2022 දෙසැම්බර් 18 වන ඉරිදා

පුංචි ඡන්දෙට බාධා එපා

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 84

පුංචි ඡන්දය ලොකු මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. එය එවැනි මාතෘකාවක් බවට පත්වෙන්නේ ඡන්දය පැවැත්වීමට වඩා නොපැවැත්වීමේ පැත්තට වඩාත් බරවෙමින් පවතින බැවිනි. ආණ්ඩුව කියන්නේ ඡන්දය පැවැත්වීමට තමන් බාධා නොකරන බවය. විපක්ෂය කියන්නේ ආණ්ඩුව ඡන්දය නොපැවැත්වීමට හොර ගල් අහුලමින් සිටින බවය. ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ජනවාරි 09 වැනිදා විසුරුවන බවට දේශපාලන කරළියේ කතාවක්ද පැතිර ගියේය.

පවතින මැතිවරණ නීති රීති අනුව ලබන මාර්තු මාසයේ 20 වැනිදා වනවිට සියලු පළාත් පාලන ආයතන අලුතින් ස්ථාපිත වී තිබිය යුතුය. ඒ අතර පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවන නිල නිවේදනය නිකුත් කරන බව පමණක් කොමිසම ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද මාර්තු 20 වැනිදා වනවිට අලුත් පළාත් පාලන ආයතන සිය ප්‍රථම රුස්වීම පැවැත්විය යුතු නම් ඒ සඳහා ජනවාරි 05 වැනිදාට ප්‍රථමයෙන් නාමයෝජනා කැඳවිය යුතුව තිබේ. එහෙත් එවැන්නක් සිදුවන බවක් තවම පෙනෙන්නට නැත.

පළාත් පාලන ඡන්දය වසරකින් කල් දැමීමට පියවර ගනු ලැබුවේ මේ වසර මුලදී රටේ පැවැති තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. මේ ආකාරයටම 2017 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයද කල් දමනු ලැබීය. එයට හේතුවූයේ එවකට රටේ පැවති තත්ත්වයට වඩා පැවති ආණ්ඩුවේ දේශපාලන අර්බුද හේතුවෙනි. ඒ අර්බුද හේතුවෙන් තමන්ට එම ඡන්දය ජයගැනීමට නොහැකි වනු ඇති බවට ඒ ආණ්ඩුවේ නායකයන් තුළ මතයක් පැවති බවද සඳහන් විය. එවර ඡන්දය කල්දැමීම සඳහා උපයෝගී කරගනු ලැබුවේ සීමා නිර්ණය කොමිෂන් සභාවය. පාර්ලිමේන්තු පනතකින් පළාත් පාලන මැතිවරණ නීති වෙනස් කිරීමට පියවර ගැනීමත් ඒ හරහා එවකට සිටි සභිකයන් සංඛ්‍යාව හාරදහස් ගණනක සිට නවදහසක් ඉක්මවා යන තරමට වැඩි කිරීමත් සමඟ එම ඡන්දය නොතබා බැරි විය.

එවර දවසකින් කල්ගිය පුංචි ඡන්දය 2018 පෙබරවාරි 10 වැනිදා පැවැත්විණි. පැවති යහපාලන ආණ්ඩුවට එයින් ලැබුණේ බරපතළ පරාජයකි. තවත් අවුරුදු එකහමාරකින් පසුව එම ආණ්ඩුව ජනාධිපතිවරණයෙන්ද මහ මැතිවරණයෙන්ද දරුණු ලෙස පරාජය විය. ඡන්ද කල් දැමීමෙන් හැම ආණ්ඩුවක්ම ලබා ඇත්තේ පරාජයක් පමණි.

ඡන්දය කල් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා කාරණා අවශ්‍ය පමණටත් වඩා රටේ දැන් පවතින බව බැලූ බැල්මට පෙනී යයි. ප්‍රධාන වශයෙන් ඒ සඳහා වැය කළ යුතු බවට ගණන් බලා ඇති රුපියල් කෝටි 1000ක් ඉක්මවා යන මුදල සොයාගැනිම බරපතල ප්‍රශ්නයකි. අනෙක් අතට රටට මහත් බරක් වී ඇති පළාත්පාලන සභිකයන්ගේ සංඛ්‍යාව අඩුකර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග ඇරඹුණේ ළඟදීය. සීමා නිර්ණය ඉක්මණින් කළ හැකි දෙයක් නොවන බවත් එහි අවසන් වාර්තාව ලබාදිය හැක්කේ ලබන පෙබරවාරි 28 වැනිදාට බව එම කොමිසමේ සභාපති හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබිණි. ඒ සමඟ පාර්ලිමේන්තුවෙන් ඇසුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබෙන ගැටලු සලකා බැලීමට තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවය. එවැනි පියවරකට යාම පුංචි ඡන්දය නොකෙරෙන දීගයක් බවට එක් පෙර නිමිත්තක් බව හොඳින්ම පැහැදිලිය.

මේ පසුබිමේ පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු පෙත්සම් දෙකක් මගින් ඉල්ලා ඇත්තේ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසටය. සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයාත් ශ්‍රීලනිප මහා ලේකම්වරයාත් මේ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. අදාළ ඡන්ද විමසීම නොපැවැත්වීමේ අවදානමක් මතුවී තිබෙන බවත් ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතාවගේ සර්වජන අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන බවත් එම පෙත්සම්වල සඳහන්ය.

මේ රටේ පළාත් පාලන ආයතන අතුරින් 340ක පමණ කාලය ඉකුත් වීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මස 19 වැනිදාය. මේ නිසා ඊට පෙර ඡන්දය පවත්වා අවසන් වීමට නම් මේ වනවිට එහි මූලික කටයුතු මැතිවරණ කොමිසම මගින් ආරම්භ කර තිබිය යුතුය. එහෙත් එවැනි සූදානමක් නැත. පුංචි ඡන්දය විපක්ෂයට අවශ්‍ය වුවත් ආණ්ඩුව ඒ ගැන එතරම් උනන්දුවක් නැති බව පෙනෙන්නට තිබේ. මෙහිදී වඩාත් වැදගත් වන මහජනතාව මේ ගැන දක්වන උනන්දුව පිළිබඳවද ඇත්තේ අවිනිශ්චිත බවකි.

ඒ කෙසේ වුවද වසරකට පෙර පැවැත්විය යුතුව තිබූ ඡන්දයක් විවිධ උප්පරවැට්ටි යොදා නොපැවැත්වීමට උත්සාහ දැරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක විය යුත්තක් නොවේ. රජය කළ යුත්තේ එම මැතිවණය පැවැත්වීමට බාධා කිරීම නොව මැතිවරණ කොමිසමට එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදීමය. පළාත් පාලන පනත යළිත් වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාගැනීම ආණ්ඩුවට පහසුවෙන් කළ හැකිය. රටේ වර්තමානයේ පවතින ඉතාම ව්‍යාකූල වූ ආර්ථික සහ දේශපාලන අර්බුදවලට හොඳම විසඳුමක් වන්නේද හැකි ඉක්මණින් මැතිවරණයකට යාම බව බහුතරයකගේ අදහස බවද පෙනී යයි. මුදල් නැති බව හෝ සීමා නිර්ණය අසම්පූර්ණ වී තිබීම හෝ පුංචි ඡන්දය නොපවත්වා සිටීමට බාධාවක් කර නොගත යුතුය. සියල්ල සම්පූර්ණ කරගෙන ඡන්දයක් පැවැත්වීමට කල් මරණවා යනු එය නොපැවැත්වීමට පාර කැපීමකි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00