2023 ජනවාරි 01 වන ඉරිදා

දේශපාලන බිත්තර සූත්තර

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 100

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) බලයට ආවේ 2019 නොවැම්බරයේදීය. ඒ කාලයේ බිත්තරයක මිල රුපියල් 12ක් පමණි. ඒ මිල වරින් වර යම් තරමකට එහෙ මෙහෙ ගියත් ලොකුවට ඉහළ ගියේ නැත. හැබැයි ආණ්ඩුව බරපතළ ගැටලු, අර්බුදවලට මුහුණ දුන් ගෙවී ගිය අවුරුද්දේ මාර්තු මාසය වන විටත් බිත්තරයක මිල තිබුණේ රුපියල් 20 කටය. 

පසුගිය මාසය වන විට රටේ කෘෂිකර්ම අමාත්‍යවරයා වන මහින්ද අමරවීර රටේ බිත්තර නිෂ්පාදකයන් සමඟ කොකු පටලවාගෙන සිටියේ බිත්තරයක මිල තීරණය කර ගැනීමටය. කවදාවත් නැතුව බිත්තරයක මිල තීරණය කිරීමේ ගැටලුව උසාවිය දක්වාම ඇදී ගියේය.

රුපියල් 20ට තිබූ බිත්තරයේ මිල රුපියල් 60ත් ඉක්මවා යන විට ඇමැතිට සායම බේරාගන්න තිබූ හැම ක්‍රමයම වැසී තිබුණි. රටේ මිනිස්සු කනගාටුවෙන් බලා හිටියේ අඩුම මිලකට ලබාගත හැකි විශේෂයෙන්ම රටේ දරුවන්ගේ පෝෂණයට අදාළ ආහාරයක් වන බිත්තරයක මිල තමන්ට මිලදී ගත හැකි සීමාවෙන් ඉවතට ඇදී යන ආකාරයයි. බිත්තරයක මිල තීරණය කරගත නොහැකි ආණ්ඩුවක් පවතින බව ඔවුන්ට අමාරුවෙන් වුවත් විශ්වාස කිරීමට සිදුව තිබේ.

මෙතෙක් බලයට පත් හැම ආණ්ඩුවක්ම ජනතාවට කොළේ වසා ගහන ඇත්ත තත්ත්වය වසං කිරීමේ කාර්යය හොඳටම කර තිබේ. මහින්ද අමරවීරත් මේ වෙලාවේ කළේ එහෙම වැඩකි. ඔහු ලොරි කිහිපයකට බිත්තර පටවා නගර දෙක තුනකට යවා බිත්තරයක් රුපියල් 55ට මිලදී ගත හැකි බව කිව්වේය. රුපියල් 55 බිත්තර මිලදී ගන්නා පින්තූරත් මාධ්‍යයේ පළ කර ගත්තේය.

තමන් මහජනතාවට මහත් උදව්වක් කළ බව අමාත්‍යවරයා හිතන්නට ඇත. හැබැයි දැන් එහෙම ලෙහෙසියෙන් ඇස් බැන්දුම් කර ජනතාව රැවවීම අමාරුය. දිනකට මිලියන ගණනකට අවශ්‍ය බිත්තර ලොරි කිහිපයකින් බෙදා නිම කළ හැකි යැයි සිතන අයකු ඉන්නවා නම් ඔහු මරි මෝඩයෙක් විය යුතුය. ජනතාව එහෙම ඇන්දවීමට හැකි වූ කාලය ඉක්ම ගොස් තිබේ. ඔවුන් යළිත් ආණ්ඩුවේ ඇමැතිලාගේ මේ වගේ බිත්තර සූත්තරවලින් රැවටෙනු ඇතැයි හිතන්න අමාරුය. තමන්ද කැබිනට් ඇමැතිවරයකු වූ ආණ්ඩුවක් ගත් වැරදි තීන්දු තීරණ හේතුවෙන් අද මුළු රටේම ජනතාව දුක් විඳිමින් සිටියදී බිත්තරයක මිලටත් බොරු කරන්න හදන අමාත්‍යවරයකු වීම ගැන ඔහු ලැජ්ජා විය යුතුය.

අපි මේ බිත්තර කතාව කිව්වේ වැලේ වැල් නැතිව ඉන්න ජනතාවක් වෙසෙන රටකට බිත්තර සූත්තර දේශපාලනයක් කරන්න යාමේ පල විපාක ඉතාම භයානක විය හැකි යැයි පෙන්වා දීමටය. ආර්ථික අර්බුදයක පීඩනය හොඳටම දැනෙමින් සිටියදී ජනතාවට තවදුරටත් තමන් රවටනු දැකීම රුස්සන්නේ නැත. ඒ රුවටීමට තවදුරටත් ඉඩක් ඇතැයි සිතන අමරවීර වැනි ඇමැතිලා ඉන්න තුරු ආණ්ඩුව පුංචි ඡන්දයට පවා ඉදිරිපත් වීමට බියක් දැක්වීම ගැන පුදුම විය යුතු නැත.

මුළු ලෝකෙම කතා කරන දරුණු ආර්ථික කඩා වැටීමකට ලක්වූ රටක් හැටියට ලංකාව හැඳින්වෙන්නේ රටේ ජනතාවගේ වැරැද්දකින් නොව රටේ පාලකයන්ගේ වැරැද්දෙනි. ජනතාව කළ ලොකුම වරද අදක්ෂ, අකාර්යක්ෂම, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලකයන් බව දැන දැනත් මේ සමහරුන් වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරවීමට ඇප කැප වී කටයුතු කිරීමය. එයින් අමාරුවේ වැටුණේ රටේ ජනතාවය. ඔවුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ එළිය බැලූ බොහෝ දෙනා අද සුපිරි ධනවතුන් වෙති. ඔවුන්ගේ දරුවන් ඉගෙන ගන්නේ විදෙස් රටවලය. අසනීපයක් හැදුණු විට ප්‍රතිකාර ගන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේය. එහෙත් ජනතාවගේ දරුවන්ට පාසල් යාම පවා සිහිනයක් වන ලකුණු පහළ වෙමින් පවතී. ඒ සඳහා අවශ්‍ය පොත් පත්, උපකරණ, ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට මාපියන්ට ශක්තියක් නැත. පාසලේදී කෑමට බත්, පරිප්පු සහ බිත්තරයක් සහිත කෑම වේලක් පෙට්ටියක දමා යැවූ කාලය දැන් අවසන්ය. ඒ අස්සේ රුපියල් 55ට බිත්තර විකුණන බව කියන ඇමැතිවරු සිටීම විහිළුවක් පමණක් නොව මහා ප්‍රෝඩාවකි. අඩුම වශයෙන් දැන්වත් පවතින යථාර්ථය තේරුම් ගනිමින් ක්‍රියා කිරීමට ආණ්ඩුව පියවර නොගත්තොත් එහි ප්‍රතිවිපාක බරපතළ විය හැකිය.

ආණ්ඩුව ජනතාව පීඩාවට පත්වන අයුරින් කටයුතු කරන්නේ නම් එහි ඉන්නවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බව පොහොට්ටුවේ මන්ත්‍රී ජගත් කුමාර මහතා පසුගියදා කළ ප්‍රකාශයේ යටි අරුත පවතින යථාර්ථය තේරුම් ගැනීම බව පෙනෙන්නට තිබේ. එම ප්‍රකාශය දැනටද තුනකට කැඩී වෙන් වී ඇති පොහොට්ටුව තවදුරටත් කැඩෙන බවට පෙර නිමිත්තකි. ජගත් කුමාර මන්ත්‍රීවරයා සමඟ තවත් කිහිප දෙනකුම එහෙම ආණ්ඩුවෙන් යාමට සූදානම් බවද සඳහන්ය.

ජගත් කුමාර මන්ත්‍රීවරයා වරක් කීවේ ජනතාව දෙවේල කා ජීවත් වීමට පුරුදු විය යුතු බවය. එහෙම කියූ ඔහු අද කියන්නේ විදුලි බිල වැඩි කළොත් ඉදිරි මැතිවරණවලදී රෙදි ඇඳගෙන ජනතාව අසලට යාමට නොහැකි වන බවය. මේ අදහස් පළ කිරීම්වලින් ආණ්ඩුව ඇතුළේ කලකිරෙන පිරිස දිනෙන් දින වැඩිවෙන බව පෙනී යයි. මෙයට අමතරව කැබිනට් ඇමැතිකම් නොලැබීමෙන් කලකිරීමට පත් තවත් පිරිසක් ද වෙති. ඔවුන්ද තමන්ගේ ප්‍රශ්න ගැන අවධානය යොමු නොවන්නේ නම් වෙනතක් බලාගන්න සිදුවනු ඇතැයි කියන දවස වැඩි ඈතක නොවේ. එහෙම නම් ආණ්ඩුව වැඩ කරන්නේ කුමක් වෙනුවෙන්ද?

ආණ්ඩුව මේ දවස්වල මුල්තැන දී ඇත්තේ අයි.එම්.එෆ්. එකෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියන 2.9ක ණය ලබාගැනීමේ කාර්යයටය. එය ලබාගැනීම සඳහා ආණ්ඩුව හැම පියවරක්ම ගනිමින් සිටී. පසුගිය අගෝස්තුවේදී 76% කින් වැඩි කළ විදුලිය බිල තවත් 65% කින් වැඩි කිරීමට ගත් තීරණයට හේතුව ද එය බව කියයි. නමුත් ආණ්ඩුව මේ කරන්නේ ''හරා කිරි'' ක්‍රමයේ ණය ලබාගැනීමක් බව සමහරුන්ගේ මතයයි. විදුලිය බිල ඔය කියන ආකාරයට මාස කිහිපයක් තුළ වැඩි කරනවාට වඩා අයි.එම්.එෆ්. එක සමඟ සාකච්ඡා කොට එම වැඩි කිරීම් ඉදිරි වසර කිහිපය තුළදී කොටස් වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් හෝ අඩු තරමින් රජය ඉදිරිපත් කළ යුතුව තිබූ බව ඔවුහු කියති. ජනතාවට සහ රටේ කර්මාන්ත අංශවලට දරාගත නොහැකි මට්ටමකට විදුලිය බිල වැඩි කිරීමෙන් රජය අපේක්ෂා කරන ආදායම නොලැබී යාමටද ඉඩක් තිබේ. වැඩිවෙන ගාස්තුවට ඔරොත්තු නොදෙන සියලුම කර්මාන්ත ආයතන සහ කුඩා ව්‍යාපාරද වෙළෙඳ ආයතනද වසා දැමීම සිදුවිය හැකි බැවින් ඔවුන්ගෙන් විදුලිය ගාස්තු අය කිරීම ඇන හිටිනු ඇත. රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබා දෙන ඇඟලුම් කර්මාන්තයටත් තේ කර්මාන්ත ශාලාවලටත් මෙහි බලපෑම ඉතා තදින් දැනෙන අතර අවසානයේ ඩොලර් බිලියන 2.9ක ණය ආධාරය වසර 04 කදී ලැබී අවසන් වන විට ඩොලර් බිලියන හත අටක ආදායමක් රටට අහිමි වී තිබිය හැක.

අලුතින් ක්‍රියාත්මක වන ආදායම් බදු ඉහළ දැමීමද එවැනිම අනපේක්ෂිත ප්‍රතිඵල අත්කර දීමට ඉඩ තිබේ. රටට වාර්ෂිකව ඩොලර් බිලියන 02 පමණ බැගින් උපයා දෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයද එම ආදායම් බදු වැඩි කිරීම හරහා දුර්වල වීමට ඉඩ තිබෙන අතර අයි.එම්.එෆ්. ණය ලැබෙන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ලැබෙන ඩොලර් බිලියන ගණනක ආදායම අහිමි වී තිබීමට හොඳටම ඉඩ තිබේ. මේ සියල්ල එකතු කර අඩු කර බැලූ විට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9ක ණය ආධාරයක් ලබන විට ඩොලර් බිලියන 10ක පමණ ආදායමක් අතහැර දමන තත්ත්වයක් උදා වීමටත් බැරි නැත. මෙවැනි අවස්ථා පිළිබඳ උපදෙස් ලබා දෙන ආර්ථික විශ්ලේෂකයන් ආණ්ඩුව තුළ නැති දැයි විමසන තරමට මේ ගැටලුව උග්‍ර වෙමින් පවතී.

ආණ්ඩුව මේ අවුරුද්දේ ඊළඟට මුහුණදෙන ලොකුම ගැටලුව පුංචි ඡන්දයයි. පුංචි ඡන්දය පැවැත්විය යුතු බවට හැම අතින්ම අදහස් ප්‍රකාශ වෙද්දී ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් පමණක් උඩුගම් බලා පිහිනීමට උත්සාහයක් දරමින් සිටින බව පෙනී යයි. යූ.එන්.පි.යේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද එම පාර්ශ්වයට අයත්ය. බිත්තර සූත්තර දේශපාලනයක් කරන මහින්ද අමරවීරලාත් ඉන්නේ ඒ ගොඩේය. ඔවුන් පුංචි ඡන්දයට කැමැති නැත. එයින් පවතින ආණ්ඩුව වෙනස් නොවූවත් ඉදිරියේදී සිදුවිය හැකි දේශපාලන පෙරළියක පෙරනිමිති එම ප්‍රතිඵලවලින් පෙන්විය හැකි බැවිනි.

පුංචි ඡන්දය ගැන එතරම් ලොකුවට කතා නොකර සිටි ජාතික ජන බලවේගය ද පසුගිය දිනවල සිට යළිත් එය පැවැත්විය යුතු බවට ප්‍රබල ප්‍රචාරයක් දියත් කර තිබෙන බව පෙනී යයි. පන්නල මහජන ක්‍රීඩාංගණයේදී පසුගිය බදාදා (28) පැවති ''විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩනගන කටුගම්පොළ ආසන සමුළුව'' අමතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කළ කතාවේදී ඔහු පුංචි ඡන්දය ගැන කිව්වේ මෙහෙමය.

''මේ මාර්තු මාසයේ දහවැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුමයි. මේ පස්සට දාන්න එක එක ගැට ගැහුවත් ඒක හරි ගියේ නෑ. දැන් මැතිවරණ කොමිසමට බලය ලැබිලා තියෙන්නේ ඡන්දයට දින නියම කරන්න. හැබැයි මැතිවරණ කොමිසමත් රනිල්ලාගේ දහං ගැටවලට අහුවෙලා මැතිවරණය කල් දාන්න උත්සාහ කළොත් අපි කොහොම හරි මැදිහත් වෙලා ඡන්දය ගන්නවා. ජනතාවට මැතිවරණයකට යන්න තියෙන අවශ්‍යතා සපුරන්න ජාතික ජන බලවේගය මැදිහත් වෙනවා.''
සජබ කියන්නෙත් පුංචී ඡන්දය නොපැවැත්වීමට ආණ්ඩුව පියවර ගත්තොත් තමන් ජනතාව සමඟ පාරට බසින බවය. පොහොට්ටුවෙන් කැඩී ගිය කොටස් ද බලාගෙන ඉන්නේ කොහොම හරි තිබෙන ඡන්දයකදී තමන්ගේ සන්ධානයට තිබෙන තැන හඳුනා ගැනීමටය. ඒ වගේම පොහොට්ටුව ඡන්දෙට සූදානම් කිරීමට එහි ජාතික සංවිධායක බැසිල් දවස පුරාම වෙහෙස මහන්සි වී කටයුතු කරමින් සිටියි.

ආණ්ඩුව පැහැදිලිවම පුංචි ඡන්දය ගැන ඉන්නේ දෙගිඩියාවක බව පැහැදිලිය. එක අතකින් අයි.එම්.එෆ්. ණය ලබාගැනීමේ කොන්දේසි සැපිරිය යුතුය. ඒ සඳහා බඩු වැඩි කිරීම්, ගාස්තු වැඩි කිරීම් තීරණ ගත යුතුය. එහෙම තීරණ ගැනීම ජනතාවගේ ප්‍රබල විරෝධයට ලක් වීමකි. ජීවන වියදම තවදුරටත් ඉහළ යාමකි.

මෙහෙම වෙලාවකදී බිත්තර සූත්තර වගේ දේශපාලනයේ දෙකේ පන්තියේ වැඩවලින් වෙන්නේ තවදුරටත් ආණ්ඩුව ගැටලුවලට මැදි වීමය. ඊට වඩා බරපතළ වන්නේ පුංචි ඡන්දයට මුහුණ දෙනවාද? අයි.එම්.එෆ්. ණය කොන්දේසි ඉටුකර ජනතාවගේ විරෝධයට ලක් වෙනවාද යන දෙකින් එකක් තෝරා ගැනීමය. ඒ තේරීම නම් ආණ්ඩුවට පහසු වෙන්නේ නැත.

I ශශීන්ද්‍ර