමකට හෝ සම්බන්ධ සලකුණු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරනු අප කිසි විටෙකත් දැක නැත. එසේ සිටියත් ඒ ඉතා කලාතුරකිනි. මිත්‍යා විශ්වාස මත එල්බගෙන විවිධ ආකාරයේ හැසිරීම්වල නිරත වන ක්‍රීඩකයන් සිටි පමණින් කිසිදු රටකට ජාත්‍යන්තර තරග ජය ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එසේ ලැබෙනවා යැයි සිතීම පවා මහත් මුලාවකි. නමුත් මේ මුලාවේ වැටී තම දස්කම් මෙහෙයවීම අදෘශ්‍යමාන හස්තයකට බාරදී සිටින ක්‍රීඩකයෝ අපේ රටේ සිටිති. ඉහත පංච පුද්ගල කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් පිළිබඳ දැඩි විමසිල්ලකින් සිටීම අවශ්‍ය බවය. එසේ නොවුණොත් එය අපේ රටම මහත් ආදරයෙන් වැළඳගෙන සිටින ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාවක් වීමට ද ඉඩ තිබේ.

හැම ක්‍රිකට් ක්‍රීඩකයකුටම තමන්ගේ අභිමතය පරිදි ඕනෑම ආගමක්, ඇදහීමක්, විශ්වාසයක් මත පදනම්ව කටයුතු කිරීමට පූර්ණ නිදහස තිබෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය. එහෙත් එවැනි ආගමික විශ්වාසයන් ක්‍රිකට් ක්‍රීඩාව තුළට ගෙන ඒමෙන් වැළකීම ඒ හැම ක්‍රීඩකයකුම සතු වගකීමකි. ක්‍රිකට් පිටිය තුළදී එය මිනිසුන්ගේ ක්‍රීඩාවක් මිස දෙවියන්ගේ ක්‍රීඩාවක් නොවන බව වටහා ගත යුතුය. අපේ ක්‍රීඩකයන්ගේ අනාගතයට ආගමික බලපෑම් කරන නිලධාරීන් සිටී නම් ඔවුන්ගෙන්ද අප ඉල්ලා සිටින්නේ දෙවියන්ගේ නාමෙන් එම පාපතර ක්‍රියාවෙන් වළකින ලෙසටය. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාගතය කුසලතාවලට මිස ඇදහීම්වලට ලඝු කළ යුතු නැත. එසේ ලඝු කිරීම ක්‍රීඩකයා පමණක් නොව ක්‍රීඩාවත් පහසුවෙන්ම වළලා දැමීමට හේතු වනු ඇත.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00