2022 නොවැම්බර් 13 වන ඉරිදා

ශ්‍රී ලංකාව යළි ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළක

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 86
ජනවාර්ගික ප්‍රතිසන්ධාන නව වැඩපිළිවෙළක් ඇරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනිමින් සිටී. ඒ සඳහා බහුවිධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරුන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් පත් කිරීම මුලින්ම සිදුකෙරෙනු ඇත.
 
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන මෙම කමිටුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍ය අලි සබ්‍රි, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ අධිකරණ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සාමාජිකයෝ වෙති. මේ කණ්ඩායම සෑම සඳුදා දිනකම අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් වූ වහාම රැස්වී සාකච්ඡා කිරීමට නියමිත අතර කමිටුවේ අරමුණු හැකි ඉක්මනින් සපුරා ගැනීමට ප්‍රමුඛත්වය ලැබෙනු ඇත. මේ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් ඇරඹෙනු ඇත. කමිටුවේ කටයුතු පහසු කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම මෙහෙයුම් ඒකකයක්ද ස්ථාපිත කර ඇති අතර එය ලෙචුමාන්නන් ඉලංගෝවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වනු ඇත. ඒ මහතා උතුරේ ආණ්ඩුකාරවරයාගේ ලේකම් වශයෙන් ක්‍රියා කළ පළපුරුදු රාජ්‍ය නිලධාරියෙකි.
 
මෙවැනි ඒකකයක් පිහිටුවීම අදාළ කාර්යයට රජය ලබා දී තිබෙන ප්‍රමුඛත්වය පෙන්වයි. ජනවාර්ගික ප්‍රතිසන්ධාන කටයුතුවලට සම්බන්ධ සියලු පාර්ශ්වවලින්ද මහජනතාවගෙන්ද වරින් වර අදාළ කරණා සම්බන්ධයෙන් මත විමසුම් කිරීමද ඉක්මනින්ම ඇරඹෙනු ඇත. හිටපු ජනපතිනි චන්ද්‍රිකා මේ වන විටද ප්‍රතිසන්ධානයට අදාළ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ජනාධිපතිගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
 
පසුගියදා ජිනීවාහිදී අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුකෙරුණු කාරණාවලට පිළිතුරක් වශයෙන් මෙවැනි වැඩපිළිවෙළක් ඉක්මනින් ඇරඹීමට හේතු වී තිබෙන බවට සැකයක් නැත. මේ වැඩපිළිවෙළ දකුණු අප්‍රිකාවේ සිදු වූ සත්‍ය සෙවීමේ කොමිසමේ මොඩලයේ එකක් වනු ඇතැයි අපේක්ෂිතය.
 
මෙවැනි වැඩපිළිවෙළකට යා යුතු බවට යෝජනාවක් යහපාලන ආණ්ඩුව යටතේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්ද යෝජනා කෙරිණි. එවකට අග්‍රාමාත්‍ය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සඳහා වන අවබෝධාත්මක ලියැවිල්ලක්ද සකස් කර තිබිණි.
 
කෙසේ වුවද මෙහිදී වැදගත්ම කාරණාව වන්නේ වගවීමේ වැඩපිළිවෙළකින් තොරව මෙවැනි ක්‍රියාවලියක් සිදු කළ හැකිද යන්නය. වත්මන් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අතින් ඉටුවන්නේද එම ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන යාමයි. කොටි සංවිධානය පරාජය කිරීමෙන් වසර 13කට පසුව සිදුකිරීමට යන මේ වැඩපිළිවෙළ සඳහා පවතින වාතාවරණය යටතේ අදාළ පාර්ශ්ව සූදානම්ද යන ප්‍රශ්නය ඉතිරිව තිබේ. දකුණු අප්‍රිකාවේ මෙන් නොව ශ්‍රී ලංකා රජයට සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළක් මෙහෙයවීම ඉතා දුෂ්කර කාර්යයක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.
 
- සන්ඩේ ටයිම්ස් 
 
යාල යකා නැටූ ප්‍රභූ පුතුන් නිදැල්ලේ
 
දැනට සති කිහිපයකට පෙර මේ රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාල අභය භූමියේ යකා නැටූ ප්‍රභූ පුතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඉතාම සෙමින් සිදුවන බවට පරිසරවේදීන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී. සිද්ධියට අදාළ සියලු දෙනාට එරෙහිව තරාතිරම් නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවට කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා හැරෙන හැරෙන වාරයක් පාසා ප්‍රකාශ නිකුත් කළේය. මේ කතාවම ඔහු පාර්ලිමේන්තුවේදීද කීවේය.
 
එහෙත් සිදුවෙමින් පවතින්නේ සමස්ත සිද්ධියම යටගැසීමේ ක්‍රියාවලියක් බවට පරිසරවේදීහු චෝදනා කරති. එයට හේතු ගණනාවක් ඔවුහු ගෙනහැර දක්වති.
 
එයින් ප්‍රධානම කාරණයක් වන්නේ සිද්ධියට අදාළ වාහන සංඛ්‍යාව 35ක් සහ 40ක් අතර වූ බව සැමවිටම යට ගැසීමය. සිද්ධිය සම්බන්ධයෙන් පස්දෙනකු පමණක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්නය එතැනින් අවසන් කිරීම එහි අරමුණ බව පෙනෙන්නට තිබේ.
යාලට එදින ඇතුළු වූ මේ සියලු වාහනවල අයිතිකරුවන් සොයා ගැනීම අපහසු කරුණක් නොවේ. සියලු විස්තර කැමරාවල සටහන් වී ඇති බැවිනි. මේ සිද්ධිය ඔවුන් විසින්ම සමාජ මාධ්‍යවලට මුදාහැර තිබිණි. එහෙත් මෙතරම් පහසුකම් තිබියදීත් වාහන අයිතිකරුවන් සෙවීම පසෙක තබා රියැදුරන් කිහිප දෙනකු පමණක් අත්අඩංගුවට ගැනීමත් ඔවුන් සමඟ යාල ඇතුළට ගිය සේවකයන් හත්දෙනකුගේ වැඩ තහනම් කිරීමත් තුළින් සමස්ත සිද්ධිය යටපත් කිරීමේ සැලැස්ම හොඳින්ම ක්‍රියාත්මක වන බව පෙන්වා දෙයි. අමාත්‍යවරයා ''ලොරි ටෝක්'' දුන්නත් රටේ ජනතාව බඩගින්නේ සිටියදී පාසල් ළමුන් මන්දපෝෂණයට ගොදුරු වෙද්දී රජයට ආදායම් උපදවන යාල අභය භූමිය පිටකොටුවේ හරස් පාරක් ගාණට ඇද දැමූ මේ සුපිරි පුතුන් ටික අත්අඩංගුවට ගැනීම නම් කවදාවත් සිදු නොවන දෙයක් බව රටේ පොදු මහජනතාවගේ පිළිගැනීමය. මේ සියලු වාහන අධික ලෙස තෙල් පුච්චන සුපිරි ගණයේ ඒවා බව වීඩියෝ දර්ශනවලින් පැහැදිලි වෙයි. මේවා එළවන ''කොල්ලෝ'' ''අපේ කොල්ලෝ'' වශයෙන් හඳුන්වන අමාත්‍යවරුන් සිටින තුරු මේ පිරිස අත්අඩංගුවට පත්වන්නේ නැත. අත්අඩංගුවට පත්විය යුතු එක් අයකු දේශපාලන බලවතකුගේ බෑණනුවන් කෙනකු බවද (මේ වන විටද අත්අඩංගුවේ සිටින ඇමැති ඥාතියාට අමතරව) සඳහන්ය.
 
දැන් සිදුවෙමින් පවතින්නේ යාල විනාශය මහජනතාවට අමතක වන්නට ඉඩ හරින ක්‍රියාවලියකි. අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් මේ ආකාරයට හැසිරෙන විට රටේ සාමාන්‍ය මහජනතාව නීතිගරුකව හැසිරෙනු ඇතැයි බලාපොරොත්තු වීම නිෂ්ඵලය. සිද්ධිය පිළිබඳව ''අපක්ෂපාතී පරීක්ෂණයක්'' සිදු කරන්නැයි ජනාධිපතිවරයා වනජීවී දෙපාර්තමේන්තුවට කළ නියෝගයද පවතින තත්ත්වය යටතේ සිදුවනු ඇතැයි බලාපොරොත්තු වීම මිරිඟුවක් පමණි. වත්මන් වනජීවී අමාත්‍යවරයා මෙම ධුරය දරණ තුරු යාල අභය භූමියේ විනාශය පිළිබඳ සැබෑ විමර්ශනයක් සිදුවීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් බවද සමහරු කියති.
 
මෙහි වඩාත්ම පුදුමය නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් ද යාල සිද්ධිය සම්බන්ධයෙන් දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය. මුලදී බොරුවට මෙන් කිහිප වතාවක් හඬක් නැගුවත් මේ සියලු දෙනා දැන් සද්ද වහගෙන සිටිති. අඩුම තරමින් හැමදේටම සද්ද කරන ජවිපෙත් නිහඬය.
 
රටට අයිති අභය භූමි පමණක් නොව රාජ්‍ය දේපොළ පවා තමන්ට රිසි සේ පරිහරණය කොට ඒවායින් සිදුවන විනාශයට වග නොකියන මැති ඇමැතින් සහ නිලධාරීන් සිටින එකම රට ලංකාවදැයි සමහරු ප්‍රශ්න කරති.
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00