2022 නොවැම්බර් 06 වන ඉරිදා

අර්බුදය විසඳීමට මුල්තැන දෙමු

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 63

හදිසියේම පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් පසුගිය සතියේ බදාදා (02) දිනයේ කොළඹ උණුසුම් විය. විවිධ බහුජන ව්‍යාපාර, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සහ වෘත්තිකයන්ගේ සංවිධාන මගින් එම විරෝධතාව මෙහෙයවනු ලැබීය. කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිත නොවුණද බැරියර් දමා රැලිය පැවැති ප්‍රදේශයේ පාරවල් වසා දැමීම හේතුවෙන් විශාල මාර්ග තදබදයක්ද ඇතිවිය. සාමාන්‍ය විරෝධතාවකට යොදවනවාට වඩා ඉතා විශාල පොලිස් නිලධාරීන් පිරිසක් විරෝධතා ගමන සිදුවූ මාර්ගවල රඳවා සිටීම විශේෂයෙන් කැපී පෙනිණි.

විරෝධතා රැලි පැවැත්වීම ජනතාව සතු අයිතියක් වුවද එම අයිතිය අවභාවිතයේ යෙදීමෙන් අපේක්ෂිත අරමුණු ඉටු කරගත නොහැක. ඉතිහාසය පුරාම අප මේ පාඩම කියවා තිබේ. අද රටේ ජනතාව බරපතළ ආර්ථික සහ සමාජ ගැටලුවලින් මිරිකෙමින් හෙම්බත්ව සිටිති. රෑට සිහිනෙන් පවා දකින්නේ බදු වැඩිවීම හේතුවෙන් ඇතිවෙන අමාරුකම්ය. පාසල් යන දරුවන් සිටින මවුපියවරුන්ට සතියේ දිනවල උදය වරුව එකම හිසරදයකි. රටේ බොහෝ දෙනකුට තුන්වේල මේ වනවිට අහිමිව තිබේ. විරෝධතා රැලිය පිළිබඳ කතා කරන විට මේ යථාර්ථය අමතක කළ නොහැක.

දැනට මාස කිහිපයකට පෙර මේ වසරේ මාර්තු මාසය වන විටත් සෑහෙන තරමින් සාමාන්‍ය තත්ත්වයක තිබූ රට අප්‍රේල් මාසය වනවිට අවුල් ජාලයක් විය. පෙට්‍රල් ෂෙඩ්වල පෝලිම් ඇතිවී ඒවා පැය ගණන්වලින් නොනැවතී දින ගණන් දක්වා දික් විය. මහ පාරවල ධාවනය විය යුතුව තිබූ බස් රථ සහ කාර් වෑන් බොහොමයක් තිබුණේ එම පෝලිම්වලය. විශාල කර්මාන්ත භූමි ඒවායේ සේවය කළ ජනතාවට රැකියාවලට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් පාළුවට ගියේය. නිවෙස්වල ගෘහණියන්ට සිදුවූයේ කුස්සියේ ඉවුම් පිහුම් කටයුතු හැර දමා ගෑස් පෝලිම්වලට වී කල් මැරීමටය. විදුලිය කප්පාදුව පැය දෙක පැය හතර වී වැඩි දිනක් නොගොස් පැය 13ක් දක්වා දික් විය. අවසානයේ දවසේ පැය 24න් විදුලිය දීමට හැකි වූයේ පැය 11ක් පමණි. විදුලිය ලබා දෙන කාලසීමාවට වඩා කාලයක් විදුලිය නැතිව සිටීමට සිදු විය.

එපමණක් නොව පාසල් යා යුතු දූ දරුවන්ට සිදු වුණේ නිවෙස්වලට කොටු වී කාලය නිකරුණේ ගත කිරීමටය. රජයේ සේවයේ බොහෝ දෙනා ද නිවෙස්වලට කොටු වූහ. පාරේ වාහන ධාවනය නොකෙරෙන තරමට පත්වූ දවස් ද තිබිණි. රටම තිබුණේ හොල්මං වෙලාය. අරගලය හේතුවෙන් මේ තත්ත්වය රටටම දැනුණේය. පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් නොමැතිවීම රටම අකර්මණ්‍ය කිරීමට හේතු වී තිබිණි.

අද වනවිට එම තිබූ තත්ත්වයෙන් රට වෙනස් වී තිබේ. රටේ දේශපාලන නායකත්වයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත් විය. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුළු තවත් නිලධාරීහුද අලුතින් පත් කරනු ලැබූහ. ඒ සමඟ ගනු ලැබූ තීරණ සහ යම් යම් ක්‍රියාමාර්ග හේතුවෙන් පෙට්‍රල් - ඩීසල් පෝලිම් නැති විය. ගෑස් හිඟයටද තිත තැබිණි. තෙල් සහ ගෑස්වල ඉතා වේගයෙන් ඉහළ ගිය මිල ගණන් යම් පමණකට අඩු විය. සහල්, පාන් පිටි, සීනි, පරිප්පු වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලද තරමක් පහතට පැමිණ තිබේ. බස්, කාර් ඇතුළු සෙසු වාහනද මාර්ගයේ ධාවනය වෙයි.

මීට මාස කිහිපයකට පෙර තත්ත්වය සමඟ මෙය සසඳන විට රට කිසියම් ලෙස සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් තිබෙන බව පෙනී යයි. කොටින්ම පෝලිම් නැති, විදුලිය කප්පාදුව නොදැනෙන තරමට අඩු වූ රටක් යළිත් ඇති වී තිබේ. එවැනි වාතාවරණයක් තුළ විරෝධතාවක් සංවිධානය කරන විට එම විරෝධතාවට ජනතාව ආකර්ශනය කර ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව තරමක් දීර්ඝව කල්පනා කර බලා තීරණය කළ යුතුව තිබූ බව අපගේ විශ්වාසය වෙයි.

රටේ ආර්ථිකය යළි යහපත් අතට හරවා ගැනීම කෙටි කලකින් කළ හැක්කක් නොවේ. ඒ සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් විය යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට රජය ගෙන යන සාකච්ඡා එවැනි වැඩපිළිවෙළක එක් පියවරකි. මෙවැනි අවස්ථාවක එම වැඩපිළිවෙළ කඩාකප්පල් වීමට තුඩු දිය හැකි විරෝධතා පැවැත්වීමේ අරමුණ කුමක්දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. කොළඹ ව්‍යාපාරික සමුළුව නිවේදනයක් මගින් අනතුරු අඟවා තිබුණේ එවැනි තත්ත්වයක් උදා විය හැකි බවය. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය පවා කිසියම් පිබිදීමක් පෙන්වන මේ අවස්ථාවේදී එකවරම පවත්වන විරෝධතා රට ආපස්සට හැරවීමට දරණ උත්සාහයක් හැටියට ද කෙනකුට පෙන්වා දිය හැක. ඒ නිසා මේ අවස්ථාවේදී වඩා වැදගත් වන්නේ පෝලිම් යුගයකින් පසුව පෝලිම් නැති තත්ත්වයකට පත්ව තිබෙන රටේ ස්ථාවරභාවය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාම බව පෙන්වා දෙනු කැමැත්තෙමු.

එය එසේ වුවද ආණ්ඩුවද දැන් රට යළිත් යථා තත්ත්වයට පැමිණ ඇතැයි යන හැඟීමෙන් වැඩ නොකළ යුතු බවද පැවසිය යුතුය. හිටපු ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ට තනතුරැ අතහැරීමට සිදුවූ අර්බුදකාරී තත්ත්වය තවමත් එසේම පවතී. එම පාලනයෙන් ඇතිවූ ගැටලු වැඩි ප්‍රමාණයකට විසඳුම් තවම ලැබී නැත. රටේ ජනතාව ජීවත් වන්නේ දැඩි ආර්ථික පීඩනයකින් බවත් ඔවුන් මේ අවස්ථාවේ විරෝධතාවලට ඉදිරියට නොපැමිණියත් ඉදිරියේදී එසේ නොඑනු ඇති බවට කිසිම සහතිකයක් නැති බවත් රජය දැන සිටිය යුතුය. මර්දනකාරී අණ පනත් හඳුන්වා දී ජනතා හඬ යටපත් කිරීමටත් රට මේ තරම් විපතකට ඇද දැමූ පිරිස්වලට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පොදු මහජනතාව මතටම තව තවත් බර පැටවීමටත් කටයුතු කළොත් ඉදිරියේදී රට යළිත් විරෝධතාවලින් වැසී යාමට ඉඩ ඇති බවත් සඳහන් කළ යුතුය.