2022 නොවැම්බර් 06 වන ඉරිදා

රනිල්ල රාජපක්ෂල සජිත්ල සේරම එක වල්ලෙ පොල්

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 31

කේ.ඩී. ලාල් කාන්ත - ජාතික ජන බලවේගය

  • මහ මැතිවරණයක් ගන්න අපි ජනතාව සංවිධානය කරනවා
  • චූටි චූටි කල්ලි අහුමුළුවල එකතුවෙලා ආණ්ඩු වට්ටන්න බෑ
  • මෛත්‍රීපාල කළේ කැතම - නින්දිතම දේශපාලනයක්
  • පාර්ලිමේන්තුව විසුරුවන්න පාලකයන්ට බල කළ යුතුයි
  • ආණ්ඩු විරෝධීන් අතරේත් ප්‍රතිගාමීන් ඉන්නවා
  • අපිව අඳුරගන්න වෙන්නේ කාලා බලලම තමයි
  • අරගලයේ ධනාත්මක පැත්තක් තිබුණා
  • මේ රට වැටුණේ පාලනය කළ උන්ගේ වරදින්

අපි කෙළින්ම මාතෘකාව ගැන කතා කළොත් පහසුගිය 2 වැනිදා විපක්ෂය ඇතුළු සංවිධාන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වුවා. ඒකට විපක්ෂයේ හතුරෝ පවා මිතුරෝ බවට පත්වුණා. හැබැයි ජවිපෙ හිටියෙ නෑ. මොකද ජවිපෙ වැඩේ මගහැරියෙ?

ආණ්ඩු විරෝධී සියලු දෙනා ප්‍රගතිශීලී අය නෙමෙයි. ඔය ආණ්ඩු විරෝධීන් අතර ප්‍රතිගාමීන් ඉන්නවා. අන්න ඒ වගේ ප්‍රතිගාමීන්ට ජනතාව රුවටීමෙන් වැළකීම දේශපාලනයේ කාර්යභාරයක්. ඒ නිසා අපි ඒ උද්ඝෝෂණයට සහභාගි වෙන්න තීරණය නොකර සිටියා. 

දැන් මේ ලාල් කාන්ත කියන්නෙ එදා ඔය උද්ඝෝෂණය සිද්ධ කළේ ප්‍රතිගාමීන් විසින් කියලා?

ජනතාව රවට්ටන පටු පෞද්ගලික බල වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමක් කියලා තමයි අපිට කියන්න තියෙන්නෙ. 

නිකං ප්‍රතිගාමීන්, අරගොල්ලො මේගොල්ලො කියලා නොකියා වනන්න ඕනෙ නෑනෙ. කෙළින්ම කියන්නකො කවුද මේ ප්‍රතිගාමීන් කියලා.

නම කියලම කිව්වොත් සජිත් ප්‍රේමදාස කියන්නෙ මේ රට හදන්න ආපු මිනිහෙක් නෙමෙයි. සරලවම කිව්වොත් බලය අතට අරගෙන අනෙක් අය වගේම මේ රටේ සම්පත්, දේපළ භුක්ති විඳින්න එන කෙනෙක්. 

දැන් කාට හරි කියන්න පුළුවන් පොදු සතුරා රනිල් වික්‍රමසිංහ කියලා. ඔහුට විරුද්ධව ගොඩනැගෙන කණ්ඩායම් පොදු බලවේග කියන්නත් පුළුවන්. එතකොට ඒ පොදු බලවේගයෙන් ජවිපෙය කර ඇරියා කියන්නත් පුළුවන්. මොකක්ද ඒ චෝදනාව ගැන කියන්න තියෙන්නෙ.

ඉතිහාසය පුරාම ඔය වගේ පොදු සතුරන් ගොඩනැගුවා. අපිත් ඒ දේශපාලන පොදු සතුරා පැරදවීමේ දේශපාලනයක නිරත වුණා. නිරතවෙලා අවසානෙ අපි වැඩේ වරද්ද ගත්තා. තවත් සතුරෙක් බිහි වුණා. එහෙත් අපි ඒ වෙලාවෙ සතුරන් කිහිප දෙනෙක් හඳුනාගෙන ඉන්නවා. 

කවුද ඔය මෙතෙක් කල් හිටිය තනි සතුරා වෙනුවට දැන් ඉන්න හතුරො කණ්ඩායම.

එක්කෙනෙක් රනිල් වික්‍රමසිංහ. අනිත් එක රාජපක්ෂ පවුල. අනෙක් කෙනා සජිත් ප්‍රේමදාස. මෙන්න මේ අය කුලල් කාගත්තට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ එක්කෙනෙක් එක්කවත් අපි සම්බන්ධ වෙන්නෙ නෑ. 

අපි දන්නවා මේ රටේ වාමාංශික දේශපාලන ව්‍යාපාර ගොඩක් තියෙනවා. ඔබලා එක කණ්ඩායමක්. ඔබලගෙන් ඉවත් වුණු අනෙක් කණ්ඩායම තමයි පෙරටුගාමීන්. හැබැයි ඔවුන් අර පොදු හතුරා වෙනුවට පොදු වේදිකාවට ගොඩ වුණා. ඔවුන්ට එකඟ වෙන්නත් ජවිපෙට එකඟ නොවෙන්නත් හේතු මොනවද?

පෙරටුගාමීන් කියන්නෙ කල්ලියක්. ඒ කල්ලිය ප්‍රතිගාමී කල්ලියක් හැටියටයි අපි නිර්වචනය කරන්නෙ. ඒ වගේම වම යනු කුමක්ද කියලා නිර්වචනය කර ගන්නත් ඕනෙ. ඔවුන් කටයුතු කරන්නෙ බඩගෝස්තරවාදය ගැන. ඒ නිසා ඔවුන් කරන දේ ඔවුන්ට අයිතියි. අපි කරන දේ අපිට අයිතියි. ඒ නිසා පරාජය කළ යුතු අය පරාජය කරනවා මිසක් ඔවුන් එක්ක එකතුවෙලා නැති ප්‍රගතිශීලී රූපයක් ආරෝපණය කරන එක වැරදියි. 

ඔබ කරන්නෙ බරපතළ චෝදනාවක්. පෙරටුගාමීන් කල්ලියක් හැටියට ඔබ හඳුන්වන්නෙ. ඔබලා දේශපාලන ව්‍යාපාරයක් හැටියට හඳුන්වනවා. ඔබ කියන කල්ලියේත් දේශපාලන ව්‍යාපාරයේත් වෙනස මොකක්ද?

දේශපාලන ව්‍යාපාරයක් දිගු කාලීනව රටටත් ජනතාවටත් වැඩ කරන පරිණත ව්‍යාපාරයක් හැටියට පිළිගන්නවා. කල්ලියක් කෙටි කාලීනව තමන්ගෙ බඩගෝස්තරවාදය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. 

එතකොට එදා වේදිකාවෙ හිටියෙ කල්ලි සහ බඩගෝස්තරවාදීන්ද?

සජිත් දේශපාලන පක්ෂයක්. නමුත් ඔහු ප්‍රතිගාමී දේශපාලනයක් කරන බවයි අපේ විග්‍රහය. මෛත්‍රීපාල සිරිසේන භාවිත කළ දේශපාලනය කියන්නෙ මේ රටේ ජනතාව අත්හදා බලපු කැතම නින්දිත දේශපාලනයක්. තමන්ට දුන්න ජනවරම අත්හැරලා තමන්ට එරෙහි පිලේ හිටගත්ත මිනිහෙක්. සත පහකට විශ්වාස කරන්න බැරි දේශපාලන නායකයෙක්. පෙරටුගාමීන් කියන්නෙ තනිකර කුමන්ත්‍රණවාදී කල්ලියක්. එවැනි අය තමයි ඔය එකතු වුණේ. 

ජවිපෙ කියන්නෙ මර්දනය තුළින් උඩට ආපු පක්ෂයක්. අද වෙද්දි ආණ්ඩුවෙ මර්දනය ඉහළයි කියලා විපක්ෂයෙ හැමෝම චෝදනා කරනවා. එවැනි තත්ත්වයක් තියෙනවා නම් ඒකට විරුද්ධව සටන් කරන එක විපක්ෂයේ යුතුකම. අන්න ඒ යුතුකම බඩගෝස්තරවාදී අරමුණක් වෙන්නෙ කොහොමද?

මර්දනය කිරීමත් මර්දනයට විරුද්ධ වීමත් අහිංසක දෙයක් නෙමෙයි. මර්දනයට විරුද්ධ වීමත් එක පැත්තකින් දේශපාලන ව්‍යාපෘතියක්. මර්දනය පරාජය කිරීම අපේ දේශපාලන ව්‍යාපාරය පැත්තෙන් වෙනස්ම දෙයක්. අපේ න්‍යාය තමයි ජනතාව සංවිධානය කරන්න ඕනෙ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් කියන එක. අපි ඒ කාර්යය ඉතා වේගයෙන් කරමින් ඉන්නවා. අන්න ඒක සාර්ථක කර ගත්තට පසුව තමයි මර්දනය පරාජය කරන්න පුළුවන්. 

ඔබ කියන්නෙ මර්දනය පරාජය කරන්න දේශපාලන බලය අත්පත් කර ගැනීමක් අවශ්‍යයි.

මෙතනදි කළ යුත්තේ ජනතාව බලමුළු ගැන්වීම මිසක් චූටි චූටි කණ්ඩායම් අහුමුළුවල එකතුවීම නෙමෙයි. අපි ඒක කරන බව කාට වුණත් පේන්න ඕනෙ. මොකද අපි මේ වෙනකොටත් විශාල වශයෙන් ගමින් ගමට ගිහිල්ලා ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළ කරගෙන යනවා. 

හරි.. ජවිපෙ බලය අත්පත් කර ගැනීමේ ඊළඟ සැලසුම මොකක්ද?

අපි ජනතාව සංවිධානය කරනවා මහ මැතිවරණය ලබාගැනීම සඳහා. ඒකෙ බලාපොරොත්තුව තමයි ආණ්ඩුවක් හැදීම. අපි මේ වෙනකොට අවශ්‍ය විදිහට ජනතාව බලමුළු ගන්වමින් යන්නෙ. බලමුළු ගන්වන්නෙ බලය අල්ලන්න. බලය ගන්න ජනතාව බලමුළු ගන්වන්නෙ නැතිව හරියන්නෙ නෑ. 

දැන් බලය අල්ලන්න මැතිවරණයක් ඕනෙ. හදිසි මැතිවරණයක් හම්බවුණෙ නැත්නම් මොකද කරන්නෙ.

මැතිවරණයක් ලබාගන්න ජනතාව වෙනස් කිරීමෙන් බලය ලබාගන්න පුළුවන්. කුමන ආකාරයකින් හෝ මේ අයට බලය අත්හැරලා දාලා යන්න සිද්ධ වෙනවා. එය මැතිවරණයකින් වෙන්නත් පුළුවන්. නැත්නම් ගෝඨාභය ගියා වගේ වෙන්නත් පුළුවන්. ඔවුන්ට බලය අහිමි වෙන්න හේතු කාරණා ගොඩක් තියෙනවා. එක පැත්තකින් ලෝක ප්‍රසිද්ධ මිනී මැරුම්වලට ඔවුන්ට චෝදනා එල්ල වෙනවා. දෙවැනි කාරණය ඔවුන් මේ රට ආර්ථික වශයෙන් අගාධයට තල්ලු කරලා තියෙනවා. 

දැන් සමහර අයට හිතෙන්න පුළුවන් පසුගිය අරගලය හරහා මේ තත්ත්වය, මේ සංස්කෘතිය අවසන් කළා කියලා.

අරගලයේ ධනාත්මක පැත්තක් තියෙනවා. එකක් තමයි පොදු ජනතාවට පාරට බැහැලා පාලකයො යවන්න පුළුවන් කියලා පෙන්නුවා. ඍණාත්මක දේ තමයි බලය තහවුරු කර ගන්න ක්‍රමවේදයක් තිබුණෙ නෑ. අනෙක් කාරණය තමයි පාලකයො විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවත් පැන්නිය යුතුයි කියන අදහස ගෝල්ෆේස් අරගලකරුවන්ට ආවෙ නෑ. අන්න ඒක හඳුනාගත්ත නැති නිසා තමයි ගෝඨා ගිහිල්ලා නැවතත් ප්‍රතිගාමී වැඩපිළිවෙළකට පාර කැපුවෙ. 

අරගලය විතරක් නෙමෙයිනෙ පාර්ලිමේන්තුව පවා බෙදිලයි තිබුණෙ. ඉතින් කොහොමද ඔබ කිව්ව දේවල් කරන්නෙ.

කරන්න තියෙන එකම දේ තමයි පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා පාලකයන්ට බල කරන එක. ඒ පාලකයො බඩු මුට්ටු පොදි බැඳගෙන හිටියෙ මේ රටෙන් යන්න. ඒ මම කලින් කිව්ව චෝදනා නිසා. පාලකයො එළවලා පාර්ලිමේන්තුවට මොකක්ද කළ යුත්තෙ කියන අදහසේ අරගලකරුවො හිටියෙ නෑ. ඒ නිසා වුණේ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා වගේ වැඩක්. 

අරගලකරුවන්ට චෝදනා කරන්නෙ ඔබලත් අරගල භූමියෙ හිටියනෙ.

ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය අරගල භූමියට සම්බන්ධ වුණේ නෑ. හැබැයි අපේ කණ්ඩායම් සහ විවිධ පිරිස් පොදු අරගලය තුළ හිටියා. මම හිතන්නෙ නෑ අපිට එතන අපේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන්න පුළුවන්කමක් තිබුණා කියලා. එහෙම වුණා නම් ගෝඨා ගිය දවසෙම පාර්ලිමේන්තුව විසුරුවමු කියන පැත්තට ජනතාව මෙහෙයවනවා. 

දැන් අරගලය විසින් ජනාධිපති කෙනෙක් යැව්වා. ඊට පස්සෙ ජනාධිපති කෙනෙක් පත් වුණා. දැන් ඔහුත් හොඳ නෑ කියලා කියනවා. ඇත්තටම දැන් අරගලය මොකක්ද කළ යුත්තෙ.

ඉස්සෙල්ලාම කියන්න ඕනෙ අරගලය කියන වචනෙ පුළුල් අර්ථයෙන් අවසන් වෙන්නෙ නෑ. පීඩාකාරී සමාජයක අරගලය තියෙනවා. මේ තියෙන පීඩාකාරී තත්ත්වයෙන් මිදෙන්න නම් ජනතාව සංවිධානය වෙලා මැතිවරණයක් ඉල්ලන්න ඕනෙ. ඒ ඡන්දයෙන් ප්‍රගතිශීලී පාලනයක් ගොඩනගන්න ඕනෙ. ඒ නිසා දැනට විසිරිලා තියෙන අරගලය එක තැනකට ගෙනල්ලා ජාතික මැතිවරණයක් සඳහා පෙරළීම තමයි කරන්න ඕනෙ. එය මේ රටේ මහානායක හිමිවරු, විවිධ පාර්ශ්ව එකතුවෙලා තමයි කරන්න ඕනෙ. දේශපාලනය නිසා කවදාවත් සතුරන් ඇතිවෙන්නෙ නෑ. සතුරන් වගේම මිතුරොත් ඇතිවෙනවා. 

දැන් 2 වැනිදා උද්ඝෝෂණය ගත්තාම සමහර අයට කියන්න පුළුවන් සාර්ථකයි කියලා. තවත් සමහර අයට කියන්න පුළුවන් අසාර්ථකයි කියලා. ඔබ හිතන්නෙ මොකක්ද?

ප්‍රගතිශීලී වුණත් ප්‍රතිගාමී වුණත් තමන් කරපු අරගලයක් අසාර්ථකයි කියන්නෙ නෑ. සාර්ථක අසාර්ථකභාවය ජනතාව මනින්නත් ඕනෙ. ඒක අපි කියන්නෙත් නෑ. 

දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක ජනතාවට හිතෙන්න පුළුවන් කවුද අපි හොඳම කෙනා හැටියට තෝරාගන්න ඕනෙ කියලා. 

සත්‍ය දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඒ ඒ අයගෙ භාවිතය. මහින්දලගෙ රනිල්ලගෙ භාවිතය දැකලා තියෙනවා. සජිත්ලගෙ භාවිතය දැකලා තියෙනවා රට කරන්නෙ කොහොමද කියලා. ඒ නිසා භාවිතය දැකලා නැති කණ්ඩායමක් එක්ක තමයි ඒ අයගේ භාවිතය කොහොමද කියලා පරීක්ෂා කරන්න වෙන්නෙ. සරලවම කිව්වොත් අපිව අඳුරගන්න වෙන්නෙ කාලා බලලම තමයි. වෙන ක්‍රමයක් නෑ. 

ඔබලට බරපතළ චෝදනාවක් තියෙනවා මේ රට හදන්න දෙන්නෙ නැත්තෙ ඔබලා කියලා. ඔබලගෙ වෘත්තිය සමිති ටිකයි ඔබලයි ජනතාව අවුස්සනවා කියලා ආණ්ඩුවෙන් පවා චෝදනා කරනවා. ඇත්තටම ඇයි මේ රට කරන්න දෙන්නෙ නැත්තෙ.

අප බලයට එන එකට විරුද්ධව විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ මත හදනවා. ඒ ගැන අපිට විරෝධයක් නැහැ. හැබැයි කවුරු හරි කියනවා නම් අපි නිසා රට වැටිලා කියලා ඒ පාලනය කරපු උන්ගෙ වරද මිසක් අපේ වරදක් නෙමෙයි.

I ගයාන් ගාල්ලගේ