2022 නොවැම්බර් 13 වන ඉරිදා

කොරේ පිටට මරේ වූ ධනුෂ්ක

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 103

ආබාධවලට ලක්වූ ක්‍රීඩකයන් සංඛ්‍යාවේ වැඩිවීමත් සමඟ කොර වූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ධනුෂ්ක ගුණතිලක හා සම්බන්ධ වූ ලිංගික චෝදනා කොරේ පිටට මරේ වීමක් විය.

ලෝක කුසලාන තරග මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් තුළ තිබූ බලාපොරොත්තු සුන් වුවද එම තරග මාලාවෙන් පසුව ශ්‍රී ලංකාවට ධනාත්මක කරුණු කිහිපයක් ද එකතු විය. වනිදු හසරංග තරග මාලාවේ වැඩිම කඩුලු ලාභියා වීමත් ශ්‍රී ලංකාව මීළඟ විස්සයි20 ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියකට මුහුණ දීමෙන් වැළකීමට හැකිවීමත් ඉන් දෙකකි.

එහෙත් ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රියාවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපයට සිදුවූයේ බරපතළ හානියකි. ඔස්ට්‍රේලියානු ලෝක කුසලාන තරග සංචාරය අතරතුරදී සිඩ්නි නගරයේ කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ල වූ අතර ඔහු මේ වනවිට සිඩ්නි සිර මැදිරියක රඳවනු ලැබ සිටී. සිඩ්නි පොලීසිය ප්‍රකාශ කර ඇති පරිදි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි මේ ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව පැය කිහිපයක් කාන්තාවක් රඳවා තබාගෙන පහරදීම් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. උසාවියට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ඔහු බන්ධනාගාර ගත කර ඇත. මේ සිද්ධිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ විනය සම්බන්ධයෙන් මෙතෙක් කාලයකට එල්ල වූ බරපතළම චෝදනාව වශයෙන් සැලකිය හැකිය.

ධනුෂ්ක ගුණතිලක මේ අමාරුවේ වැටී සිටින්නේ අමාරුවෙන් ගොඩනංවාගත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්ති නාමයද කෙළෙසාගෙන බවද කිව යුතුය. විදෙස් සංචාරයක යෙදෙන සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම මේ රටේ සන්නාම තානාපතිවරයෙක් වශයෙන් නිරායාසයෙන්ම සැලකුම් ලබයි. මේ නිසා ඔහුගේ එතෙර රටකදී හැසිරීම මේ තානාපති ධුරයේ වගකීම්වලට අනුකූලව සිදුවිය යුතුය. ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආචාරධර්ම පිළිබඳ අතීතයේ පටන්ම කිසියම් අවබෝධයක් ලබා දෙන්නේ මේ ගෞරවය, කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම ලොකු වගකීමක් බැවිනි. එය නොතකා ක්‍රියා කරන සෑම ක්‍රීඩකයෙක්ම සිදු කරන්නේ රටට අවනම්බුවකි. කොතරම් දක්ෂයකු වුවද විනය විරෝධීව හැසිරෙන්නේ නම් ඔහු අපේ රටට අවනම්බුවක් වීම වැළැක්විය නොහැක. ධනුෂ්ක ගුණතිලක ඒ සඳහා ආසන්නම උදාහරණයයි.

විදෙස් සංචාරවල නියැලෙන ක්‍රීඩකයන්ගේ සියලු නිදහස අහුරා දැමිය යුතු යැයි එයින් අදහස් නොකෙරේ. වෙනත් රටවල ක්‍රීඩකයන් වුවද විදෙස් සංචාරයේ යෙදෙන අවස්ථාවලදී තමන්ගේ අභිමතය පරිදි තම නිදහස භුක්ති විඳිති. එම නිදහසේ සීමාව කොතැනදැයි මේ සියලු ක්‍රීඩකයන් දැන සිටිය යුතුය. ඒ ඒ රටවල ක්‍රිකට් පාලක මණ්ඩලවලින් මේ අවස්ථාවලදී හැසිරිය යුතු ආකාරය පිළිබඳ නීති පද්ධතියක් සකස් කර තිබේ. ඒවාට අනුකූලව තමන්ගේ නිදහස භුක්ති විඳීමෙන් තමන්ට හෝ තමන්ගේ රටට හෝ කිසිදු අවනම්බුවක් සිදුවන්නේ නැත. ධනුෂ්ක ගුණතිලකගේ හැසිරීම පෙන්වා දෙන්නේ ඔහුට ජාතික ක්‍රීඩකයකු වශයෙන් තමන් රැකිය යුතු ආචාරධර්ම පිළිබඳ අබමල් රේණුවක හෝ හැඟීමක් දැනීමක් තිබී නැති බවය. නැතහොත් තමන් දන්නා ආචාරධර්මවල පවා රෙදි ගැලවෙන තරමට බීමත්ව සිට ඇති බවය.

ක්‍රිකට් ක්‍රීඩකයන් එතෙර සංචාරයක යෙදෙන විට ඔවුන්ගේ හැසිරීම් ගැන සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ කණ්ඩායමේ කළමනාකරුටය. කළමනාකරුගේ කොන්ද පණ නැත්නම් හෝ හිස උදුම්මාගෙන තමන්ගේ වැඩත් බලාගෙන සිටින්නේ නම් හෝ ක්‍රීඩකයන් පිස්සු කෙළින බවට අතීත උදාහරණ ද තිබේ. මෙවරද සිදුවී ඇත්තේ එයම දැයි වහාම සොයා බැලිය යුතුය. කළමනාකරු සිය වගකීම ඉටුකර නැත්නම් ඔහුගේ භාරකාරත්වය යටතේ සිටින ක්‍රීඩකයන්ගෙන් වගකීම ඉටුවනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැක. මේ සියල්ල නිසි පරිදි සොයා බැලීමට ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක විය යුතුය. විනය විරෝධීව හැසිරුණු ක්‍රීඩකයන්ට පමණක් නොව නිලධාරීන්ටද දඬුවම් පැමිණවීම අවශ්‍යය.

එසේම මෙම සිද්ධිය දඩමීමා කර ගනිමින් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායක දසුන් ශානකට අදාළ නැති ප්‍රශ්න යොමු කරමින් ඔහු දැඩි අපහසුතාවකට පත් කිරීමත් එම වීඩියෝ පට ජනගත කිරීමත් කිසිසේත් අනුමත කළ නොහැකි සිද්ධියක් බවද කිව යුතුය. දසුන් ශානක යනු මෙරටට වසර 07කට පසුව ආසියානු කුසලාන දිනා දුන් නායකයාය. ලෝක පූජිත ඔස්ට්‍රේලියානු පිල පැරදවූ නායකයාය. ලෝකයේ ක්‍රිකට් විචාරකයන්ගේ පැසසුමට ලක්වූ ක්‍රීඩකයෙකි. ලංකාවට ඔහු ලබා දුන් සියලු ගෞරව සම්මාන පසෙකට දමා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපිටදීම මෙසේ හැසිරීම ලංකාවේ ගෞරවයට පාත්‍ර වූ ක්‍රිකට් නායකයකු වන අර්ජුන නොකළ යුතුව තිබිණි.

රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට දක්ෂතාව තිබීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා නිසි පරිදි කැපවීමත්, පුහුණුවීමත් සමඟ වාසනාවත් තිබිය යුතුය. ධනුෂ්ක ගුණතිලක ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයකු වශයෙන් වසර කිහිපයක්ම ක්‍රීඩා කිරීමට වරම් ලැබුවේ ඔහු තුළ තිබූ මේ ගුණාංග නිසා විය යුතුය. එහෙත් ඒ සියල්ලටම වඩා වැදගත් ස්වයං විනය ඔහුට තිබී නැත. මේ හේතුව නිසා මීට පෙරද අවස්ථා කිහිපයකදී ඔහු දඬුවම් ලැබූවෙකි. විනයක් නැති කල හටගන්නේ කොඩි විනයක් බව කියන්නේ කට කහනවාට නොවේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ සිර මැදිරියක කල් ගෙවීමට ධනුෂ්ක ගුණතිලකට සිදුව ඇත්තේද විනය, කොඩි විනයක් කර ගැනීම හේතුවෙනි. මෙය සෙසු සියලු ක්‍රීඩකයන්ටද යස පාඩමකි. එසේම රටේ මුළු මහත් ක්‍රිකට් ක්‍රීඩාවේම කීර්ති නාමය එක් ක්‍රීඩකයකුගේ වැරුද්දක් හේතුවෙන් විනාශ වීමට ඉඩ දිය යුතු නැති බවද කිව යුතුය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00