2023 ජනවාරි 08 වන ඉරිදා

බිත්තර මිලේ කපටි සූත්තර

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 86

බිත්තරයක මිල රුපියල් 70ට ආසන්න වෙමින් පවතී. දැන් ආණ්ඩුව කියන්නේ බිත්තර පිටරටින් ගෙන්වීමට අනුමැතිය ලබා දුන් බවය. එසේ ගෙන්වීමෙන් වෙළෙඳපොළේ බිත්තරයක මිල අඩු කළ හැකිවනු ඇති බව රජයේ විශ්වාසය බව පෙනේ. තමන්ට බිත්තර දැමිය නොහැකි බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශය රජයට බිත්තර මිල ඉහළ යාම වැළැක්වීමට හෝ පාලනය කිරීමට හෝ තවදුරටත් හැකියාවක් නොමැති බවට හොඳ සංඥාවකි.

බිත්තර ප්‍රශ්නය රටේ පොදු මහජනතාවගේ පෝෂණය සමඟ ඍජුව ගැටෙන ගැටලුවක් වීම හේතුවෙන් එය රට තුළ බරපතළ කතිකාවක් ඇතිකර තිබේ. රටේ බොහොමයක් දෙනකුට ඉතාම අඩුම වියදමකින් ලබාගත හැකි ඉහළම පෝෂ්‍යදායක ආහාරයක් වශයෙන් බිත්තර සැලකෙයි. එය අප රටට පමණක් නොව ලෝකයටම පොදු ධර්මතාවකි. අපේ රටේ විශේෂයෙන් පාසල් යන දූ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට කිරි වීදුරුවත් බිත්තරයත් ප්‍රධාන සාධක දෙකක් වෙයි. මෙයින් කිරි වීදුරුව වර්තමානය වන විට බොහොමයක් මවුපියන්ට සිහිනයක් පමණි. එහෙත් කෙසේ හෝ දිනපතා බැරි නම් දින දෙක තුනකට වරක්වත් බිත්තරයක් දරුවකුගේ බත් පතට එකතු කිරීම ඕනෑම මවුපියකුගේ ලොකුම අවශ්‍යතාවයයි. නමුත් බිත්තරයක මිල මේ තරම් ඉහළට යද්දී එම අවශ්‍යතාව ඉටුකර ගැනීමද මවුපියන්ට සිහිනයක් වීම වැළැක්විය නොහැක.

කෙසේ වුවද බිත්තර පිටරටින් ගෙන්වන බවට රජය ප්‍රකාශ කිරීමත් සමඟ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා ප්‍රකාශ කළ ප්‍රකාශය අපගේ ''දේශය'' ප්‍රවෘත්තියකින් අනාවරණය වෙයි. රජය ආනයනය කරන බිත්තරයක මිල දැනගැනීමෙන් පසුව තමන්ගේ මිල ප්‍රකාශ කළ හැකි බවද ඔහු කියයි.

මෙය නම් මහා අපභ්‍රංසයකි. මෙතෙක් කාලයක් බිත්තර නිෂ්පාදකයන් ප්‍රකාශ කරමින් සිටියේ තම නිෂ්පාදන වියදම් ඉහළ නැගීමත්, බිත්තර දමන කිකිළියන් ශීඝ්‍රයෙන් අඩුවීමත්, කුකුළු කෑම සහ කිකිළියන්ට ලබා දෙන සියලු බෙහෙත් සහ විටමින් වර්ග මිල වැඩිවීමත් වැනි හේතු නිසා බිත්තර මිල මේ තරමට ඉහළ නැග තිබෙන බවත්ය. එසේ නම් රජය බිත්තර ගෙන්වා අඩු මිලට අලෙවි කරන බව කියූ පමණින් තමන්ගේ මිල අඩු කිරීමට හැකියාව එකවරම ලැබෙනවාද කියා ප්‍රශ්න කළ යුතුය. එසේ නැත්නම් අපට පැහැදිලි වන්නේ එක්කෝ බිත්තර නිෂ්පාදකයන් පසුගිය කාලයේ බිත්තරයක මිල ඉහළටම නංවා අධික ලාබයක් ලබාගෙන ඇති බවය. නැත්නම් මිල නැංවීමට දක්වන හේතු බොරු බවය. කවුරුන් ඇත්ත කියනවාද බොරු කියනවාද යන්න අපි නොදනිමු. අපට තේරුම් යන්නේ පිටරටින් බිත්තර ගෙන්වා දෙන බව කියූ සැණින් ලංකාවේ බිත්තරයක මිල එකවර පහළ යනවා නම් මෙතෙක් කල් බිත්තර නිෂ්පාදකයන් ලංකාවේ පාරිභෝගිකයාට බොරු කර තිබෙන බවය.

අපේ රටේ බිත්තර පමණක් නොව අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව යථාර්ථයයි. පසුගිය කාලය තුළ සහල් මිල හැර අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලේම මිල අහස උසට නැග තිබිණි. රටේ ජනගහණයේ සැලකිය යුතු ප්‍රතිශතයක් ආහාර හිඟතාවයකින් පෙළෙන බවටත් දරුවන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බවටත් තොරතුරු පළ වුණේ ඒ පසුබිමේය. එසේ තිබියදී බිත්තර මිල ද ඉහළ නැගීම විශේෂයෙන් දරුවන්ටත් රෝගී පුද්ගලයන්ටත් ඇති කරන බලපෑම විශාල බව තේරුම් ගැනීම අපහසු නැත.

මෙහිදී සියල්ලටම වඩා වැදගත් වන්නේ රටේ ජනතාවට අඩු මිලට ආහාර ද්‍රව්‍ය සැපයීම බව පෙන්වා දිය යුතුය. ලංකාව තුළ හිඟයකින් තොරව අඩු මිලට බිත්තර නිෂ්පාදනය වෙමින් තිබූ බවත් එම නිෂ්පාදනය විවිධ හේතූන් මත විශාල ප්‍රතිශතයකින් අඩු වී තිබෙන බවත් ඒ සමඟ පිළිගත යුතුය. ඒ පිළිබඳව බිත්තර නිෂ්පාදකයන් විසින් වරින් වර ප්‍රකාශ කරන සංඛ්‍යාලේඛනවල විශ්වාසනීයභාවය පිළිබඳ ගැටලු තිබුණත් සැබෑ ලෙසම දෛනික අවශ්‍යතාව පිරිමසන තරමට බිත්තර නිෂ්පාදනය නොවන බව යථාර්ථයයි. එසේ හිඟයක් පවතින විට මිල ගණන් ඉහළ යාමද සිදුවෙයි. මේ නිසා බිත්තරවලින් සපිරෙන සැබෑ පෝෂණ අවශ්‍යතා හේතුවෙන් බිත්තර පිටරටින් හෝ ගෙන්වා දිය යුතු බවට විවාදයක් නැත. මෙරට නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තුරු හෝ එය සිදුවිය යුතුය. එයට හරස් කැපීම හොඳ අදහසක් නොවේ. එහෙත් බිත්තර නිෂ්පාදකයන් අඩු මිලට බිත්තර සැපයීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ඔවුන්ටද අවස්ථාව ලබා දිය යුතුය.
වඩා වැදගත් වන්නේ පාරිභෝගික ජනතාවට අඩු මිලට බිත්තර ලබා දීමය. එසේ ලබා දීමට ආණ්ඩුවටද වගකීමක් තිබේ. අඩු මිලට ලැබෙන්නේ නම් ජනතාවට බිත්තර මොන රටෙන් ගෙන්නුවත් ප්‍රශ්නයක් නැත. පෝෂණ ගැටලුව සියල්ලටම වඩා උග්‍ර වී ඇති බැවිනි.