2022 නොවැම්බර් 20 වන ඉරිදා

පාඩු ලබන රාජ්‍ය ආයතන කුමටද?

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 42

මෙවර අයවැයේ කැපී පෙනෙන යෝජනා ගණනාවක් වෙයි. ඒ අතුරින් එකක් වන්නේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ යෝජනාවයි. එය පුළුල් අර්ථයකින් ගත් කල රජයේ පාලනයෙන් රාජ්‍ය ව්‍යවසාය යම්තාක් දුරකට අත්හැරීමක් වෙයි. පාඩු ලබන ශ්‍රී ලංකන් වැනි ආයතන සේම ලාබ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වැනි ආයතනද මේ ප්‍රතිව්‍යුහකරණයට ලක්විය යුතු බවට යෝජනා කෙරෙන්නේ එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට රජය සතුව සැලැස්මක් තිබීම හේතුවෙනි. සංකල්පයක් වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණය හරහා රජයේ පාලනය සීමා කර ගනිමින් භාණ්ඩාගාරය ආරක්ෂා කර ගැනීමට රජයේ ඇති සූදානම මෙයින් පැහැදිලි වෙයි.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහකරණයට රට ඇතුළෙන් ප්‍රතිවිරෝධතා මතුවීමට ඉඩ තිබෙන බව සඳහන් කළ යුතුය. දැනටම විවිධ පාර්ශ්ව ඒ පිළිබඳ සිය විරෝධය ප්‍රකාශ කරමින් සිටී. ඒ අතර අයවැය විවාදයට සහභාගී වන මැති ඇමැතින්ලාද වෙති. ඒ ගැන පුදුම විය යුතු නැත. රාජ්‍ය ව්‍යවසාය යනු තමන්ට හිතේ හැටියට දේශපාලන සහ පෞද්ගලික වාසි සඳහා තලු මර මරා යොදාගත හැකි හොඳ මෙවලමක් බව ඔවුන් දැන සිටි බැවිනි. ඒ අතර වෘත්තීය සමිතිද ප්‍රතිව්‍යුහකරණයට විරෝධය දැක්වීම බලාපොරොත්තු විය යුතුය.

රාජ්‍ය අංශයේ බොහොමයක් වෘත්තීය සමිති සිදුකරන්නේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන අවශ්‍යතා අනුව තමන්ගේ වෘත්තීය සමිතිය නැටවීමය. බලයේ සිටින රජයේ ආධාරකරුවන් විසින් මෙහෙයවන වෘත්තීය සමිතිවලට රාජ්‍ය ආයතනවල වැඩි බලයක් හිමිවීම හේතුවෙන් එවැනි සමිති සිටින්නේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට සහ ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට වඩා ආණ්ඩුවේ අවශ්‍යතා සපුරාදීමට බව පසුගිය කාලය පුරාම පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ආයතනය පාඩු ලබා කොතරම් වළපල්ලට වැටුණත් තමන්ගේ ''කල්ල මරේ'' බව මේ නායකයෝ හොඳින්ම දැන සිටිති. මේ නිසා ඔවුන් තම ආයතනය කොතරම් පාඩු ලැබුවත් ඒ ගැන හඬක් නගන්නේ නැත. එවැනි හඬක් නැගුවත් එය ඇසෙන නෑසෙන ගාණය.

අපේ රට මේ තරම් භයානක ආර්ථික අර්බුදයකට මුහුණදීමට එක් හේතුවක් වූයේද අධික පාඩු ලබන රාජ්‍ය ආයතන මගින් ආර්ථිකයට ඇති කරන ලද තෙරපීමය. ශ්‍රී ලංකන් වැනි ආයතනයත් මේ සඳහා ඉහළම ආදර්ශයක් සපයයි. එම ආයතනය ප්‍රතිව්‍යුහකරණය යටතේ පෞද්ගලික කළමනාකාරීත්වයක් සහිතව ක්‍රියාත්මක වූ අවධියේ හොඳින් ලාබ ලැබූ කීර්තිමත් ආයතනයක් වී තිබිණි. එහෙත් දේශපාලන බලාධිකාරියේ එක් අමනෝඥ තීරණයක් මගින් ඒ සියල්ල ආපස්සට හරවනු ලැබීය. ශ්‍රී ලංකන් සමාගම සමග ඒකාබද්ධව කටයුතු කළ එමිරේට්ස් සමාගම ලංකාවෙන් ගියේය. ආයතනය ආණ්ඩුවේ ඔඩොක්කුවට වැටුණි. ඉන්පසුව එය සමීප ඥාතීන්ගේ සහ ගජමිතුරන්ගේ රජදහනක් බවට පත් විය. මේ සියල්ලේ ප්‍රතිඵලය ප්‍රතිව්‍යුහගතව කටයුතු කිරීමේදී ලාබ ලැබූ ශ්‍රී ලන්කන් ආයතනය වාර්ෂිකව රුපියල් කෝටි 600කට වඩා පාඩු ලබන තත්ත්වයකට ඇද වැටීමය. මේ පාඩුව පියවෙන්නේ ජනතාවගේ බදු මුදලිනි. ඒ තත්ත්වය තවමත් වෙනසක් නැත.

සියලු රාජ්‍ය ආයතන පාඩු ලැබුවත් ඒ සියල්ල රජය සතුව තිබිය යුතු බවට ගිරිය පුප්පාගෙන කෑගසන දේශපාලනඥයන්ටත් සෙසු කණ්ඩායම්වලටත් ශ්‍රී ලංකන් ආයතනයට අත්වූ ඉරණම හොඳම පූර්වාදර්ශයකි. මේ යථාර්ථය දැන්වත් පැහැදිලි නොවන්නේ නම් එය රටේ අවාසනාවක් බව කිවයුතුය. රටේ සම්පත් රුකගෙන බඩගින්නේ හිටියත් සැපයි කියා සිතන කණ්ඩායම්ද මේ රටේ හිඟ නැත. මේ මිත්‍යාවේ ගැලී දශක 07ක් ගතවීමෙන් පසුව ආපසු හැරී බැලීමේදී ලොවේ සෙසු රටවල් තමන්ගේ සම්පත් ධන ආකර බවට පත් කරගෙන ආර්ථික වශයෙන් ඉහළ ප්‍රගතියක් අත්කරගෙන සිටින ආකාරයත් අප තවමත් අපේ සම්පත් කියමින් අධික ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන බදාගෙන විඳින දුකත් පැහැදිලිව තේරුම් ගැනීම අපහසු නැත. රටට ආර්ථික දියුණුවක් ඇතිකර ගත හැක්කේ රටේ සම්පත් ඔලුව උඩ තබාගෙන සටන්පාඨ කිය කියා සිටීමෙන් නොව කාලානුරෑපව සිදුවන ලොවේ නව ප්‍රවණතාවලට අනුගත වෙමින් එම ජාතික සම්පත් ධනෝපායන මාර්ග බවට පත්කර ගැනීමෙනි.

වරාය සම්බන්ධයෙන් කිවයුත්තේද මේ කරුණමය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට පවරා රටට වාසි සහගත ආයෝජනයක් සඳහා ගිවිසුම් ගතවූ අවස්ථාවේ රජයට සම්බන්ධ වෘත්තීය සමිති ඒකාබද්ධව එයට විරෝධය පෑවේය. එවකට සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයද අවසානයේ තෝරා ගත්තේ ආයෝජනය නොව වරාය රජය යටතේම තබා ගැනීමය. අදානිට බටහිර ජැටිය දුන්නත් ඒ සඳහා නැගෙනහිර තරමට ආයෝජනයක් නැත. මේ වනවිට අදානි ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරිකයාය. ශ්‍රී ලංකාව බංකොළොත් රටක් වශයෙන් හංවඩු ගැසිලාය. යථාර්ථයට පිටුපා කටයුතු කිරීමේ ප්‍රතිඵලය එයයි.

ශ්‍රී ලාංකික ජනතාව විරුද්ධ විය යුත්තේ ණය ගැනීම්වලට මිස ආයෝජනවලට නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පසුගියදා අපගේ සහෝදර ''අද'' පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. රාජ්‍ය අංශයේ ආයතන 400ක් පමණ අපේ රටේ තිබෙන බවත් එයින් වැඩි ප්‍රමාණයක් පාඩු ලබන සහ ජනතා මුදලින් නඩත්තු විය යුත්තේ ඇයි කියා සිතන්න සිදුවන ආයතන බවත් මහාචාර්යවරයා පෙන්වා දී තිබිණි. ඉන්දියාවේ තිබෙන්නේ රාජ්‍ය අංශ ආයතන 192ක් පමණක් බවද එහි සඳහන් විය.

ආයෝජන අවස්ථා වැඩි කර ගනිමින් රටේ ආදායම වර්ධනය කර ගැනීමට ක්‍රියා කරනවාද නැතහොත් වසර 70ක් තිස්සේම සිදු කළාක් මෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කරගෙන ඒවා බදාගෙන බංකොළොත් බවේ පතුලේම රුඳී සිටිනවාද යන්න දැන්වත් තීරණය කළ යුතුය.