2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

අපේ ආණ්ඩුවේ සීතල යුද්ධයක් නෑ

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 78

- වෛද්‍ය රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත අමාත්‍ය

  • පොහොට්ටුවේ මීළඟ නායකත්වය ගැන විශේෂ තීන්දුවක් නෑ
  • ජනතාවගේත් දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනෑ
  • ජනතාවට අවශ්‍ය භාණ්ඩ ලබා දෙන්න අපි කටයුතු කරනවා
  • ජන අරගලය ආවේ ආර්ථික පීඩනය එක්ක
  • අපි වැටුප් වගේම ණයත් ගෙවන්න ඕනෑ
  • එක රැයෙන් රටක් ගොඩදාන්න බෑ
  • පක්ෂ මාරු කරන ක්‍රමය නැවැත්විය යුතුයි

අපි දන්නවා ලොකු ජනවරමක් එක්ක පොහොට්ටුව බලය ගත්තෙ. ඒත් ඒක වෙනස් වුණා. දැන් අලුත් නායකයෙක් යටතේ වෙනස් ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙන්නෙ. මේ දෙකේම හිටිය කෙනෙක් හැටියට ඔබට මොකද හිතෙන්නෙ?

ලංකා ඉතිහාසයේ දේශපාලනික, ආර්ථික සහ සමාජීය වශයෙන් ඉතාම දරුණු කැළඹීමකට අපි මේ මොහොතේ මුහුණ දෙමින් සිටින්නේ. මේ කැළඹීමේ මූලාරම්භය පටන් ගත්තේ 2019 පාස්කු ප්‍රහාරයත් එක්ක. එතැනින් පටන් ගත්ත ආර්ථික අස්ථාවරත්වය කොරෝනා තත්ත්වයත් එක්ක දැඩිවෙලා ඒ හරහා ඇතිවුණු සමාජ ආර්ථික කැළඹීමත් එක්ක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තනතුර පවා දාලා යන්න වුණේ. මේ වෙද්දී ආර්ථික වශයෙනුත් සමාජීය වශයෙනුත් දේශපාලන වශයෙනුත් ඉතාම දරුණු කඩා වැටීමක තියෙන්නෙ. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා 2023 වෙද්දී මේ ආර්ථික අවුල යම් නිරවුල් තැනකට පත්කර ගන්න. ඒ වෙනුවෙන් මේ වෙද්දි කටයුතු කරමින් යන්නේ.

ගොඩක් අය කියන්නෙ රට මේ තත්ත්වයට වැටෙන්න ප්‍රධාන හේතුව පොහොට්ටු ආණ්ඩුව විසින් ගනු ලැබූ හිතුවක්කාරී තීන්දු කියලා. ඔබ ඒක පිළිගන්නවද?

අපි ඇත්ත වශයෙන්ම පිළිගන්න දෙයක් තියෙනවා. අපි මුල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිවැරදි තීන්දු තීරණ නොගැනීමත් ප්‍රඥාගෝචර නොවන තීන්දු තීරණ ගැනීමත් හේතු වුණා. උදාහරණ විදිහට අධික බදු සහන ලබාදීමත්, විශේෂයෙන් ණය ලබාගෙන දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් හේතු වුණා කියන එක අපි දන්න දෙයක්. ඒ වගේම කොරෝනා ආරම්භයත් එක්ක සංචාරක ව්‍යාපාරය කඩා වැටීමත් මේකට එක හේතුවක්. කාබනික ව්‍යාපෘතිය හොඳ එකක් වුවත් ඒ මොහොතේ හදිසියේ ක්‍රියාත්මක වීම නිසා සමාජය තුළ සිදුවුණු ව්‍යාකූලතාවය මේ දේවල්වලට බලපෑවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තනතුර දාලා ගියාම ඔබලා තෝරාගත්තෙ රනිල් වික්‍රමසිංහ මහත්මයා. මොකක්ද ඔබ රනිල් වික්‍රමසිංහ මහත්මයට එකඟ වෙන්න හේතුව ඒ මොහොතේ?

මැයි 9 වැනිදා මහින්ද මහත්තයා ඉවත් වුණාට පස්සේ ගෝඨාභය මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්මයාට ආරාධනා කරලා කිව්වා අගමැතිකම බාරගන්න කියලා. ඒත් එතුමා බෑ කිව්වා. මොකද අපේ කණ්ඩායමෙන්ම අගමැති කෙනෙක් නැවත පත් කරන එක ප්‍රඥාගෝචර නැති නිසා තමයි එවැනි ආරාධනාවක් කළේ. ඒත් එතුමා ඒක බෑ කිව්වා. ඒ වගේම සරත් ෆොන්සේකා මහත්තයටත් කිව්වා කියලා කියනවා. කොහොම නමුත් අමාරුම වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අභියෝගය අරන් ඉදිරියට ආවා. එහෙම බාරගෙන ස්වාධීනව කටයුතු කරනකොට තමයි ජනාධිපති ගෝඨාභය මහත්තයට යන්න සිද්ධ වුණේ. අපි ඊට පස්සේ හොයලා බැලුවා විමසලා බැලුවා අපේ පාක්ෂිකයන්ගෙන් ඊළඟ ජනාධිපතිවරයා සම්බන්ධයෙන්. ජනතාවගෙයි අපෙයි බහුතර කැමැත්ත මත අවසානයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් වුණා. 

ඔබ උගත් බුද්ධිමත් දේශපාලනඥයෙක්. ඔබ දන්නවා ඔබලට ජන වරමක් හිමිවෙලා තියෙනවා කියලා. ඒ ජන වරමෙදි එක්සත් ජාතික පක්ෂය කියන්නෙ ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක්. නමුත් ඔබලා ඒක පැත්තක තියලා එජාප නායකයව රටේ ජනාධිපති කරනවා. දැන් මේ ජන වරමට පිටුපෑමක් නෙමෙයිද?

අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්කර ගත්තෙ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි ඒ මොහොතෙ තිබුණු එකම විසඳුම. ඉතින් ව්‍යවස්ථානුකූලව ආණ්ඩුවෙ බහුතර දෙනාගෙ කැමැත්ත මත එතුමාට තෝරා පත්කර ගත්තා. ඒ වෙලාවෙ රටේ ආරක්ෂාව පිරිහිලා තිබුණෙ. එක පැත්තකින් ආර්ථික පැත්තෙනුත් පිරිහිලා තිබුණෙ. ඉතින් අපි ව්‍යවස්ථානුකූලව ඒ වෙලාවෙ සුදුසුම කෙනා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයා තෝරා පත්කර ගත්තා. 

ඔබ ඔහොම කිව්වට ඔබලගෙ කණ්ඩායමේ කෙනෙක් තවත් කණ්ඩායමක් එක්ක එකතුවෙලා වෙනම ගිහිල්ලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඇයි ඔහුව මගහැරියෙ?

අපිට ඇත්තටම ඕන වුණා ඒ මොහොතට අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්න. ඒ මොහොතේ මෙම සර්ව පාක්ෂික ආණ්ඩුව හදන වැඩේ, එතකොට රටේ ආර්ථිකය ගොඩනගන වැඩේ, විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙනුත් එතුමා හොඳ එකඟතාවයක හිටියා. ඒ නිසා තමයි අපි එතුමා තෝරාගත්තෙ. 

ඔව්.. ඔබලා සර්ව පාක්ෂික ආණ්ඩු හදන එකඟතාවයකින් තමයි මේ ජනාධිපතිවරයා පත්කර ගත්තෙ. ඒත් ඒක වුණෙ නෑ. අද වෙද්දි පොහොට්ටුවෙ සහ ජනාධිපතිවරයාගේ හිතවාදී කණ්ඩායම් අතර ප්‍රශ්නයක් ඉස්මතුවෙලා තියෙනවා කැබිනට් මණ්ඩලයෙ. මොකක්ද මේ සීතල යුද්ධය?

එහෙම ගැටලුවක් අපි අතර ඇතිවෙලා නැහැ. අපි ආණ්ඩුවක් හැටියට තීන්දු තීරණ ගන්නෙ රටේ පවතින තත්ත්වයත් එක්ක. දැන් ඇත්තටම රටේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කැබිනට් මණ්ඩලයට වඩා මේ රට පාලනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගනු ලබන තීන්දු තීරණ. මෙතනදි ආණ්ඩුවක් හැටියට අපි එකතුවෙන් වැඩ කරනවා මිසක් ඔය කියන සීතල යුද්ධ නම් නැහැ. 

ඇත්තටම මීළඟට පොහොට්ටුවෙ නායකත්වය සම්බන්ධයෙන් ලොකු කතාබහක් තියෙනවා. දැන් මේ නායකත්වය හිමිවෙන්නෙ නාමල් රාජපක්ෂටද බැසිල් රාජපක්ෂටද?

එවැනි කිසිම විශේෂ තීන්දුවක් දැනට අරන් නැහැ. එවැනි තීන්දුවක් ගන්න යනවා කියලා හෝ එවැනි අදහසක් තියෙනවා කියලවත් අපිව දැනුම්වත් කරලා නැහැ. 

ඇත්තටම පවතින දේශපාලන තත්ත්වයත් එක්ක පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එකතුවකින් තම දේශපාලන කටයුතු අනාගතයේ කරන්න අදහසක් තියෙනවද? 

ඇත්තටම එවැනි අදහසකට හෝ අනාගතයේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කුමන හෝ තීන්දුවකට එන්න තවම වේලාසන වැඩියි. ජනතාව බලාපොරොත්තු වෙන ආර්ථික සංවර්ධන සහ සමාජීය කැළඹීම තුරන් කිරීම තමයි මූලික අරමුණ විය යුත්තේ. ජනතාව බලාපොරොත්තු වුණෙත් ඒ දේ. ඒ නිසා මේ වෙලාවේ මැදිහත්ව රට ගොඩනඟන වැඩේට සියලු දෙනා එකතු වෙන එක තමයි හොඳම වැඩේ. 

ජන අරගලය හරහා ජනතාව ගෙන ආ යෝජනා සාධනීය නම් ඒ සාධනීය යෝජනා මේ වෙනකොට ආණ්ඩුවේ යහපැවැත්ම සඳහා ඔබලා තෝරාගෙන තියෙනවද?

ඇත්තටම ජන අරගලය ඇතිවුණේ ආර්ථික පීඩනයත් එක්ක. විදුලිය විසන්ධි වීමත්, පෙට්‍රල් පෝලිම් ඇතිවීමත් එක්ක තමයි මේ ප්‍රශ්නය ඇතිවුණේ. ඒ වෙලාවෙ ජනතාවගෙ ඉල්ලීම වුණේ ජනතාවට අවශ්‍ය කරන විදුලිය, තෙල්, ගෑස් ටික වෙලාවට ලබා දෙන්න කියලා. විශේෂයෙන් අපට මුල්‍යාධාර ලබා දෙද්දි දේශපාලන ස්ථාවරභාවය බලාපොරොත්තු වෙනවා. අද වෙද්දි ස්ථාවර වෙලා තියෙන නිසා තමයි විවිධ රටවලින් අපිට මුල්‍යාධාර දෙන්න පොරොන්දුවෙලා තියෙන්නෙ. ඒ නිසා දැන් අපි ජනතාවට ප්‍රශ්න ඇතිවෙලා තියෙන භාණ්ඩ ආදිය වෙලාවට ලබා දෙන්න කටයුතු කරනවා. 

ඔබ හිතන්නෙ නැද්ද ලාංකීය දේශපාලන සංස්කෘතිය අවුල් සහගත නිසා මේ තත්ත්වය ඇතිවුණා කියලා?

මතක තියාගන්න රටේ දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් කැමැත්තක් ලෝකෙ කොහෙවත් රටක නැහැ. උදාහරණයක් හැටියට ඕස්ට්‍රේලියාවේ අප්‍රසාදයට පත්වූ කණ්ඩායම මොකක්ද කියලා බැලුවොත් දේශපාලනඥයන් හිටියෙ. මතක තියාගන්න දකුණු ආසියාවේ පළමුවැනියටම සර්වබල ඡන්ද බලය හම්බවුණේ අපිට. අපි එදා ඉඳන් අපේ දේශපාලනඥයෝ පත් කරනවා. එතකොට මේ දේශපාලනඥයන් තමයි ජනතා ඡන්දයෙන් පත්වෙලා එන්නෙ. ඒ නිසා අපේ රටේ මිනිස්සුන්ගෙ සංස්කෘතියත් වෙනස් වෙන්න ඕනෙ. 

ඔබ දැන් දිගින් දිගටම ආර්ථික අවුලෙන් නිදහස් වෙන්න විවිධ ආර්ථික වැඩපිළිවෙළ තියෙන බව කිව්වත් විපක්ෂය කියන්නෙ එවැනි වැඩපිළිවෙළක් ඔබලා ළඟ නෑ කියලා. මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නෙ?

ඔව්. අපි ඇත්තටම මේ වෙද්දි වියදම් කිරීම සීමා කරලා තියෙනවා. රටේ ප්‍රාග්ධන වියදම අඩු කරලා තියෙනවා. දැන් අපිට තියෙන්නෙ පුනරාවර්තන වියදම විතරයි. මේ වෙනකොට ණය ගැනීම නතර කරලා තියෙන්නෙ. ඒ වගේම ගත්ත ණය නිසි ලෙස ගෙවා දමන්නත් අපි මේ වෙනකොට කටයුතු කරමින් යනවා. අපි කොහොම කළත් මේ ණය වාරික ගෙවන්න ඕනෙ. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න ඕනෙ. මේ සියලු දේවල් මැද්දෙ තමයි රට ඉස්සරහට ගෙනියන්න අපි කටයුතු කරන්නෙ. සංචාරක ව්‍යාපාරය නැංවීමටත්, ඒ වගේම විදේශ විනිමය මෙරටට ගෙන්වාගන්නත් අපි කටයුතු සූදානම් කරලා තියෙන්නෙ. 

දැන් ඔය දේවල් කළාට මේ රට ගොඩ දාන්න පුළුවන්ද? ඕවා විතරද ප්‍රශ්න?

මෙහෙමයි. එක රුයින් රටක් ගොඩ දාන්න බෑ. ඒකට කාලයක් යනවා. ඒ කාලය තුළදි නිවැරදි මුල්‍ය කළමනාකරණය තමයි වැදගත් වෙන්නෙ. ඒක අපි කරලා තියෙන්නෙ. දැන් තියෙන්නෙ මුල්‍ය ආදායම වැඩි කර ගන්න. ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. මේ දේවල්වල ප්‍රතිඵල ලැබෙන්න ටික කාලයක් ගතවෙයි. 

22 වැනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වෙද්දි පක්ෂ අතර යම් එකඟ නොවුණු තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම මොකක්ද 22 ට වෙන්නෙ?

ඒක සාකච්ඡා කරලා අවසන් තීන්දුවකට ඒවි. හැබැයි රට ගොඩනගන්න මේ සියලු දෙනාගේම එකතුව අවශ්‍යයි. දේශපාලනඥයො, රාජ්‍ය සේවකයො, පුරවැසියො එකතුවෙලා වැඩ කරන්න ඕනෙ. එහෙම නොවෙනවා නම් මේ වැඩේ කරන්න බැහැ. 

අපි දැක්කා ජවිපෙ කියලා තිබුණා පක්ෂ මාරු කිරීමත්, ඒ වගේම කැබිනට් මණඩලය සීමා කිරීමත් සම්බන්ධයෙන් යෝජනා කිහිපයක්?

ඇත්තටම ඒ ජවිපෙ ගෙනාපු යෝජනා කිහිපය ගැන යම් එකඟතාවයක් තියෙනවා. හේතුව තමයි මේ පක්ෂ මාරු කරන ක්‍රමය නවත්තන්න ඕනෙ. ඒ වගේම කැබිනට් මණ්ඩලය සීමා වෙන්නත් ඕනෙ. මේ සියල්ල ජනතාව විසින් එකඟතාවයට ඇවිත් තියෙන කාරණා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. 

ගොඩක් අය කියන්නෙ මෙතැනින් පස්සෙ පොහොට්ටුවට අනාගතයක් නෑ කියලා. ඇත්තටම පොහොට්ටුවට මොකක්ද වෙන්නෙ?

අපේ දේශපාලන ප්‍රතිපත්ති අනුව තමයි අපි විශාල ජයග්‍රහණයක් ලැබුවෙ. එතකොට ජනතාව තමයි අපේ පක්ෂයට වඩා ප්‍රතිපත්ති සමඟ එකඟතාවයකට ආවෙ. තවදුරටත් පක්ෂ දේශපාලනයට වඩා මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ දේශපාලන ප්‍රතිපත්ති. අන්න එතනදි අපි දැනගන්න ඕනෙ ජනතාවගේ හිත දිනාගන්න. ඒක අපේ පක්ෂයෙ හැමෝගෙම වගකීමක්. මම කියන්නෙ අපි හැමෝම වගකීමෙන් කටයුතු කරන්න ඕනෙ.

I ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00