2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

ප්‍රියමාලිගේ කළු සල්ලි ජාවාරම!

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 111

තිළිණි ප්‍රියමාලි නම් තැනැත්තිය එක රුයින් මේ රටේ ''සුපිරි තරුවක්'' වී සිටී. මේ සුපිරිකම හොඳට නොව නරකටය. ඇයට එල්ල වන්නේ බරපතළ චෝදනා ගණනාවකි. නීති විරෝධී මුදල් ගනුදෙනු, මුදල් විශුද්ධිකරණ ජාවාරම්, විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ගේ කෝටි ගණන් මුදල් අපහරණය වැනි චෝදනා ඒ අතර වෙයි. ඇයගේ ගනුදෙනුකරුවන් පිළිබඳ විවිධ තොරතුරු අනාවරණය වීමට පටන්ගෙන තිබෙන අතර තවත් පිරිසක් තොරතුරු සඟවාගෙන සිටිතියිද කියයි. පොලීසිය මේ සම්බන්ධව පැති ගණනාවක් ඔස්සේ පරීක්ෂණ පවත්වමින් සිටියි.

මහජනතාව මුළාකර ඔවුන්ගේ මුදල්වලින් රජ සැප විඳ විවිධ ජාවාරම් සිදුකරන පුද්ගලයෝ මේ රටේ මීට පෙරද සිටියහ. ඉදිරියේදීද එසේ නොවන බවට සහතිකයක් නැත. එහෙත් තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් පැවසෙන කතාවේ වෙනසක් තිබේ. ඇයගේ දැලේ වැටී සිටින්නේ හාල්මැස්සන් නොව තෝරුන් මෝරුන් වීම එම වෙනසය. මුදල් ගරා ගැනීම් සිදුව ඇත්තේද මහා පරිමාණයෙනි. එම ප්‍රමාණය දැනට ගණන් බලා ඇති අන්දමට කෝටි 250ක් ඉක්මවන බව පොලිස් ආරංචි මාර්ග අනුව පැවසෙයි. ඒ 10 දෙනකුගේ පැමිණිලිවලට අදාළව පමණි. තවමත් පොලීසියට පැමිණිලි නොකළ එහෙත් දැනුම්දීම් පමණක් කර ඇති පිරිසක්ද වෙති. ඒ සියල්ල එකතු වනවිට මේ ජාවාරමේ වටිනාකම රුපියල් කෝටි 500 ඉක්මවා යාමටද ඉඩ තිබේ.

වෙනත් ජාවාරම්කරුවන් මෙවැනි මුදල් ගසාකෑම් සිදුකරන්නේ බොහෝදුරට තමන්ගේ හෝ හිතමිතුරකුගේ නිවෙසකය. නැතහොත් යන්තමින් අටවාගත් කාර්යාලයකය. එහෙත් ප්‍රියමාලි මුදල් ජාවාරම මෙහෙයවන්නේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ අති සුඛෝපභෝගී කාර්යාලයක සිටිමිනි. එහි මාසික කුලිය රුපියල් මිලියන 02කට ආසන්න බවද සඳහන්ය. ඇය ගමනාගමනය සඳහා යොදවාගෙන ඇත්තේද අති සුඛෝපභෝගී වාහනය. ආරක්ෂාවට සේනාවක්ද තබාගෙන සිට ඇත. පදිංචිය සුපිරි තරුපහේ හෝටලයක ප්‍රභූ පන්තියේ කාමරයක බවද සඳහන්ය. එහෙත් ඇයට ස්ථීර ලිපිනයක් නැති බවද කියති.

මේ සියලු සුපිරි තත්ත්වයන් ඇය පවත්වාගෙන ගොස් ඇත්තේ තම ජාවාරම් දැලට තෝරුන් මෝරුන් අල්ලා ගැනීමට බව රහසක් නොවේ. තමන්ගේ ගනුදෙනුකරුවන් ඉහළ පැළැන්තියෙන්ම තෝරා ගැනීම ඇයගේ ඉලක්කය වූ බව පැහැදිලිය. ලොකුම සිද්ධිය වන්නේ එම මුළා කිරීම්වලට හසුවන සමාජයේ ඉහළින් වැජඹෙන විවිධ තරාතිරම්වල ලොකු ලොක්කන්ද සිටින බව දැනගන්නට ලැබීමය. කෝටි විස්ස තිහ පමණක් නොව සියය, දෙසීය පවා ඇයට ලබාදුන් ගනුදෙනුකරුවෝද සිටිතියි සඳහන් වේ. මේ අය වඩාත් ආකර්ෂණය කර ගැනීම සඳහා බලවත් දේශපාලන චරිත සහ ආරක්ෂක අංශයේ ප්‍රධානීන් තමන් සංවිධානය කරන උත්සවවලට ගෙන්වාගෙන ඔවුන් සමඟ එකට ඡායාරෑප ගෙන ඒවා ප්‍රදර්ශනය කිරීමද සිදුකර තිබේ. මේ සමහර ප්‍රභූන් පැමිණ ඇත්තේ ඒ උත්සවවල ප්‍රධාන අමුත්තා වශයෙනි.

අපගේ අවධානය යොමුවන්නේ මේ සමස්ත කතාවම පසුපස තිබෙන ප්‍රබල සමාජ - ආර්ථික ඛේදවාචකයයි. එක් අතකින් රට කොතරම් දුප්පත් වුවත් බහුතරයකගේ වේල් තුන දෙකට බැස්සත් එවැනි තත්ත්වයක් යටතේ වුවද කටවචනයට කෝටි ගණනින් මුදල් ''ආයෝජනය'' කිරීමට සමත් පිරිසක්ද රටේ සිටිති. මේ අය අතර ප්‍රබල දේශපාලකයන්ද ව්‍යාපාරිකයෝද නළු නිළියන්ද පමණක් නොව ආරක්ෂක අංශයේ ලොක්කන් කිහිප දෙනකුද සිට ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. කාන්තාවකගේ කටවචනයටද කෝටි විස්ස තිහ ලබාදීමට තරම් මුදලක් මේ අය සතුව තිබීමද එක් අතකින් වහාම පරීක්ෂණයට ලක්විය යුත්තකි. මේ මුදල් නීත්‍යානුකූල ලෙස උපයාගත් ඒවා නම් එම මුදල් තිබිය යුත්තේ පිළිගත් බැංකුවලය. එසේ නැත්නම් මොවුන් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් විය යුතුය. එසේ මුදල් සොයාගත්තේ කෙසේද යන්න ආණ්ඩුවද සොයාබැලිය යුතුය. රටේ සිටින යන්තම් රුපියල් ලක්ෂය ඉක්මවන සෑම පුද්ගලයකුටම බදු ගසන රජය මෙහෙම කෝටි ගණනින් ''ආයෝජනය'' කරන මුදල්වලට බදු නොගැසීමට හේතුවක් තිබිය යුතුය. එම හේතුව වෙන කිසිවක් නොව ඒවා ''කළු සල්ලි'' වීමය.

මේ රටේ සැබෑ ඛේදවාචකය මෙයයි. රටේ ජනතාව ආර්ථික අර්බුදය හේතුවෙන් මහත් අමාරුවකට වැටී සිටිති. එසේ සිටියදී පිරිසක් අතේ කිව නොහැකි තරම් මුදලක් රැඳී තිබේ. ඒවා කළු සල්ලි මිස යහපත් මාර්ගවලින් හරිහම්බ කරගත් දේ වීමට ඉඩක් නැත. ඔවුන් මෙසේ සල්ලි ලබාදී ඇත්තේද එම මුදල් දෙගුණ කර ගැනීමට හෝ නීති විරෝධී ලෙස පිටරට යවා තවදුරටත් මුදල් හම්බ කිරීමටය. ඩුබායිහි ප්‍රියමාලිට අයත් සමාගමක් හරහා මේ ජාවාරම සිදුකෙරෙන බවට නිල නොවන තොරතුරුද හෙළි වී තිබේ. ඉදිරියේදී සිදුකෙරෙන විමර්ශනවලදී මෙහි සත්‍ය තොරතුරු හෙළිවනු ඇතැයි අපි සිතමු. 

තිළිණි ප්‍රියමාලිගේ කතාව සමාජ ඛේදවාචකයක් හැටියට අපි දකින්නේ මේ හේතූන් නිසාය. නීති විරෝධී මහා පරිමාණ ජාවාරම්කරුවන් කවුරුන් හෝ බලවත් දේශපාලකයකුගේ සාක්කුවට රිංගා සියලු තොරතුරු වසන්කර ගැනීමේ ක්‍රමය අපේ රටේ බොහෝ කාලයක් තිස්සේ ක්‍රියාත්මකය. මහා පරිමාණ ජාවාරම් සිදුවෙයි. එහෙත් ඒවාට වගකිවයුතු කිසිවකුත් නැත. කෝටි සිය ගණන් මුදල් බලවත් පුද්ගලයන් අත තිබේ. ඒවා ගැන සෙවිල්ලකුත් නැත. තිළිණි ප්‍රියමාලිගේ දැලේ වැටුණු පුද්ගලයන් සහ ඇය පිරිවරාගෙන සිටින බලවත් චරිත දෙස බලන විට මේ සිද්ධීන් යටපත් වී ගියොත් ඒ ගැනත් පුදුම විය යුතු නැත.