2022 දෙසැම්බර් 25 වන ඉරිදා

පාලි - බෞද්ධ සරසවිය මුදා ගැනීම

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 131

හෝමාගම පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය පසුගිය දින කිහිපය තුළ පුවත් මැවූ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබිණි. එහෙත් කනගාටුවට හේතු වන්නේ එය ප්‍රධාන මාතෘකාවක් වී සිරස්තල බවට පත්වූයේ හොඳ හේතු නිසා නොව නරක හේතු නිසා බැවිනි. එම විශ්වවිද්‍යාල පරිශ්‍රය මුදා නොගත් ප්‍රදේශයක් වශයෙන් හඳුන්වන තරමට එහි තත්ත්වය බරපතළ වී තිබිණි. එහි වූ සිද්ධීන් අවසානයේ සිරස්තල බවට පත්වීම හේතුවෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පාලනය යළිත් බලධාරීන් අතට පත්වූ බවද එහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්වවිද්‍යාලය කෙටි කාලසීමාවකට වසා දමා පාලනාධිකාරිය සහ ශිෂ්‍යයන් අතර සබඳතා යහපත් අතට පත්කර ගනිමින් අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කිරීමටත් තීන්දු කර ඇති බවද සඳහන්ය. 

විශ්වවිද්‍යාලය ශිෂ්‍යයන් සඳහා වසා දැමීමෙන් පසුව එම පරිශ්‍රයට ඇතුළු වූ පාලනාධිකාරිය සහ පොලීසියට අත්හැර දැමූ ළිඳක තිබී හිස්කළ මත්පැන් බෝතල් සහ හිස් බියර් කෑන් දහසකට අධික සංඛ්‍යාවක් හමුවූ බවද මාධ්‍ය මගින් හෙළිකර තිබිණි. එය දුටු විශ්වවිද්‍යාල ආරක්ෂකයන් ප්‍රකාශ කර තිබුණේ එම ස්ථානය ස්කාගාරයක් මෙන් දිස් වූ බවය. තමන්ට තිබූ තර්ජන හේතුවෙන් විශ්වවිද්‍යාල ඇතුළේ පැවති මත්පැන් සාද නැවැත්වීමට නොහැකි වූ බවය. අවට ගම්වාසීන්ගේ ප්‍රකාශ වලින්ද එම විශ්වවිද්‍යාලයේ දිනපතාම පාහේ රාත්‍රී සංගීත සාජ්ජ පැවති බව තහවුරු විය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පාලනය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නොවේ. එහි පවතින්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පාලනයකි. එහි මහෝපාධ්‍ය (උප කුලපති) මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් විසින් එහි සිදුවූ නවකවද සහ සදාචාර සම්පන්න නොවන සිදුවීම් සම්බන්ධව සැකසූ වාර්තාවක් පසුගියදා ජනාධිපතිවරයා වෙත භාර දී තිබිණි. එසේම අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කර තීරණ ගැනීමටය. එම විශ්වවිද්‍යාල වසා දමා ඇත්තේ එම තීරණ ගැනීම සඳහා කාලය ලබා ගැනීමටය.

උගත් ධර්මධර සහ විනයගරුක භික්ෂුවක් සහ ගිහි විද්‍යාර්ථියෙක් බිහි කිරීමේ උදාර අරමුණු ඇතිව බිහිවූ විශ්වවිද්‍යාලයක් මේ ආකාරයට ගඳ ගසන නවකවද චෝදනා සහ සදාචාර විරෝධී හැසිරීම් හේතුවෙන් වසා දැමීමට සිදුවීම සම්බන්ධයෙන් එම කටයුතු මෙහෙය වූ තරුණ භික්ෂූන් වහන්සේලා ලැජ්ජා විය යුතුය. ඔවුන්ට ලැජ්ජාවක් නැතුවා විය හැක. එහෙත් ඒ සිදුවීම්වලට මුහුණ දුන් ගිහි - පැවිදි ශිෂ්‍ය පිරිස් විසින් හෙළිකළ කරුණු අහන දකින කාටත් ඒ ගැන ලැජ්ජා සිතෙන බවට නම් සැකයක් නැත. මෙම විශ්වවිද්‍යාලය තුළ විදෙස් සිසුන්ද අධ්‍යාපනය ලබන බැවින් එහි ''වැඩ විසූ'' නවකවද මෙහෙය වූ සහ කොණ්ඩා රeවුල් වවාගෙන රස්තියාදුකාරයන් සේ හැසිරුණු භික්ෂූන් වහන්සේලාගේ කෙරුවාවන්වල ගන්ධස්කාරය විදෙස් රටවලට පවා පැතිර ගොස් තිබෙන බව කිව යුතුය.

මෙය විශ්වවිද්‍යාලයක් වුවත් එහි අමානුෂික නවකවද ක්‍රියාකාරකම් සහ විනය විරෝධී ක්‍රියා පිළිබඳ සොයාබැලීමට කිසිදු ඉඩක් තිබී නැත. ඒ ගැන සෙවීමට කිසිදු බලධාරියකු විශ්වවිද්‍යාලය තුළ නොසිටි බවත් නවකවද ක්‍රියාකාරකම් පාලනය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් රජයත් ගන්නා තීරණ මෙම විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නොවන බවත් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති වාර්තාවේ සඳහන් බවද කියැවේ. ඒවා පාලනය කිරීමට කවුරුන් නොසිටියත් විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයන් ශිෂ්‍යයන්ට බලෙන් මත්පැන් පෙවූ සහ කුණු වතුර වළවල්වල දැමූ, අධික ලෙස ව්‍යායාම කරවූ සහ ලිංගික හිරිහැර සිදුකරමින් නවකවද ලබාදුන් සිසුන් අතර සිටි බවද සඳහන්ය.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ ඉගෙනුම ලැබූ ඇතැම් රැඩිකල් පෙනුමැති ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පසුගිය දින කිහිපයේ මහා සංඝරත්නයේ දැඩි විවේචනයට ලක්වූහ. කිසිදු විනයක් හෝ සදාචාරයක් නොමැති තැනක භික්ෂූත්වය ගැන කතා කිරීමත් පළක් නැති බව එයින් පැහැදිලි වෙයි. කෙසේ වුවද අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ප්‍රකාශ කර තිබුණේ හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවකවදය සහ දූෂිත ක්‍රියා රජයේ කුමන්ත්‍රණයක් බවය. මේවා අසත්‍ය කරුණු බවත් හුදෙකලා සිදුවීම් නවකවදය ලෙස හුවා දක්වන බවටත් එහිදී චෝදනා එල්ල වූ අතර ''ජොයින්ට්'' එක බොන එක සාමාන්‍ය දෙයක් බවද ප්‍රකාශ විය.

අන්තරේ භික්ෂු බලමණ්ඩලය කුමක් කීවත් මේ රටේ සියලුදෙනා සියලු දේ අසා සිටින්නේ සිහිබුද්ධියෙන් බව ඔවුන් දැන සිටිය යුතුය. විශ්වවිද්‍යාලය තුළ නිදහස් පරිසරයක් තිබිය යුතු බවට විවාදයක් නැත. එහෙත් එම නිදහස වල්බූරු නිදහසක් වශයෙන් භාවිත කරන තාක් මේ ප්‍රශ්න එසේම පවතින බවද අන්තරේ භික්ෂූන් දැන ගැනීම වැදගත්ය.

නවකවදයට එරෙහි වූ සිසුන් පිරිසක් නොවන්නට මේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ සිදුකෙරුණු අමානුෂික ක්‍රියාකාරකම් සහ විනය විරෝධී හැසිරීම් කවදාවත් එළියට නොඑන්නට ඉඩ තිබිණි. ඇතැම්විට මේ තාඩන පීඩන ඉවසාගත නොහැකිව මහා අපරාධයක් පවා සිදුවීමටද අවස්ථාව තිබිණි. එය මේ ආකාරයෙන් හෝ වැළකී ගොස් යහපත් පරිසරයක අධ්‍යයන කටයුතු සිදුකළ හැකි අයුරින් විශ්වවිද්‍යාලය විවෘත කර ගැනීමට වැඩපිළිවෙළක් සැකසීම සඳහා මාර්ගයක් විවෘත වීම ගැන සියලුදෙනා සතුටු විය යුතුය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00