2022 නොවැම්බර් 27 වන ඉරිදා

ඩයනාගේ බිලියන් ඩොලර් කතාවේ ඇත්ත නැත්ත

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 129

සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පසුගිය සතියේ යළිත් වරක් ශ්‍රී ලංකාවට තමන් ගෙන එන බිලියන් ඩොලර් ආයෝජන කතාවකට මැදි විය. ඒ නෙළුම් කුලුන සම්බන්ධයෙනි.

නෙළුම් කුලුන කළමනාකරණ (පෞ) සමාගම වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක් ලැබෙන ආයෝජන ව්‍යාපෘතියක් සඳහා සිංගප්පූරු සමාගමක් සමඟ පසුගියදා ගිවිසුම්ගත විය. ඒ කැසිනෝ සහ ජල ක්‍රීඩාද ඇතුළත් විනෝදාස්වාදය සපයන ව්‍යාපෘතියක් වෙනුවෙනි. මේ ගිවිසුමේ එක් කොටසක් වශයෙන් කුලුනේ එක් තට්ටුවක් කුලියට ලබා දීම සඳහා එම මුදල ලැබෙනු ඇත.

සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් (පෞ) සමාගම සහ නෙළුම් කුලුන සමාගම අතර ගිවිසුමෙන් වර්ග අඩි 44,000කින් සමන්විත කුලුනේ දෙවැනි මහල එම සමාගමට විනෝදාස්වාදය සපයන ව්‍යාපාරයක් සඳහා ලබා දෙනු ඇත. නෙළුම් කුලුන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ ''සන්ඩේ ටයිම්ස්'' පුවත්පතට ප්‍රකාශ කළේ ගිවිසුමට අනුව වාර්ෂිකව ලැබෙන කුලිය අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක් වන බවය.

කෙසේ වුවද ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ප්‍රකාශ කළේ මෙම ආයෝජනය හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක් ඉදිරි වසර තුන ඇතුළත ශ්‍රී ලංකාවට ලැබෙන බවය. මේ මුදල ලැබෙන බවට සනාථ කළ හැකි කිසිදු සංඛ්‍යා ලේඛනයක් ඇය ඉදිරිපත් කළේ නැත.

මාධ්‍ය සාකච්ඡාවට පසුව නිකුත් කෙරුණු නිවේදනයකින් ප්‍රකාශ වී තිබුණේ ඉදිරි මාස 06 තුළදී කැසිනෝ සහ ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාදය සපයන ව්‍යාපෘතියක් සඳහා නෙළුම් කුලුන සංවර්ධනය කෙරෙන බවය. වසර 10කට බලපැවැත්වෙන ගිවිසුමට අනුව ක්‍රියේට් ඩිසයින් සමාගමෙන් නෙළුම් කුලුන සමාගමට ආපසු ගෙවන අත්තිකාරම් මුදලක් ලැබෙන අතර ලබන අප්‍රේල් මාසයේ සිට එම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ඇරඹෙනු ඇත. බදු ගිවිසුමට අනුව වසර දෙකකට වරක් 10% කින් කුලිය වැඩි කෙරෙනු ඇත. මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ ප්‍රකාශ කළේ පසුගිය මාස දෙක තුළ රුපියල් මිලියන 198ක ආදායමක් ලබාගැනීමට නෙළුම් කුලුන සමාගම සමත් වූ බවය.

ලංකාව ගැන ලෝකෙට ගිය දුක හිතෙන කතාව

අමෙරිකාවේ සුප්‍රසිද්ධ ඒබීසී රූපවාහිනී නාලිකාව සතියේ දින පහක් පුරා විකාශය කරන ඩොලර් මිලියනයක තෑග්ගක් ලබා දෙන ප්‍රශ්නොත්තර වැඩසටහනේ අවසන් පූර්ව තරග අවස්ථාවේ අසා තිබූ එක් ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවට සම්බන්ධ වී තිබිණි. එම ප්‍රශ්නය පරිවර්තනය වූ විට මෙසේ විය.

''2022 ජූලි මාසයේදී මේ කියන රටේ නෙරපා හරිනු ලැබූ ජනාධිපතිවරයා ඉන්දීය සාගරයේ බටහිර ප්‍රදේශය හරහා ගොස් මාලදිවයින වෙත පලා ගියේය.''

අවසන් පූර්ව තරගයට සහභාගි වී සිටි තිදෙනාගෙන් දෙදෙනකු ''ශ්‍රී ලංකාව'' යනුවෙන් නිවැරදි පිළිතුර ලබා දී තිබිණි. තුන්වැනි තරගකරු වැරදි පිළිතුරක් ලබා දෙමින් ඉන්දුනීසියාව වශයෙන් එම රට නම් කර තිබිණි. කෙසේ වුවද මේ තිදෙනාම අවසන් වටයට යාමට නියමිතය. ලබන සතියේ ලබා දෙන ඩොලර් මිලියනයක ත්‍යාග මුදල සඳහා අසන ලද සෙසු ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු අනුව ඔවුන් තිදෙනාම අවසන් වටයට සුදුසුකම් ලබා සිටිති.

''Jeopardy'' වශයෙන් හැඳින්වෙන ඉතා ජනප්‍රිය මේ වැඩසටහන සෑම දිනකදීම ඔස්ට්‍රේලියාවේ සිට අමෙරිකාව දක්වා මිලියන ගණනක් නරඹති. එය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ රෑපවාහිනී වැඩසටහන් අතර විශිෂ්ටයා වශයෙනි.
ශ්‍රී ලංකාව යළිත් මාධ්‍ය සිරස්තලයක් මවා තිබේ. කනගාටුවට කරුණ වන්නේ එය වැරදි හේතු නිසා ලැබෙන ප්‍රසිද්ධියක් වීමය.

බිල් ගෙවීමේදී ලොක්කන්ට සොක්කන්ට නීති දෙකක්

ශ්‍රී ලංකාව තුළ නීති දෙකක් ක්‍රියාත්මක වන බව පොදු ජනතාව අතර පවතින ජනප්‍රිය මතයකි. දේශපාලකයන්ට එක් නීතියක් සහ පොදු මිනිසාට නව නීතියක් වශයෙනි. එහෙම මතයක් තිබීම ගැන පුදුම විය යුතු නැත.
මීට හොඳම උදාහරණයක් වන්නේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු බොහොමයක් දේශපාලනඥයන් තමන් ගෙවිය යුතු බිල්පත්වලට පොලු තැබීමය. මේ ඇතැම් අය වසර ගාණක් එසේ හිඟ හිටුවා ඇති විදුලි බිල්පත් වටිනාකමේ එකතුව මිලියන ගණන් ඉක්මවා යයි.

බොහොමයක් දුරට රාජ්‍ය සම්පත් මත රැඳී සිටිමින් සියලු වරදාන සහ වරප්‍රසාද භුක්ති විඳින මේ දේශපාලකයන්ට තමන් හිඟ හිටුවන බිල්පත් සම්බන්ධයෙන් දඬුවම් ලැබීමක් නැත. එහෙත් පොදු මිනිසා එක මාසයක් විදුලි බිල නෙගෙවා සිටියොත් ඔවුන්ට ලැබෙන්නේ රතු බිලකි. ගෙවීමට තිබෙන හිඟ මුදල රුපියල් 5000 ට වැඩි නම් විදුලිය විසන්ධි කිරීමේ අවදානමකටද ඔවුහු මුහුණ දෙති. මේ සම්බන්ධයෙන් ආසන්නම උදාහරණයක් වන්නේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් යාපනයේ තම කාර්යාලය පවත්වාගෙන යන ශ්‍රීධර් ගොඩනැගිල්ලට හිඟ හිටුවා ඇති මුදලය. අතීතයේ සිනමාහලක් වූ මෙම ගොඩනැගිල්ලේ මේ වනවිට හිඟ හිටුවා තිබෙන විදුලි බිලේ වටිනාකම රුපියල් අසූපන් ලක්ෂයකට (8550,982.50) අධිකය. එම ප්‍රමාණය 1998 නොවැම්බර් සිට 2014 නොවැම්බර් දක්වා පමණි. කෙසේ වුවද ඔහුගේ කාර්යාලය 2014 දෙසැම්බර් සිට ඉදිරියට බිල් ගෙවා ඇතත් හිඟ මුදල ගෙවීමට පියවර ගෙන නැත.

සිහි කැඳවීම් කොතරම් යැව්වත් හිඟ මුදල නොගෙවීම හේතුවෙන් පසුගිය දිනක එහි විදුලිය විසන්ධි කිරීමට ඒ ප්‍රදේශයේ විදුලිබල මණ්ඩල කාර්යාලය මගින් පියවර ගෙන තිබිණි.

මේ වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා විදුලිබල මණ්ඩලය ලබා තිබූ පාඩුව රුපියල් බිලියන 44.31ක් විය. මේ ආකාරයට බිල් නොගෙවන බලවතුන්ගෙන් අයවිය යුතු මුදල් කෙසේ හෝ අයකර ගැනීම අසරණ පොදු මිනිසාට රතු බිල් යවා විදුලිය විසන්ධි කරනවාට වඩා හැම අතින්ම යහපත්ය. මෑතකදී වැඩි කළ විදුලිය ගාස්තු හේතුවෙන් වඩාත්ම පහර වැදී ඇත්තේ ඔවුන්ටය.

- සන්ඩේ ටයිම්ස්