2022 නොවැම්බර් 13 වන ඉරිදා

ආණ්ඩුවට ’’ අනිච්ඡාවත සංඛාරා’’ තමයි

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 57

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - සමගි ජනබලවේගය

  • රට බංකොළොත් කළ ආණ්ඩුවකට පුළුවන්ද රටක් හදන්න
  • රනිල් මහත්තය රට භාරගත්තට සල්ලි හම්බවුණාද?
  • මේ ආණ්ඩුව කල් ඉකුත් වූ භාණ්ඩයක් වෙලා
  • අපේ ආර්ථික සැලසුම ඡන්දෙ කාලෙදි කියන්නම්
  • තිබෙන අර්බුදයට විසඳුම මැතිවරණයක්
  • ලෝකෙ පිළිගන්න ආණ්ඩුවක් මේ රටට ඕන
  • 22 සංශෝධනය දිනුවෙ විපක්ෂය නිසා

කෙළින්ම කතාව පටන් ගත්තොත් මේ වෙද්දි හැමතැනම කතාවක් යනවා සජබයේ පිරිසක් ආණ්ඩුවට යනවා කියලා. ඇත්තටම මොකක්ද සිද්ධිය?

අනේ මම නම් එහෙම දෙයක් දන්නෙ නෑ. ඕවා ඉතින් පත්තරවල ප්‍රචාරය කරන දේවල්නෙ. ඉතින් මමත් දැක්කේ ඒවා වලින්. කොහොම වුණත් මම නම් දන්නෙ නෑ එහෙම යන කතාවක්.

මේ වෙලාවේ කවුරු හරි ආණ්ඩුවට එකතු වෙනවා නම් මොකක්ද හිතන්නෙ?

මට නම් එහෙම දෙයක් කියන්න බෑ. එහෙම එකතු වෙනවා නම් එයාලගේ කැමැත්ත. දැන් කාලයක ඉඳලා කී දෙනෙක් යනවා කිව්වද? ගියේ දෙන්නෙක් විතරනෙ.

ඒ දෙන්නා ගියේ ඇයි?

ඒ දෙන්නා ගියේ දේශපාලන හේතුන් නිසා නෙමෙයි. වෙන වෙන පෞද්ගලික හේතු නිසා.

ඔබත් දේශපාලනයේ පරණ කෙනෙක්නෙ. මේ තියෙන තත්ත්වය එක්ක මේ ආණ්ඩුවේ ගමන මොන වගේද?

ආණ්ඩුව "අනිච්ඡාවත සංඛාරා" තමා. මේ ආණ්ඩුව තමයි මේ රට බංකොළොත් කළේ. ලෝක ඉතිහාසය ගත්තම රටක් බංකොළොත් කළ ආණ්ඩුවක් ඒ රට ගොඩගත්තෙ නෑ.

රට ගොඩගන්න නම් මොකක්ද වෙන්න ඕන?

අලුත් ආණ්ඩුවක් එන්න ඕන. අලුත් ආණ්ඩුවක් ආපුවම තමයි ජාත්‍යන්තර විශ්වාසය ඇතිවෙන්නෙ. ඊටත් වඩා රටේ මිනිස්සුන්ගේ විශ්වාසය ඇතිවෙන්නෙ. ඒ නිසා අලුත් ආණ්ඩුවක් ඕන. ඒකයි තිත්ත ඇත්ත. බංකොළොත් කළ ආණ්ඩුවකට පුළුවන්ද රටක් හදන්න.

දැන් රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමටත් බැරිද වැඩ?

රනිල් වික්‍රමසිංහ මහත්තයට දැනුම තියෙනවා. අපි නෑ කියන්නෙ නෑ. හැබැයි එතුමා තනි පුද්ගලයෙක්. එතුමට හැමදේම කරන්න බෑ. මෙතන වැදගත් වෙන්නෙ ටීම් එක. එදා මම පාර්ලිමේන්තුවේ කිව්වෙත් මේ ආණ්ඩුව කල් ඉකුත්වෙලා. කල් ඉකුත් වූ භාණ්ඩයක්. කිසිම ප්‍රබෝධයක් නෑ. අලුත් අදහස් නෑ. ඒ නිසා මේක බාරදෙන්න ඕන අලුත් කණ්ඩායමකට. තානාපති කාර්යාලවලින් පවා කියනවා. අනික බලන්නකො එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කිව්වනේ අපේ රටේ ආර්ථික අපරාධ කරලා කියලා. කොච්චර ලැජ්ජවක්ද? ආර්ථික අපරාධ කරපු රටකට ජාත්‍යන්තරය ආධාර කරයිද? ඒ නිසා ජනාධිපති කියන්නෙ එක්කෙනෙක්.

විධායක ජනාධිපති කියන්නෙ බලවත් කෙනෙක්. එතුමට එකඟවෙන නිසානෙ කට්ටිය පත්කර ගත්තෙ?

නෑනෙ. එතුමා තනි පුද්ගලයෙක්. හොඳම උදාහරණය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ විපක්ෂය නිසානෙ. හම්බවුණු ඡන්දවලින් 90% ක් දුන්නෙ විපක්ෂය.

ඒ කියන්නෙ ආණ්ඩුවට වැඩි කාලයක් නැද්ද?

ඔව්. වැඩි ආයුෂ නෑ. මේ ආණ්ඩුවට දැන් ජවය නෑ. මේ ඉන්න අයගේ ජනාධිපති දාලා ගියා. අගමැති දාලා ගියා. කැබිනට් එක විසිරෙව්වා. තනිකරම දැන් මේ ආණ්ඩුව මැරිලා.

මේ රට ගොඩගන්න මොකක්ද ඉක්මනින්ම කරන්න ඕන?

මෙහෙමයි. මේ රටේ ජනමතය පෙන්නන්න ඉක්මනින් මොකක් හෝ මැතිවරණයක් තියන්න ඕන.

ඕනම මැතිවරණයක් කිව්වෙ?

දැන් ප්‍රාදේශීය සභා මැතිවරණය තියෙනවනෙ. ඒක කල් නොදමා තියන්න කියලයි කිව්වෙ. දැන් බලන්න හැමතැනම විරෝධතා, කෝලහාල. මේ හැමදේම අවසන් වෙනවා ඡන්දයක් තිබ්බා නම්. ඔය කෑගහන, රණ්ඩු කරන හැමෝම ඡන්දය ඉල්ලයි. ඒක හොඳයි රටට. ඔය අරගල අය, පෙරටුගාමී අය හැමෝම ඉල්ලයි. රටේ මිනිස්සුන්ට ආණ්ඩුව එක්ක තරහක් තියෙනවා. ඒ තරහ පිටකර ගන්න බැරුව ඉන්නෙ. ඒකට හොඳම දේ මැතිවරණය. එතකොට අලුත් රටක් හදන්න පුළුවන්. දැනට තානාපති කාර්යාල ආධාර දෙන්නෙ නෑ. අඩුම තරමේ විදේශ ශ්‍රමිකයන්වත් සල්ලි එවන්නෙ නෑනෙ. යුද්දෙ කාලෙත් බිලියන හතක් අටක් විතර සල්ලි ආවා. නමුත් දැන් නෑ. 

ආණ්ඩුව නම් කියන්නෙ මැතිවරණයක් තියන්න තරම් ආර්ථික ශක්තියක් රටට නෑ කියලා. ඒ නිසා රටේ ආර්ථිකය හදලා ඉවරවෙලා මැතිවරණයකට යමු කියලා.

ඒක බොරුවක්. ආර්ථිකය විනාශ කරපු ආණ්ඩුවකට ආයේ ආර්ථිකයක් හදන්න බැහැ. ආර්ථිකය ගොඩනගන්න නම් ජනමතය ඉස්මතු වෙන්න ඕනෙ. එහෙම ඉස්මතු වුණාම ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න ආණ්ඩුවක් රට තුළ හැදෙනවා. ඉතින් මම කියන්නෙ මැතිවරණය තියන්නම ඕනෙ අපේ රට ගොඩගන්න. 

ආණ්ඩුවක් බිහිවුණාම කොහොමද රට ගොඩගන්නෙ?

ඒ පත්වන ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම ජනතාව පිළිගන්නවනෙ. එතකොට ජනතාව ඒ ආණ්ඩුවට ආර්ථිකය ගොඩගන්න කාල වේලාවක් ලබා දෙනවා. නමුත් මේ ආණ්ඩුවට එහෙම කල් ලබාදීමේ කැමැත්තක් ජනතාවගේ නෑ. ඒකට හේතුව රටේ බංකොළොත්භාවයට වගකියන්න ඕනෙ මේ ආණ්ඩුව කියලා ජනතාව දන්නවා. 

දැන් ඔය මැතිවරණයක් තියන්න කියලා කිව්වට සජබයෙ මොන වගේ සූදානමක්ද තියෙන්නෙ?

අපි නම් සූදානම් ඕනෑම මැතිවරණයකට. අපිට ගම් මට්ටමින් ඒ සඳහා විශාල සහායක් ලැබෙනවා. අපි නම් ඕනම වෙලාවක මැතිවරණයකට ලෑස්තියි. 

ඕන නම් ආණ්ඩුවට ඡන්දය නොතියා ඉන්නත් පුළුවන් නේද?

ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දාන්න බෑනෙ. ප්‍රාදේශීය සභා මැතිවරණය අනිවාර් යෙන් තියන්න වෙනවා. අවුරුදු හතරකට පත්වුණේ. නමුත් මේ වෙනකොට අවුරුදු පහක් ඉඳලා තියෙනවා. දැනට නඩු තීන්දු ගණනාවකුත් තියෙනවා. ඒක කල් දාන්න නම් බැරිවෙයි. ඔය මැතිවරණය දවල් තියල ඡන්ද ගණන් කරන ඒවා ඊට පහුවෙනිදා දාගත්තා නම් හරි. ඉස්සර තිබ්බෙ එහෙමයි. එතකොට වියදම 50% කින් අඩු වෙනවා.

ආණ්ඩුව කියන දෙයක් තමයි ඔබලා තමයි රටේ ප්‍රශ්න ඇති කරන්නෙ කියලා. ඇයි ඒ රටේ ප්‍රශ්න ඇති කරන්නෙ?

රටේ ප්‍රශ්න ඇති කරන්නෙ කොහොමද අපි. අපි නැත්නම් 22 ට ඡන්දය දෙන්නවත් කෙනෙක් නෑ. අපි නැත්නම් 2/3 වත් නෑ. ඒ නිසා එහෙම කියන්නෙ කොහොමද? ආණ්ඩුව කරන හැම හොඳ දේටම අපි උදව් කරනවා. 

ඔබලා ඔහොම කිව්වට ඔබලත් එක්ක ඉඳලා අනිත් පැත්තට ගිය අය නම් කියන්නෙ සජිත් ප්‍රේමදාස මහත්මයට කිසිම ආර්ථික සැලැස්මක් නෑ කියලා. ඒක ඇත්තද?

කවුද කියන්නෙ. අපිට තමයි හොඳම ආර්ථික සැලැස්ම තියෙන්නෙ. අපිට නිකම් අපේ ආර්ථික සැලැස්ම කියන්න ඕනෙ නෑ. අපේ ආර්ථික සැලැස්ම මැතිවරණයකදි අපි ඉදිරිපත් කරන්නම්. දැන් ඔය අපෙන් ප්‍රශ්න කරන කට්ටිය හරියට ආර්ථික සැලැස්ම හදාගෙනද කතා කරන්නෙ. 

දැන් තවත් පිරිසක් කියනවා මේ රටේ ප්‍රධාන නීතිය වෙච්ච ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි කියලා. ඇත්තටම ඔබලත් ව්‍යවස්ථාව වෙනස් කරනවද?

ඇත්තටම මේ රටේ තියෙන නීතිය, ඊට අවශ්‍ය වගන්ති ප්‍රමාණවත් වෙන්න තියෙනවා. නමුත් වෙලා තියෙන්නෙ මේ රටේ ඒ දේවල් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එක. ඒ නිසා හැමතිස්සෙම අරක වෙනස් කරන්න ඕනෙ, මේක වෙනස් කරන්න ඕනෙ කියන්නෙ බොරුවට. ඇත්තටම ජනතාවටත් ඕනෙ ව්‍යවස්ථා වෙනසකට වඩා මේ රට හරි මාර්ගයකට අරන් ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක්. 

21 හරහා කිසියම් වෙනසක් වෙයි කියලා හිතනවද?

ඔව්. අධිකරණයට වගේම රාජ්‍ය ආයතනවලට වෙනසක් ඇතිවෙයි කියලා අපි හිතනවා. මොකද මේ ආයතන ස්වාධීන ආයතන බවට පත් කළ යුතුයි. 

ආර්ථික වශයෙන් ඇතිවුණු අවුලෙදි ආණ්ඩුව කියන දෙයක් තමයි යහපාලන ආණ්ඩුව තමයි මේ ආර්ථික අවුලට ප්‍රධාන හේතුව කියලා. ඇත්තටම යහපාලන ආණ්ඩුව නේද වගකියන්න ඕනෙ?

ඔයා මේ මොනවද කියන්නෙ. මේ රටේ ගත්ත ණයවලින් 80% ක් ගත්තෙ රාජපක්ෂලා. ඒ ණය අරගෙන ප්‍රතිලාභයක් නැති තැන්වලට යෙදෙව්වා. නෙළුම් කුලුන හැදුවා, සම්මන්ත්‍රණ ශාලා හැදුවා. මේ හදපු දේවල්වලින් ප්‍රයෝජනයක් තියෙනවද? ඔයාට තේරෙනවා ඇතිනෙ. 

දැන් ඔබලා ආණ්ඩුවක් ගත්තත් මේක කරන්න බැරි වෙයිනෙ?

ජාත්‍යන්තර විශ්වාසය දිනාගත්තා නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි තමයි මුලින්ම කිව්වෙ ආණ්ඩුවට අයි.එම්.එෆ් යන්න කියලා. ඒත් ආණ්ඩුව ගියෙ නෑ. ඒ මූලික වැරුද්ද නිසා තමයි අද මේ ප්‍රශ්නය ඇතිවුණේ. අපි කිව්වෙ 2020 දි. මේ ආණ්ඩුව වැටුණෙ අපි ගහලා තිබුණු දැවැන්ත ව්‍යාපාරිකයන්ගෙ බද්ද ඉවත් කළා. ඒකෙන් වුණේ රුපියල් සත නැතිවුණා ආණ්ඩුවට. 

අයි.එම්.එෆ්. ගියාට ඒ නීති එහෙම තදයිනෙ. ඒකෙන් ජනතාවටනෙ හානිය සිදු වෙන්නෙ?

අයි.එම්.එෆ් නිසා නෙමෙයිනෙ මිනිස්සු හිරවුණේ. කිසිම පාලනයක් නැතිව වෙන වෙන රටවලින් ණය ගත්ත නිසා. අයි.එම්.එෆ් එක කරන්නෙ ඒක බේරගන්න උදව් කරන එක. අපි කොහොමත් අයි.එම්.එෆ් සාමාජිකයො. මොන දේ කරන්නත් අපි රටවලින් ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෙ. අයි.එම්.එෆ් එකෙන් වෙන එකම වාසිය තමයි අපි සුපරීක්ෂාකාරීව සිදු කරන ආර්ථික ගනුදෙනු දිහා ඒ අය බලා ඉන්න නිසා ජාත්‍යන්තර වශයෙන් අපි ගැන විශ්වාසය ගොඩනගනවා. දැන් බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ආවට පස්සෙ සත පහක් හම්බවුණෙ නෑනෙ අද වෙනකම්. ඔය බෙහෙත් ගන්නයි පොත්වලටයි කියලා කීයක් හරි හම්බවුණාට පිළිගත හැකි මුදලක් හම්බවුණේ නෑ. 

රනිල් වික්‍රමසිංහ මහත්තයට ජාත්‍යන්තර වශයෙන් සබඳතා තියෙනවනෙ. එතුමා ගැන විශ්වාසයක් තියන්න බැරිද?

එහෙම තිබ්බට වැඩක් නෑනෙ. රට ආර්ථික වශයෙන් කඩා වැටුණම ජාත්‍යන්තර වශයෙන් කිසිම සහායක් අපිට ලැබෙන්නෙ නෑ. 

ඉතින් රට ගොඩනගන්න ඔබලා පක්ෂ විපක්ෂ හැමෝටම එකතු වෙන්න පුළුවන්නෙ?

එහෙම එකතු වෙන්න නම් එක වැඩපිළිවෙළකට එකඟ වෙන්න ඕනෙ. එකඟතාවයක් නැතිව කොහොමද ආණ්ඩු කරන්නෙ. උදාහරණයක් හැටියට මේ ආණ්ඩුව ආවෙ දේශීය සම්පත් රකිනවා කියලා. දැන් ඉස්සෙල්ලම විකුණන්නෙ ඒවා. එකඟතාවයක් නැතුව නම් කිසිම එකතුවකින් වැඩ කරන්න බෑ. මේ අයට තියෙන්නෙ විනාශකාරී ප්‍රතිපත්තියක්. 

දැන් පොහොට්ටුවෙ කණ්ඩායම් එක්ක ඔබලා ඉතාම ළඟින් වැඩ කරනවා නේද? අනාගතයේ එකට නේද ඡන්දෙ ඉල්ලන්න යන්නෙ?

මොන දේ කරන්නත් පොදු එකඟතාවයක් තියෙන්න ඕනෙ. ඒක තියෙන්නෙ අපි ගාව. අපිත් එක්ක එකඟ වෙන ඕනම කෙනෙකුට එකතුවෙලා ගමන් යන්න පුළුවන්. මොකද බහුතර විපක්ෂයේ පිරිසක් ඉන්නෙ අපිත් එක්ක. 

I ගයාන් ගාල්ලගේ