2023 ජනවාරි 08 වන ඉරිදා

එන්න එපා: අලුත් ලේකම්ට අමාත්‍යවරයා කියයි

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 164
නව අවුරුදු උදාවත් සමඟ අමාත්‍යාංශ ගණනාවකට අලුතින් ලේකම්වරුන් පත් කෙරුණි. මේ අතුරින් එක් ලේකම්වරයකුට තම අලුත් අමාත්‍යාංශයේ තනතුරේ වැඩ භාර ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. එම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයාගේ දැඩි විරෝධය එයට හේතු විය.

අමාත්‍යාංශ කිහිපයකම ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් මාරු කිරීමේ තීන්දුව ගනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. අදාළ අමාත්‍යවරයා තමන්ගේ ලේකම්වරයා මාරු කිරීමට ජනාධිපති විසින් ගනු ලැබූ තීන්දුව හේතුවෙන් මහත් සේ කෝපයට පත්ව සිටි බව සඳහන් වෙයි.

අලුතින් පත්කරන ලද ලේකම්වරයාට තම අමාත්‍යාංශයට අඩිය නොතබන්නැයි තර්ජනය කිරීමට මේ අමාත්‍යවරයා කටයුතු කර තිබිණි. තමන් ලේකම්වරයා පිළිනොගන්නා බවද අමාත්‍යවරයා ඔහුට දැනුම් දී තිබේ.

අසරණ තත්ත්වයට පත් ලේකම්වරයා තමන් ඊළඟට කළ යුත්තේ කුමක්දැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් පතන බවද දැනගන්නට තිබේ.

 
රාජ් රාජරත්නම් දැන් යාපනයේ

රාජ් රාජරත්නම් ශ්‍රී ලංකාවේ ඉපදී අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ හොල්ලාගෙන සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකි. එහෙත් කොටස් වෙළෙඳපොළ ඇතුළේ වංචනික ක්‍රියා සිදු කිරීමේ චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහුගේ කීර්ති නාමය විනාශ විය. ඔහු පසුගිය දිනවල නිවාඩුවක් ගත කිරීමට තම ''නිවෙසට'' පැමිණ සිටියේය.

අමෙරිකානු අධිකරණය මගින් කොටස් වෙළෙඳපොළේ සිදු කළ වංචාවට වරදකරු කළ රාජ් රාජරත්නම් 2009 දී වසර හතහමාරක කාලයකට සිරගත කරනු ලැබීය. ඔහුට කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීමද තහනම් කෙරිණි. එසේ වුවද සිරෙන් නිදහස් වීමෙන් පසුව යළිත් වරක් ව්‍යාපාරික ගනුදෙනු ඇරඹීමට ඔහු උත්සාහ දරමින් සිටී.

ඔහු ශ්‍රී ලංකාවට අමුත්තෙක් නොවේ. විශේෂයෙන් දේශපාලකයන් අතර ද කොළඹ ව්‍යාපාරික ප්‍රජාව තුළ ද ඔහු හොඳින් හඳුනන පුද්ගලයෙක්ව සිටියේය. ඔහු තම ව්‍යාපාර සරුවට කරගෙන ගිය කාලයේ ''ෆෝර්චූන්'' ජාත්‍යන්තර සඟරාව මගින් නම් කරන ලද ලොව ධනවත්ම පුද්ගලයන් 400 අතරේ රුඳී සිටියේය.

මෙරට යුද්ධය පැවති කාලයේ තම ධනය විවිධ කාරණා සඳහා ප්‍රදානය කළ බවට ද ඔහුට චෝදනා එල්ල විය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බළල් අතක් වූ ''ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය'' (ටී.ආර්.ඕ.) ඔහුගෙන් ආධාර ලැබූ එක් සංවිධානයකි. ඒ සඳහා ඔහු ප්‍රදානය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3.5ක් විය. පසු කාලයකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ පැවැත්වූ සම්බන්ධතා හේතුවෙන් අමෙරිකානු බලධාරීන් විසින් රාජ් රාජරත්නම්ගේ වත්කම් තහනම් කරනු ලැබීය.

මෙවර තම ශ්‍රී ලංකා සංචාරයේදී යාපනය ශික්ෂණ රෝහලට ගිය රාජරත්නම් එම රෝහලේ හෘද රෝග ඒකකයක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් කෝටි ගණනක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළේය. ඒ සමඟ ඔහු තමන් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු නීති බලධාරීන් තමන්ව කොටු කළ සිද්ධියේ තමන්ගේ පැත්ත අනාවරණය කරමින් ලියන ලද ''Uneven Justice'' පොත දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු හේතුවෙන් මේ දිනවල කාර්යබහුලව සිටී.

- සන්ඩේ ටයිම්ස්
 
ගෝඨාභයගේ වීසා ප්‍රශ්නය

පසුගිය නත්තල් දිනයේ (25) දහවල් එමිරේට්ස් ගුවන් යානයකින් (EK649) ඩුබායි බලා ගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා (05) යළි දිවයිනට පැමිණියේය. ඔහුගේ පුත් මනෝජ්, ලේලිය සෙව්වන්දි, බිරිඳ අයෝමා සහ මිණිපිරිය සමඟ ඩුබායි හි නිවාඩුවක් ගත කළ ගෝඨාභය ඇතුළු පිරිස එරට විශාලතම ගෘහස්ත උද්‍යානයට ගිය ඡායාරෑප සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. පසුව එම පිරිස ඩුබායි සාප්පු සංකීර්ණයේදී දැකගත හැකි වූ අතර ඔවුන්ට තරමක් පසුපසින් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් විය.

කෙසේ වුවද ඔහුගේ ඩුබායි සංචාරය ඇතැම් මාධ්‍ය මගින් හඳුන්වනු ලැබුවේ අමෙරිකාව බලා යාමක් හැටියටය. එය වැරදි ප්‍රවෘත්තියක් බව පසුව සඳහන් කෙරිණි. මේ හේතුවෙන් ගෝඨාභයගේ අමෙරිකානු වීසා පිළිබඳ කතිකාවක් ඇති විය. ''සන්ඩේ ටයිම්ස්'' පුවත්පතට අනුව එහි තත්ත්වය කෙටියෙන් මෙසේය.

ගෝඨාභය රාජපක්ෂට අමෙරිකාව බලා යාමට වීසා ලැබී නැත. ඔහුගේ නීතිවේදීන් විසින් අමෙරිකානු රජයෙන් එනම් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය ප්‍රතිස්ථාපනය කර දෙන ලෙසට කරන ලද ඉල්ලීම මේ දක්වා සැලකිල්ලට භාජනය කර නැත. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තම අමෙරිකානු පුරවැසිභාවය අත්හළේය. එය යළි ලබා දෙන ලෙසට ඉල්ලීම ඉදිරිපත් කෙරුණේ පසුගිය වසරේ සිදු වූ දේශපාලන පෙරළියෙන් පසුවය.

අමෙරිකානු තානාපති කාර්යාලය කිසිදා පුද්ගලයකුගේ වීසා ගැටලු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් නොකරයි. කෙසේ වුවද තතු දත් ආරංචි මාර්ග තහවුරු කළේ හිටපු ජනපතිගේ උත්සාහයන් තවම සාර්ථක වී නොමැති බවය. 

අමෙරිකානු ආගමන ක්‍රමවේදය පිළිබඳ හොඳින් දන්නා නිලධාරීන් ප්‍රකාශ කරන්නේ අමෙරිකානු පුරවැසිභාවය අත්හළ පුද්ගලයන්ට අමෙරිකාවට යාමට වීසා ලබා දීම සම්පූර්ණයෙන් තහනම් කර නැතත් එම අවස්ථාව වෙනත් පුද්ගලයන්ට වඩා ඉතාම සීමිත බවය. ඒ සඳහා අමෙරිකානු නීතියට අනුව ඔවුන් වෙනම ව්‍යවස්ථාපිත කොන්දේසි අනුගමනය කළ යුතුය. කෙසේ වුවද කලින් තිබූ පුරවැසි බව අත්හළ අයට ඒ සඳහා විශාල කාලයක් ගතවන බවත් නීතිමය කටයුතු සඳහා වැය කළ යුතු මුදල ඉතා විශාල බවත් සඳහන් වෙයි.

ඩුබායිවල සිට වෙනත් කිසිදු රටකට ගෝඨාභය රාජපක්ෂ මහතාට යා නොහැකි බවද එම නිලධාරීහු පෙන්වා දෙති. විශේෂයෙන් බටහිර රටවල නීති නිලධාරීන් ගුවන් තොටුපළෙන් ගොඩබැසීමේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඉඩකඩ තිබෙන බැවිනි.